ගලේ කොටුව බැඳි තිරිකුණාමලේ
ගෝකණ්‌ණ තොට


 

ගෝකණ්‌ණ තොට/වරාය

ත්‍රිකුණාමලය හෙවත් පැරණි ගෝකණ්‌ණ තොට ශ්‍රී ලංකාවේ පැරණිතම වරාය ලෙස හැඳින්වුවත් නිවැරැදියි. ලෝකයේ හොඳම ස්‌වභාවික වරායක්‌ ලෙස ගැනෙන මේ ගෝකණ්‌ණ තොට, අනාදිමත් කලක පටන් නාවිකයන් භාවිතයට ගෙන තිබෙනවා. රට වටාම මුහුද තිබුණත් ශ්‍රී ලාංකිකයන් නාවික ක්‍ෂේත්‍රයට යොමු වූ පැරණි තොරතුරු අපට හමුවන්නේ නැති තරම්. ඒත් අතීත රජදරුවන්ගේ සමයේදී ගෝකණ්‌ණ වරාය ගැන නිරතුරුව කියවෙන්නේ භාරතයේ මෙන්ම, අරාබි, රෝම, ග්‍රීක, චීන, පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ වැනි ජාතික වෙළෙඳුන් හා ආක්‍රමණිකයන් ලක්‌දිවට ගොඩබැසීම සඳහාත්, එකල රජවරුන් සමඟ සබඳතා පවත්වාගෙන යැම සඳහාත් මේ ගෝකණ්‌ණ තොට භාවිතයට ගෙන තිබෙන නිසා.

චයිනා බේ /කොඩ් බේ

යුරෝපීය ආක්‍රමණයන්ට පෙර සිටම ග්‍රීක, අරාබි, චීන වැනි වෙළෙඳුන් ගෝකණ්‌ණ වරාය ආශ්‍රිතව තාවකාලිකව ලැගුම්ගත් බව විශ්වාස කරනවා. සංකීර්ණ නැව් තොටක්‌ ලෙස මුහුදු බොකු ගණනාවකින් සමන්විත මෙහි චීනුන් ලැගුම්ගත් පෙදෙස "චීන වරාය" නොහොත් චයිනා - බේ වූ බවයි කියන්නෙ. නමුත් ඒ සඳහා තවත් හේතු තිබූ බව කවුරු හරි දන්නවා නම් ඒ බවත් අපිට ලියා එවන්න. නැතිනම් ඊ-මේල් කර එවන්න.

කොහොමහරි ඉංග්‍රීසීන්ගේ ප්‍රධාන පාලන කේන්ද්‍රස්‌ථානය වුණු ත්‍රිකුණාමලය හා එහි ස්‌ථාපිත කළ ඔවුන්ගේ නාවික කඳවුර හරහා තමයි අපගේ රට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීම හා ඉන්පසු රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය ඇතුළු කාර්යයන් සිදුකර ඇත්තේ. මේ නිසාම ත්‍රිකුණාමලය ආශ්‍රිත බොහෝ තැන් හැඳින්වීමට යොදා ඇත්තේ ඉංග්‍රීසි වදන්. "චයිනා - බේ" කියන්නෙත් ඒ නිසා. මෙතන තමයි අදත් වරායට ප්‍රධාන පිවිසුම් පෙදෙස තියෙන්නෙ. පිටි කම්හල, සිමෙන්ති කම්හල යනාදිය වගේම දුම්රිය ස්‌ථානයත් චීන වරායට යාබදව පිහිටා තිබෙනවා.

කොඩ්-බේ යනු ත්‍රිකුණාමල ප්‍රධාන ධීවර වරායයි. චීන වරායට යාබදවයි මෙය පිහිටා තිබෙන්නේ.

කන්නියා උණුවතුර ළිං

චීන වරාය ප්‍රදේශය පසුකර ඇවිත් ඉන්පසු අපි ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගට පිවිසුණා. එතැන් සිට තවත් සැතපුම් 2-3 ක්‌ යන විට 4 කණුව හන්දිය හෙවත් අනුරාධපුර හන්දිය හමුවෙනවා. මෙතැන් සිට අනුරාධපුර පාරේ තවත් කිලෝමීටර් පහක්‌ පමණ ගොස්‌ මිහිඳුපුර පසුකර වම්පසට හැරී ගිය විට තමයි උණුවතුර ළිං හමුවෙන්නෙ. මේ ප්‍රදේශය හඳුන්වන්නෙ කන්නියා කියන නමින්. කන්නියා පසුකර අනුරාධපුර මාර්ගයේම තවත් කිලෝමීටර් 7-8 කින් වෙල්ගම් වෙහෙර රජමහා විහාරයටත් යා හැකියි.

කන්නියා උණුවතුර ළිං බලන්න අපි ගියේ තරමක්‌ හැන්දෑ වෙලා. ඒ හින්ද එතරම් සෙනඟක්‌ හිටියෙත් නෑ. ළිං හොඳට පිරිලත් තිබුණ. ළිං හතක්‌ තියෙන මේ උණුවතුර ළිං සංකීර්ණයෙ විවිධ උෂ්ණත්ව පරාසයන්ගෙන් සමන්විත උණුවතුර බුබුළු නඟමින් ළිංවලට පිරෙනවා.

වෙරළ උද්‍යානය / පෙඩ්‍රික්‌ කොටුව

ඊළඟට අපි ත්‍රිකුණාමලය නගරයට ඇතුළුවුණා. ත්‍රිකුණාමල වරාය පිහිටි කොට්‌ටියාර් බොක්‌ක තවමත් මේ දක්‌වා සුවිසල්ව නැඟී සිටිනවා. ඒ ආශ්‍රිතව වැටී ඇති මාර්ගයෙන් පැමිණ නගරය හරහා ගොස්‌ ඊළඟට අපි නැවතුණේ වෙරළ උද්‍යානය ළඟ. ඈතින් අපට පෙනෙන නොපෙනෙන ගානට සාම්පූර් - µවුල් පොයින්ට්‌ ප්‍රදීපාගාරය දිස්‌වෙනවා. වම්පසින් ත්‍රිකුණාමල පෙඩි්‍රක්‌ කොටුව හා එහි කෙළවර තිරු කෝනේෂ්වරම් දෙවොල. ඉදිරියෙන් ධීවර ඔරු - බෝට්‌ටු වගේම අධිවේගී නාවික යාත්‍රාත් විටින් විට ඇදෙනවා. මේ සියල්ල වගේම වෙරළේ අසිරිය විඳින්නත් වෙරළ උද්‍යානය කදිම තැනක්‌. දකුණුපසින් මේ උද්‍යානයේ අපූරු හරිත තීරයක්‌ (Green Belt) දකින්න පුළුවන්. කස ගස්‌වලින් යුත් එය වෙරළට එකතු කරන්නෙ නැවුම් බවක්‌. මේ සියල්ල හෝරාවක්‌ දෙකක්‌ විඳගෙන තමයි අපි පෙඩි්‍රක්‌ කොටුව හරහා කෝනේශ්වරම් දෙවොලට යන්න තීරණය කළේ.

පෙඩ්‍රික්‌ කොටුව

මුහුදට නෙරාගිය තුඩු කිහිපයක්‌ ත්‍රිකුණාමලයේදී හඳුනාගත හැකියි. පහළින්ම තියෙන ෆවුල් තුඩුව, කෙසෙල් තුඩුව (ප්ලාන්ටන් පොයින්ට්‌) ඇත් තුඩුව (එළිෆන්ට්‌ පොයින්ට්‌) වගේම කෝනේශ්වරම් දෙවොල පිහිටි ප්‍රපාතාකාර තුඩුවත් ඒ අතර වෙනවා. මේ තුඩුව පෘතුගීසීන්, ලන්දේසීන් වගේම ඉංග්‍රීසීන්ගේත් බලකොටුවක්‌ ලෙස ප්‍රයෝජනයට ගත්තා. පෙඩි්‍රක්‌ කොටුව පිහිටා තිබෙන්නේ කෝනේශ්වරම් එහෙමත් නැතිනම් ගෝකණ්‌ණ තුඩුව ආරම්භ වන ස්‌ථානයේ ඉඳල. බලකොටුවේ පැති බැමි වගේම ප්‍රධාන ගොඩබිම් දොරටුවත් වෙරළ උද්‍යානය අවසානයේ දැකගත හැකියි. ඒ කොටුවෙන් ඇතුළු වූ පසු පැරණි ලන්දේසි නගරය දැකගත හැකියි. ආණ්‌ඩුකාරයාගේ නිල නිවහන, හමුදා බැරැක්‌ක, නිවාස රාශියක්‌ එහි තිබෙනවා. ඒ නිවාස අදත් ප්‍රයෝජනයට ගැනෙනවා. අදත් රජයේ කාර්යාල වගේම හමුදා කඳවුරු කිහිපයකුත් පෙඩි්‍රක්‌ (පේද්‍රිස්‌) කොටුව ඇතුළේ තිබෙනවා. කොටුවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී මඳක්‌ ඉදිරියට ඇදෙන විට වම්පසට ඇත්තේ ගෝකණ්‌ණ රජමහා විහාරය. 1623 දී පෘතුගීසීන් විසින් තනන ලද මෙම කොටුව 1639 දී ලන්දේසීන් අල්ලා ගනු ලැබුවා. 1672 දී මෙය ප්‍රංශ හමුදා මගින් ආක්‍රමණය කරන ලද අතර 1782 දී ඉංගී්‍රසීන්ගේ අණසකට යටත් වුණා. වරින්වර සතුරු ආක්‍රමණයට ලක්‌වුණත් යළිත් 1795 දී ස්‌ථිර ලෙසම බ්‍රිතාන්‍යයන් මෙහි අණසක නතු කරගත්තා. 1800 දී ඩියුක්‌ වෙලින්ටන් නමැති පාලකයාගේ නවාතැන්පළ බවටත් පත් වූ මෙම කොටුව ඔහු විසින් 1803 දී පෙඩි්‍රක්‌ බලකොටුව ලෙස නම් කර තිබෙනවා. 1942 දී මේ තුළට ජපනුන් බෝම්බ හෙලුවේ දෙවැනි ලෝක යුද්ධයේ තීරණාත්මක තැනක්‌ ලෙස මෙය වැදගත් වුණු නිසා.

ගෝකණ්‌ණ රජමහා විහාරය

ගෝකණ්‌ණ රජමහා විහාරය අද මෙතැන කුඩා භූමි භාගයකට සීමා වී තිබුණත් අතීතයේදී මේ මුළු භූමි භාගයම එනම් කෝනේශ්වරම් දෙවොල පිහිටි භූමිය යනාදියත් ගෝකණ්‌ණ විහාරය ලෙස පැවැති බවයි විශ්වාස කරන්නේ. එහෙත් කලින් කල පැමිණි සතුරු ආක්‍රමණ අද ගෝකණ්‌ණ විහාරය ඉතා කුඩා භූමි ප්‍රදේශයකට සීමා කරල. එහි බෝධීන්වහන්සේ වගේම චෛත්‍යයෙත්, හිටිපිළිම වහන්සේත් ගෝකණ්‌ණ විහාරයේ දුක්‌බර කතාන්දරයක්‌ අපට කියනවා වගේ.

තිරුකෝනේශ්වරම් දෙවොල

ත්‍රිකුණාමලය තිරුකෝනේශ්වරම් දෙවොල ඉතාම ප්‍රකට ස්‌ථානයක්‌. මෙය ජනප්‍රිය වෙලා තියෙන්නෙ "කෝනේශ්වරම්" නමින්. ඔබට මතක නම් මෙසේ "වරම්" ලෙස හඳුන්වා අවසන් වන දේවාල ගැන සඳහනක්‌ අපි මඩකලපු චාරිකාවේදී කළා. මේ තමයි ශිව දෙවියන් සඳහා ඉදිවුණු දේවාල, නැතිනම් කෝවිල්. ලංකාව වටා එවන් කෝවිල් පහක්‌ තියෙන බවත් අපි ඔබට කිව්වා. මඩකලපුවෙ කාන්තෝන්

-දීශ්වරම් කෝවිල ගැන අපි කතා කළා. යාපනයේ නගුලේශ්වරම්, හලාවත මුන්නේෂ්වරම්, මන්නාරමේ තිරිකේදීශ්වරම් ඒ කෝවිල් පහයි. එයින් අපගේ චාරිකාවේදී දෙවැනියට හමුවන මෙවන් කෝවිල තමයි මේ තිරුකෝනේෂ්වරම් කෝවිල. අනුහස්‌ සහිත කෝවිලක්‌ ලෙස සැලකෙන මෙයට පැමිණෙන බොහෝ බැතිමත්තු, දරුවන් නැති මවුපියන් වීම විශේෂයක්‌. ඔවුන්ට දරුවන් පතා මේ කෝවිලේ ශාන්ති කර්ම වගේම භාරහාරත් සිදුකෙරෙනවා. හරිම අපූරු වටපිටාවකින් යුත් කෝනේශ්වරම් දෙවොල රාම-රාවණා කතාවටත් සබඳතාවක්‌ තිබෙනවා. මුහුදු මට්‌ටමේ සිට අඩි 100 - 150 ක්‌ පමණ උස ගල්කන්දක්‌ මත පිහිටි මෙතැනට අවට මුහුදු ප්‍රදේශය වගේම, සාම්පූර්, ත්‍රිකුණාමල නගරය, වරාය, චීන වරාය වගේ දේවලුත් උතුරින් පරෙවි දූපත නිලාවැලි වගේ ප්‍රදේශත් දැකගන්න ලැබෙනවා. ඔබත් ත්‍රිකුණාමලයේ සංචාරයක ගියොත් මෙතැනටත් යන්න අමතක කරන්න එපා. ඒ සුන්දරත්වයේ ආශ්වාදය අපි විඳගත යුතුම තැනක්‌ වන නිසා පැරණි ලන්දේසි වරාය "ඩට්‌ච්-බේ" පිහිටල තියෙන්නෙත් කෝනේෂ්වරම් හෙවත් ගෝකණ්‌ණ පාමුලයි.

රාවණ කැපුම / ලවර්ස්‌ ස්‌ලීප්

කෝන්ෂ්වරම් කෝවිල, මෙරට මහා බලගතු රජකු ලෙස වැඩ වාසය කළ රාවණ රජුට සබඳතා ඇති ස්‌ථානයක්‌. ඒ බවට වන අපූරු කතාන්තරයක්‌ සහිත පුවරුවක්‌ "රාවණ කැපුම" හෙවත් ලවර්ස්‌ ලීප්" ලෙස හඳුන්වන අසාමාන්‍ය, බියකරු ප්‍රපාතකාර බෑවුම අසල සවිකර තිබෙනවා. ඒ වගේම මුහුණු 10 ක්‌ (එතරම් නුවණක්‌) තිබූ බව විශ්වාස කරන රාවණයන්ගේ අපූරු මූර්තියක්‌ ද දෙවොලේ එක්‌ පසෙක ඉහළින්ම තනා තිබෙනවා.

පුවරුවේ සඳහන් පරිදි "රාවණ කැපුම" (එනම් බෑවුම) නිර්මාණය වී ඇත්තේ රාවණ රජු විසින් මෙම කන්ද තම කඩුවෙන් කැපීම හේතුවෙන්. ශිවලිංග පූජාවක්‌ සම්බන්ධයෙන් උරණවූ රාවණ රජු මෙසේ කඩුවෙන් කන්ද කැපූ බවත්, ඒ හේතුවෙන් දිව්‍ය කෝපයට ලක්‌වූ රජුගේ සිව භක්‌තිය නිසාම යළිත් සමාව ගෙන තම එක්‌ හිසක්‌ කපා වීණාවක්‌ සකස්‌ කර "සාම වේද" ගායනය සිදුකර සමාව ඉල්ලූ බවත් කියෑවෙනවා.

පසුව මෙම ස්‌ථානයෙන් පැන දිවි නසාගත් සුදු ජාතික යුවළක්‌ හේතුවෙන් මෙය "ලවර්ස්‌ ලීප්" බවට පත් වුණා.


අදහස්‌ jagathkanahara@gmail.com

ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ

වාසල සේනාරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.