රට භීතියට පත් කළ වයිට්‌හවුස්‌ මංකොල්ලය

වර්තමානයේ මෙන් පුරාණයේදී අපේ රටේ මහා මංකොල්ල සිදු නොවුණ අතර චිකාගෝ ආකාරයේ මංකොල්ල හා ඝාතන සිදු වූයේ ඉතාමත් කලාතුරකින් ය. එසේම ස්‌ත්‍රී දූෂණ හා මිනීමැරුම් අදින් වසර පනහකට එහා සිදු වූයේ ඉතාමත් අඩු ලෙසින් ය. එහෙත් සංවිධානය වූ දේවදත්තයන් ද නොසිටියා නොවේ.

හිරේ විලංගුවේ වැටී තෙම්පරාදු වී සිටි නරුම චරිත එවැනි භයානක ඝාතන සිද්ධිවලට සම්බන්ධ වූ අතර 1948 වර්ෂයේ සිදු වූ වයිට්‌හවුස්‌ ඝාතනය පෙර සූදානමකින් ඉතාමත් සූක්‍ෂම ලෙස සිදුකරන ලද ඝාතනයකි. අදින් වසර 63 කට පෙර සිදුකළ එම ඝාතන සිද්ධිය ඉතාමත් ආන්දෝලනාත්මක ලෙස රට පුරා ප්‍රචාරය වුණ අතර ඊට සම්බන්ධ පිරිස්‌ නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිස්‌ නිලධාරීන්ට මහත් වෙහෙසක්‌ ගැනීමට ද සිදුවිය. ඊට හේතුව නම් කොල්ලකරුවන් ද ඉතාම දක්‍ෂ ලෙස සමාජයේම ගැවසෙමින් සමාජ ශෝධකයන් මෙන් හැසිරීමයි. එදා රත්නපුර පොලිස්‌ කොට්‌ඨාසය භාරව සිටි පොලිස්‌ අධිකාරිවරයා ඉතා දක්‍ෂ ලෙසින් සියලුම චූදිතයන් නීතියේ රැහැනට ගැට ගසා ගත්තේ රටම මවිතයට පත් කරමින් ය.

ෙ-. ඒ. එෆ්. වයිට්‌හවුස්‌ මහතා එවක රක්‌වානේ මාදම්පේ වතු යායේ කළමනාකරු ලෙස සේවය කළ අතර, ඔහු යටතේ සේවය කළ සිය ගණනක්‌ කම්කරුවන්ට මාස්‌පතා පඩි ගෙවීම සඳහා මුදල් රැගෙන ආයේ කොළඹ චාර්ටඩ් බැංකුවෙන් ය. එම මුළු මුදල රුපියල් හතළිස්‌ දහසකට ආසන්න විය. ඒ අවධියේ මුදලේ වටිනාකම ද බෙහෙවින් ඉහළ ගිය සමයකි. වයිට්‌හවුස්‌ මහතා නොදත්, මැර කණ්‌ඩායමක්‌ ඔහුගේ ගමන් නිරීක්‍ෂණය කරමින් දින ගණනාවක සිට ඔහු පසුපස ලුහුබැන්දේ කෙසේ හෝ මේ විශාල මුදල මංකොල්ල කෑමටය. එය කොළඹදී සිදු කළ නොහැකි නිසා රක්‌වාන ප්‍රදේශයේදී ම නිදහස්‌ තැනකදී කොටුකර මරා දමා හෝ මුදල් පැහැර ගැනීමට හොර කල්ලිය කතිකා කර ගත්හ. මෙවැනි කොල්ලකෑම් සිදුකළ අයට වැරදුන අවස්‌ථා ද ඇත. මෙවැනි මංකොල්ල සිදුවන බවට දූෂමාන ආරංචි පැතිර ගිය අවධියක එක්‌තරා වතු පාලකයෙක්‌ මුදල් වාහනයේ සඟවා උර කීපයක තක්‌කාලි දමා හොඳට අහුරා ආරක්‍ෂිත ලෙස ගෙන ගියේය. මඟදී පාර හරස්‌ කොට පිස්‌තෝල පෙන්නා මලු රැගෙන ගිය උන්ට අන්තිමේ තක්‌කාලි රස බලන්නට සිදුවිය. සමහර හොර කල්ලි එවැනි දේට ද මුහුණ දුන්නේය. නමුත් වයිට්‌ හවුස්‌ ඝාතනයේ චූදිතයන් තම කටයුත්ත නියමාකාරයෙන් සිදු කිරීමට ඉටා ගත්හ.

හැම මාසයේම දහවැන්s දින වතු සේවකයන්ට වැටුප් ගෙවීම සිදු කළ යුතු නිසා 1948 අප්‍රේල් අටවැනි දින වයිට්‌හවුස්‌ යුවළ තම 'ඔස්‌ටින්ටෙන්' වර්ගයේ මෝටෝ රියෙන් කොළඹ බලා පිටත් විය. මේ ගමන ඉතාමත් රහසිගත ලෙස නිරීක්‍ෂණය කළ තවත් පිරිසක්‌ විය. ඒ 'ලෑතර බාස්‌' නමින් හඳුන්වන ගැරේ-කරුවෙක්‌ හා ඔහුගේ ගෝල බාල පිරිසය. මේ කිසිත් නොදත් වයිට්‌හවුස්‌ යුවළ ඔවුන්ගේ අසල්වැසියන් වූ 'හෝල්' මහත්මියත් ඇගේ දියණියත් එම ගමනට එකතු කරගති. උසුළු විසුළු කරමින් ආ ගිය රසබර තොරතුරු කියමින් කොළඹ බලා ගමන් ගත් මේ පිරිස තම ඉරණම අප්‍රේල් 9 වැනිදා ලියෑවී ඇති බැව් කෙසේ හෝ නොදත්තේ ය. එදා අප්‍රේල් අටවැනිදා රාත්‍රි කොළඹ ගත කළ පිරිස පසුදා බැංකුවෙන් පඩි රැගෙන යැමට කතාකර ගත්හ.

පසුදා එනම් 9 වැනිදා පෙරවරුවේ චාර්ටඩ් බැංකුවට ගිය වයිට්‌හවුස්‌ යුවළ තම සේවක වැටුප වූ රුපියල් තිස්‌පන්දහසක්‌ මලු කීපයක දමා ආරක්‍ෂිත ලෙස කාරයේ තැන්පත් කර ගත්තෝය. දැන් කළ යුත්තේ ආරක්‍ෂිත ලෙසින් ආපසු යැමය. මෙම ඔසටින්ටෙන් කාරයත් වයිට්‌හවුස්‌ මහතාත් දන්නා හඳුනන බොහෝ පිරිස්‌ ගමන් මාර්ගයේ අතරමඟ සිටියෝය. නමුත් කුළුපඟ මිත්‍රත්වයක්‌ ඔවුන් හා ගොඩනැඟී නොතිබිණි. මෙහිදී තවත් අඳුනන්නියක වූ ෆොට්‌ලන්ඩ් මෙනවිය ද ඇගේ තට්‌ටු නිවාසයෙන් එකතු කරගත් පසු, දිගටම පිටත් විණි. මාර්ගය පැහැදිලිය. එහෙත් මාරයා තමා පිටුපසින් එන බවක්‌ වයිට්‌හවුස්‌ මහතා දැන සිටියේ නැත. තම වතු පාලන කාලය තුළදී එවැනි දේකට මුහුණ දී නැති නිසා බියවීමට හේතුවක්‌ නැත. පතරොම් පුරවා තම ආරක්‍ෂක රිවොල්වරය ද සූදානම් කරගත් වයිට්‌හවුස්‌ මහතා එය අතේ දුරින් තබා ගති. වේගයෙන් රිය පැදවූ වයිට්‌හවුස්‌ මහතා අවිස්‌සාවේල්ල පසුකර ටික දුරක්‌ ගොස්‌ තම කාරය නවතා අසුන මාරු කර තම බිරිඳට රිය පදවන ලෙස කීය. වයිට්‌හවුස්‌ මහත්මිය කීකරු ලෙසින් සිය සැමියාගේ අණ පරිදි රථය පදවන්නට වූවාය. සාමාන්‍යයෙන් ඇගේ ගමන් වේගය වැඩිය. තවත් කොළ පාට ඔස්‌ටින් රථයක්‌ මේ රථය පිටුපසින් හැල්මේ ගමන් කළේ යමක්‌ නිරීක්‍ෂණය කරමින්ය. ඒ තම කණ්‌ඩායම මඟ රැක සිටින ඉසව්වයි. ඔවුන්ගේ සැලැස්‌ම වූයේ ඉදිරියෙන් හා පසුපසින් අවහිර කොට මුදල් රැගෙන පලා යැමයි. අවශ්‍ය වුවහොත් ඝාතනයට හෝ පසුබට නොවිය යුතු බවට ඔවුන් කතිකා කරගෙන තිබිණ.

මෙසේ රථ වේගයෙන් ගමන් ගත් අතර නියමිත ස්‌ථානයේදී එනම් වතු යායට ආසන්නයේ වූ පාලම අසලදී පිටුපසින් ආ කොළ පැහැති ඔස්‌ටින් වර්ගයේ රථය ඉස්‌සර කරමින්ම මඟ හරස්‌ කර නැවැත්වීය. ඒ වන විට පාරේ බස්‌ රථයක්‌ ද හරස්‌ව තිබිණ. හොර කල්ලියේ අනෙක්‌ ඔස්‌ටින් වර්ගයේ රථය මඟ අවුරමින් බොනට්‌ටුව ද ඇර දමා පාර අයිනේ නතර කර තිබිණ. වයිට්‌හවුස්‌ රථයේ වේගය අඩු වෙද්දීම එහි දුව ආ එක්‌ මංකොල්ලකරුවෙක්‌ සිංහලෙන් කෑ ගසමින් "ගනිව් යකෝ සල්ලි·" කියමින් පිස්‌තෝලයක්‌ හිසට එල්ල කළ අතර වයිට්‌හවුස්‌ මහතා ද තම බලපුළුවන්කාරකම හිතට ගෙන හොරා හා වාදයට සූදානම් ව අසුනෙන් බැසීමට සූදානම් වුවත් ඊට පෙර හොරා වෙඩි කිහිපයක්‌ මුදා හැරියේය. වයිට්‌හවුස්‌ මහතා අසුනේම කඩා වැටුනි. හොර කල්ලිය ද තක්‌කු මුක්‌කු වී දුවන්නට පටන් ගත් අතර ඒ මොහොතේ ක්‍ෂණිකව කාරය පණ ගන්වා ගත් වයිට්‌හවුස්‌ මහත්මිය වේගයෙන් තම මෝටර් රථය ධාවනය කර නවත්වන ලද්දේ වතු බංගලාව ඉදිරියේය. කුමක්‌ හෝ කරදරයක්‌ වී ඇති බැව් ඉවෙන් මෙන් වටහාගත් වතු නිලධාරීන් කාරය වටා රොක්‌ වූහ.

ෆාම් ගාර්ඩන් වතු යායේ වතු අධිකාරි 'කෝල් බෝවන්' මහතා එහි පැමිණ වහාම රථයක්‌ සූදානම් කොට වයිට්‌හවුස්‌ මහතා රත්නපුර රෝහලට පිටත් කර හැරියත් සිදුවුණ මරණීය තුවාල හේතුවෙන් ඒ වන විටත් ඔහු ජීවිතක්‍ෂයට පත්ව සිටියේය. ඔහුගේ මුඛයෙන් ඇතුළු වූ රිවොල්වර උණ්‌ඩය ගෙලේ විශාල සිදුරක්‌ පාදමින් ඉවත්ව ගොස්‌ තිබිණ. 1948 අප්‍රේල් 4 දා වයිට්‌හවුස්‌ ඝාතනය සිදුවූයේ ඒ අයුරින් ය. සිද්ධිය සැල වූ වහාම එහි පැමිණි පොලිස්‌ අධිකාරි ඩී. ඩී. දිසානායක මහතා තම උකුසු ඇස ප්‍රදේශය පුරාම යෙදවූ අතර විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ප්‍රදේශයේ තැන් තැන්වල යොදවා නිරීක්‍ෂණය කරන ලෙසට දැන්වීය. මලල ක්‍රීඩකයකු වූ දිසානායක මහතාට හිතවතුන් කීවේ 'ජංගල්' කියාය. ඒ ආදර නාමයයි. මෙවැනි අභිරහස්‌ කීපයක්‌ විස¹ පළපුරුදුකම් ඇති දිසානායක පොලිස්‌ අධිකාරිවරයා මේ කටයුත්ත ද නිකම් යන්නට හැරියේ නැත.

මෙහිදී ඉතා දක්‍ෂ පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙක්‌ වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ පරීක්‍ෂක තනතුර දැරූ සී. එස්‌. ඒ. ස්‌කානිවල් මහතාත්, උප පරීක්‍ෂක ඒ. කන්නන්ගර මහතාත් මෙම අපරාධයේ නිරීක්‍ෂකයන් විය. ඔවුන් සිද්ධිය සිදු වූ තැනට ගොස්‌ පරීක්‍ෂා කරද්දී එක්‌ වාහනයක සඳහන්ව තිබූ අංකයක්‌ හමුවීමයි. දියේ ගිලෙන්නාට තුත්තිරි ගහත් ගහක්‌ සේ දැනෙන පරිදි. කිසි හෝඩුවාවක්‌ නැතිව සිටි පොලිසියට මෙය සෑහීමට කරුණක්‌ විය. එම අංකය ඞ 3025 විය. එය එහි තිබූ කළුපාට මෝටර් රථයේ නොම්මරය විය. එම නොම්මරය ලියාගනු ලැබුවේ ඒ අසල පෙට්‌ටි කඩයක්‌ දමාගෙන සිටි චාර්ලිස්‌ අප්පුහාමි නමැති අයෙකි. එය ද ඔහුගේ පුතා විසින් ඔහුට මතකයෙන් කියන ලද නොම්මරයකි. එසේ මතක තියා ගැනීමට හේතු වුයේ කුමක්‌ හෝ සිද්ධියක්‌ එහි සිදු වී ඇති බැව් සිතුන නිසාත් ඔවුන්ට පටස්‌ පටස්‌ යනුවෙන් වෙඩි හඬ ඇසුන නිසාත් ය. එසේම එක්‌ රථයක්‌ කළුපාට බවත් අනෙක්‌ රථය කොළපාට බවත් ඔවුන් පැවැසූහ. ඇසින් දුටු සාක්‍ෂියක්‌ ලෙසින් තිබුණේ එපමණි.

තවදුරටත් පොලිස්‌ නිලධාරීන් තොරතුරු විමසද්දී ඒ අසල තවත් කඩයක්‌ දමාගෙන සිටි අයෙක්‌ කීවේ නොන්ඩි ගසන අයෙක්‌ තමාගෙන් ගින්දර ඉල්ලා සිගරැට්‌ටුවක්‌ පත්තු කරගත් බවයි. එහිදී කොළපාට මෝටර් රථයේ අංකය ද දැනගත හැකි විය. එහි සිටි තවත් අයෙක්‌ තම මතකයෙන් එම රථයේ නොම්මරය Z 4476 බව දැන්වීය. තරමක්‌ සෑහීමට පත් වූ පොලිස්‌ නිලධාරීන් මේ නොම්බර අයත් වූ මොටර් රථ සෙවීමට මහන්සි ගති. Z 4476 මෝටර් රථය ලෑතර බාස්‌ නම් අයෙකුට අයිති බව වැඩිදුර පරීක්‍ෂණවලින් හෙළි විය. එසේම සාක්‌කිකරුවන්ගේ තොරතුරුවලට අනුව නොන්ඩි ගසන පුද්ගලයා පාදුක්‌කේ අයෙක්‌ ලෙස හඳුනාගති. පසුව අප්‍රේල් 18 දින ඔහු අත්අඩංගුවට ගති. මෙහිදී ඊට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට ගත් ලෑතර බාස්‌ නොහොත් ආර්. ඒ. පීටර් පෙරේරා, එච්. ඒපිං පෙරේරා. එච්. ජයසුන්දර පෙරේරා යන අය මුල් වටයේ හඳුනාගැනීමේ පෙරට්‌ටුවකට ගෙන ගියත් පැමිණිලි පාර්ශ්වයට ඔවුන් හඳුනා ගත නොහැකි විය. කෙසේ වෙතත් පසුව සිගරට්‌ දැල්වීමට ගින්දර ඉල්ලා ගත් ඇල්බට්‌ පෙරේරා නම් අය විසින් නොන්ඩි ගසන අයෙක්‌ වූ මෙහි එක්‌ චූදිතයකු වන නැපෝසිඤ්ඤෝව හඳුනා ගති. පිළිවෙළකට නැති හඳුනාගැනීමක්‌ නිසා සියලු සැකකරුවන් ආපසු මුදා හැරීමට සිදුවිය. එසේ කළේ ඔවුන් පිළිබඳ අධීක්‍ෂණයක්‌ ද ඇතිවයි. නිලධාරීන් කීපදෙනෙක්‌ ඔවුන් පසුපස ඔවුන්ගේ තොරතුරු සොයමින් ගියේ රහසිගතවයි. දින කීපයක්‌ ගත විය. 1948 ජූනි මස 11 වැනි දින හොඳ තොරතුරක්‌ පොලිසියට ලැබිණි. එයින් කියවුණේ නැපෝසිඤ්ඤෝ මෙම වයිට්‌හවුස්‌ ඝාතනයට සම්බන්ධ වූ බවයි. තමන්ට එසේ කළ බව පැවසූ සැටි සියලු විස්‌තර සහිතව පොඩිඅප්පුහාමි නම් අයෙක්‌ පොලිසියට කට උත්තරයක්‌ දුනි.

නැපෝසිඤ්ඤෝ කයිවාරුවට මෙන් තමා සමඟ එම සිද්ධිය විස්‌තර කරමින් වයිට්‌හවුස්‌ මහතාට වෙඩි තැබුවේ හල්පේ මාටින් ද නැතහොත් කොටි ඇල්බට්‌ ද කියා හරියට නොදන්නා බවත් පැවැසීය. තමා ඔත්තු බැලූ බව පොඩිඅප්පුහාමි තම කට උත්තරයෙන් කියා තිබිණි. පසුව පාදුක්‌කේදී නැපෝසිඤ්ඤෝ පොලිස්‌ භාරයට ගෙන රත්නපුරයට ගෙනෙන ලදුව ඉතා සූක්‍ෂම ලෙසින් ඔහුගෙන් සිද්ධිය පිළිබඳව තොරතුරු විමසීය. හැඩිදැඩි දිසානායක පොලිස්‌ අධිකාරිවරයා මේ අමාරුකාරයාගෙන් ඉතා අපූරුවට සිද්ධිය වැමෑරෙව්වේය. කිසිම හිංසාවක්‌ ඔහුට සිදු නොකළත් ඔහු ඉදිරියේ නිරය මැවී පෙනෙන්නට සැලැස්‌වූ දිසානායක මහතා සියලු තොරතුරු සටහන් තබා ගති. නැපෝසිඤ්ඤෝ තම හඬ අවදි කරමින් කියා සිටියේ "ෆාම්ගාර්ඩන් වත්ත අසල පැක්‌ටේරි පාරේදී වත්තේ සුද්දා මැරූ දිනය මට මතකයි. ඒ 1948 අප්‍රේල් 9 වැනිදායි. මම හල්පේ මාටින්ව හොඳින් දන්නවා. අප්‍රේල් නම වැනිදාට දවස්‌ පහකට විතර කලියෙන් මාටින් ඔහුගේ කිරිකපන්නෙක්‌ අත මට පණිවුඩයක්‌ එව්වා ඉක්‌මනින් ඔහුව හමුවන්න කියලා. එදාම දවල් දොළහට මම මාටින්ව හමුවුණා. කරන්නට ලොකු වැඩක්‌ තියෙන බව කී මාටින් අප්‍රේල් 8 දා උදේ 7.00 ට ගලගෙදර හන්දියේදී හමුවන්නට කීවා. මම හා කියා සවස 4.00 ට විතර ඔහුගේ ගෙදරින් පිටව ආවා. අප්‍රේල් 8 දා උදේ 7.30 ට විතර ගලගෙදර හන්දියේ ඉන්නකොට කොළපාට කාරෙකක්‌ ඇවිදින් නැවැත්තුවා. කොළඹ සිට ආපු එම කාරෙක එලෙව්වේ ලෑතර බාස්‌ මට කතා කළා මාවත් ගොඩකර ගත්තා. ඒ වෙනකොට කාරෙකේ හිටියා කොටි ඇල්බට්‌, හල්පේ මාටින්. තවත් කෙනෙක්‌ එහි හිටියා. පසුව මාව බැස්‌සූ ලෑතර බාස්‌ පස්‌සෙන් එන කළු පාට කාරෙකට ගොඩවන්නට කීවා. මම ඒ කාර් එකට ගොඩවුණා. එලෝන ඩ්‍රැයිවර් එක්‌ක තව තුන්දෙනෙක්‌ එහි සිටියා. එක්‌කෙනෙක්‌ සුරබියෙල් අනෙක්‌ දෙන්නා මම අඳුනන්නෑ. දැක්‌කොත් හඳුනාගත හැකියි. ඒ වෙලාවෙ උදේ දහයමාරට විතර ඇති. තව කොණ්‌ඩය බෙල්ලට දික්‌වුණු සුදුපාට මිනිහෙකුත් කොළපාට කාරෙකට ගොඩවෙනවාත් දැක්‌කා. එදා රාත්‍රියේ අපි මාටින්ගේ ගෙදරට ගිහිං අරක්‌කු බී රෑට කෑම කා පසුදා කරන මංකොල්ල ගැන විස්‌තර ඇහුවා. එයින් කියෑවුණේ වයිට්‌හවුස්‌ සුද්දාගේ සල්ලි මංකොල්ල කෑම ගැනයි. අපි එක්‌ එක්‌කෙනාට කරන්නට තියෙන වැඩත් මාටින් කියා දුන්නා. පහුවදා 9 දා උදේ 7 ට විතර අපි කාරෙකේ නැග මල්වානේ කොටි ඇල්බට්‌ගේ ගෙදරට ගොස්‌ වුවමනා දේවල් ගත්තා. කොටි ඇල්බට්‌ තමන් ළඟ තිබූ රිවෝල්වරයක්‌ මාටින් සමඟ මාරු කරගත්තා. පස්‌සේ අපි කුරුවිටට ගියා. මඟ කාර් එක නවතා රබර් ගහක තිබූ පොල්කට්‌ටක්‌ ගෙන කාරෙකේ තිබූ හැලි අරක්‌කු බෝතලය බොන්නට පටන් ගත්තා. තරමක වෙරියක්‌ තිබුණා. අපි පාලම් දෙක ළඟ මාර ගහ යට කාරෙක නැවැත්තුවා. අපි බැස්‌සා. මාටින් මට කීවා පාලමේ අවිස්‌සාවේල්ල කොණට යන්න කියා. මම එසේ කළා. මාටින් හා ඇල්බට්‌ පාර අයිනේ කාණුවට බැස්‌සා. ටික වේලාවකින් කාරෙකක නලාවක්‌ එක දිගට වදිනවා ඇහුනා. ඒ අපට දුන්න සංඥව විය යුතුයි. ඒ එක්‌කම සුදු නෝනා කෙනෙක්‌ වේගයෙන් කාරෙකක්‌ එළවාගෙන ගියා. ඊට පස්‌සෙන් ලෑතර බාස්‌ කොළපාට කාරෙකක්‌ එලවගෙන ගියා ඉස්‌සර කරන්නට. අන්තිමේ පාර හරස්‌ වී කාර් දෙකම එක ළඟ නැවතුනා. අපි ගිය කාරෙක තිබූ නිසා පාර අවහිර නිසා සුදු නෝනට තම කරෙක එලවා ගන්න බැරිවුණා. ඒ එක්‌කම වෙඩි හඬ ඇහුනා. මම අවිස්‌සාවේල්ල පැත්තට ගියා. ටිකක්‌ දුර යනකොට බස්‌එකක්‌ ආවා. ඒකේ ගොඩවී හංවැල්ලට ගිහිං පාදුක්‌කට ගියා. කොටි ඇල්බට්‌ හා මාටින් යන දෙන්නාගෙන් කවුරුන් වෙඩි තිබ්බාද කියන්න බෑ."

මුලින් කීවේ මහත්තයාට රිවොල්වර පෙන්වා බය කර මුදල් ගෙන පැන යන බවයි. නමුත් මිනීමැරුමක්‌ වුණ නිසා වැඩේ අප්සට්‌ ගිය බව තේරුණ අපි මඟහැර ගියා.

එකට මංකොල්ල කෑ අයෙක්‌ කළ පාපෝච්චාරණය එසේ විය. මේ වන විට තවත් සාක්‌කිකරුවෙක්‌ වූ බ්‍රම්පිසිඤ්ඤෝ ද කට උත්තරයක්‌ දී තිබිණි. එසේම ලෑතර බාස්‌ගේ රියෑදුරු ද කටඋත්තරයක්‌ දුනි. එයින් කියෑවුණේ සුපුරුදු පරිදි තමා අප්‍රේල් 9 වැනිදා කාරය ගැනීමට ගරාජයට ගිය විට එහි කාරය නැති බවයි.

පසුව පොලිසිය විසින් ජුනි මාසයේදී යළිත් හල්පේ මාටින්, කොටි ඇල්බට්‌, ලෑතර බාස්‌. ඒපින් බාස්‌, ජයසුන්දර පෙරේරා. තෝමස්‌ අප්පුහාමි යන අය අත්අඩංගුවට ගති. මේ සියලු අය එම මංකොල්ලයට හවුල් වූ බව නැපෝසිඤ්ඤෝ ප්‍රකාශ කර තිබිණි.

1948 නොවැම්බර් මස 22 වැනි දින කොළඹ අධිකරණයේදී ශාන්ත ක්‌ලෙයාර් ස්‌වෝන් විනිශ්චයකාරතුමා ඉදිරියේ නඩුව විභාගයට ගැනුනි. සී. අලස්‌ හා මහේන්ද්‍රරාජා යන නීතිඥයන් රජය වෙනුවෙනුත්, ඒ එන්. ෙ-. සොයිසා, ආචාර්ය කොල්වින් ආර්. ඩී. සිල්වා, කේ. ඩී. ද සිල්වා යන නීතිඥවරුන් විත්තිකරුවන් වෙනුවෙන් ද පෙනී සිටින ලදී. නැපෝසිඤ්ඤෝ නොම්මර එකේ අපරාධකාරයකු වුවද ඔහු රජය වෙනුවෙන් සාක්‌කියට ඉදිරිපත් විණි. නැපෝසිඤ්ඤෝ සාක්‌කි කූඩුවට නැග සියලුම චූදිතයන් වැරදිකරුවන් වන ලෙසින් තම සාක්‌කිය විනිශ්චකාරතුමන් ඉදිරියේ ප්‍රකාශ කළේ අති දක්‍ෂ ලෙසය. තමා ගොවියකු හා කම්කරුවකු බව උසාවියේ ප්‍රකාශ කළ මේ කියන සාක්‌කිකරු වූ ඒපින් සිඤ්ඤෝ හරස්‌ ප්‍රශ්නවලට උත්තර දුන්නේ අසාසිටි පිරිස්‌ විශ්මයට පත් කරවමිනි.

නීතිඥ - දවස්‌ කීපයක්‌ යන්ට මත්තෙන් ඔබ රාළහාමි කෙනෙකුගේ ඉලඇට කැඩුවා.

උත් - එසේය.

නීතිඥ - ඒ වරදට ඔබට වසර පහක සිරදඬුවම් ලැබුණා.

උත් - එසේය ඉන් පසු අවුරුදු දාහතරක්‌ තරමේ මම නිදහසේ හිටියා.

නීතිඥ - ඒ අවුරුදු දාහතරේදී ඔබට වඩාත් හොඳ ආරක්‍ෂාකාරී රැකියාවක්‌ තිබුණා.

උත් - එසේය.

නීතිඥ - ඒ රැකියාව අසුනොවී හොරකම් කිරීම.

උත් - නැත මම ඒ කාලයේ බස්‌වල වැඩ කළා.

නීතිඥ - ඒ කාලයේද බස්‌ තරගයට දිව්වේ.

උත් - එසේය.

ජාත්‍යන්තර කපටියකු වුවත් නැපෝසිඤ්ඤෝ ට මෙහිදී තරමක සමාවක්‌ ලැබිණ. නඩුව අවසන් වනතුරු ඉතා හොඳින් විශ්ලේෂණය කළ ජුරිය 1948 දෙසැම්බර් 10 දින උදේ 10 පසු වී මිනිට්‌ටු 30 ට සිය තීන්දුව ගැනීම සඳහා කාමරයට රැස්‌වුණ අතර, නැවත දොළහයි පනස්‌පහට උසාවිය අභිමුවට පැමිණ, සොරකම් කිරීම, එසේ කිරීම සඳහා නීති විරෝධී ලෙස රංචු ගැසීම. මිනී මැරීම, එසේ මරා වසං වී සිටීම යන කරුණු සම්බන්ධයෙන් හල්පේ මාටින්, කොටි ඇල්බට්‌, ලෑතර බාස්‌ යන අය වැරදිකරුවන් බවට ප්‍රකාශ කරන ලදී. ජයසුන්දර නමැති පස්‌වැනි විත්තිකරු නිදහස්‌ කෙරිණ.

ජූරි සභා තීරණය අනුව හල්පෙ මාටින්, කොටි ඇල්බට්‌. ලෑතර බාස්‌ හා සුරබියෙල් යන අයට මරණීය දඬුවම නියම විය. අසාධාරණ ලෙස මිහිහෙක්‌ ඝාතනය කළ මොවුන් හිරගෙදර දී අනේක දුක්‌ වේදනා විඳ අවසානයේ තම ජීවිතය වන්දියක්‌ ලෙස ගෙවා දැමූහ. වයිට්‌හවුස්‌ මහත්මිය එම සිද්ධියට සම්බන්ධ වූ කාරය කලක්‌ යනතුරු සිහිවටනයක්‌ ලෙස තබා ගත්තාය.

ලිපිය සැකසීමට "ලංකාවේ සුප්‍රකට නඩු විභාග කීපයක්‌" ග්‍රන්ථය සහාය විය.


ධර්මරත්න තෙන්නකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.