සංස්‌කරණය : නාරද නිශ්ශංක

"ස්‌වීට්‌ ඒන්ජල්"


සිනමාපට ප්‍රදර්ශනයේදී උපයෝගී කරගන්නා ප්‍රචාරක පාඨ විටෙක එකිනෙක වෙනස්‌ය. තවත් විටෙක එකිනෙකට බෙහෙවින් සමානය. කවර මාදිලියකට මේ සිනමාපට අයත් වන්නේ දැයි යන ප්‍රශ්නයට පිළිතුරු සපයන ප්‍රචාරක පාඨද වේ. "ස්‌වීට්‌ ඒන්ජල්" ප්‍රදර්ශනයට එක්‌ කරන්නේද එය අයත් විය යුතු සිනමා මාදිලිය පිළිබඳ අදහසක්‌ ගෙන එන ප්‍රචාරක පාඨයක්‌ සමඟිනි. ඒ 'එරංග සේනාරත්නගේ සිනමා ෆැන්ටසිය' යන්නයි. "ස්‌වීට්‌ ඒන්ජල්" සරල විනෝදාත්මක සිනමාපටයක්‌ බවත්, යෞවනයේ සිතුම් පැතුම් හා හැසිරීම් එහිලා ප්‍රමුඛ වන බවත් ඉන් කියෑවේ. ඇත්තෙන්ම "සිනමා ෆැන්ටසිය" යන හඳුන්වා දීම තුළම "ස්‌වීට්‌ ඒන්ජල්" හුදෙකලා සිනමාපටයක්‌ නොවන බවද පැවසේ. මන්ද 'සිනමා µeන්ටසිය' යන්න සෘජුවද, වක්‍රවද භාවිත කළ සිනමාපට ගණනාවක්‌ම පසුගිය සමය පුරා වරින්වර ප්‍රදර්ශනයට එක්‌ වූ නිසාය. තවදුරටත් නිෂ්පාදන අදියරේ පවතින නිසාය.

"ස්‌වීට්‌ ඒන්ජල්" හි අධ්‍යක්‌ෂ එරංග සේනාරත්න කවර මාදිලියකට අයත් සිනමාකරුවකු දැයි යන්න හඳුනා ගැනීම දුෂ්කර බව සැබෑය. ඔහු විචාරක අවධානයටද යම් පමණකට හෝ ලක්‌වූ සිනමාකරුවකු වන්නේ 1990 දසකයේදීයි. කලාත්මක ලක්‌ෂණද, කලාත්මක මුහුණුවර ද ස්‌වකීය සිනමා භාවිතයේ මූලිකාංග සේ ප්‍රකට කරන්නට ඔහු වැයම් කළ අවස්‌ථා ද්විත්වය මෙනෙහි කරන්නටද මේ හොඳම අවස්‌ථාවකි. එය ඔහුගේ වර්තමාන භූමිකාව තේරුම් ගන්නට ද යම් පිටිවහලක්‌ වනු ඇත. "සුරයහන ගිනිගනී" හා "සුරඟන යහන" යන ඔහුගේ එම සිනමාපට ද්විත්වයම ලිංගික කාරණා අරභයා විශේෂයෙන් සැලකිලිමත් වූ අවස්‌ථාය. සමකාලීනව රජකළ ග්‍රාම්‍ය ලිංගික කාරණා නිරූපිත විනෝදාත්මක සිනමා ධාරාවට ද එම සිනමාපට යම් අභියෝගයක්‌ වූ බව පැහැදිලිය. කෙසේ වුවද සමකාලීනව පෙරට ආ අභිනව කලාත්මක සිනමා නැඹුරුවේ නිත්‍ය සාමාජිකත්වය එරංගට හිමි නොවූ බවද පෙනේ.

පසුකාලීනව එරංග නිර්මාණය කළ 'ගිනිගත් මධුසමය' හා 'රෝස පැටික්‌කී' යන සිනමාපට ද ලිංගික කාරණා නිරූපණයට මුල්තැනක්‌ දුන් බව පෙනේ. එහෙත් ඒවා ඇමතුවේ සරල විනෝදාත්මක සිනමාවට රුචි ප්‍රේක්‌ෂකයන්ටය. සිනමා වෙළෙඳපොළ හා ගනුදෙනු කරන්නට එරංග තෝරා ගත් මේ අවදානම් පිළිවෙත දෙස බැලිය යුත්තේ වෛරී සහගත ආකල්පයකින් නොවේ. සැබැවින්ම ඔහු සිනමාවේ විවිධත්වය අරභයා දායක වූ සිනමාකරුවකුසේ හඳුනා ගැනීම වඩා සාධාරණය.

"ස්‌වීට්‌ ඒන්ජල්" පළමු කොටම සිහි ගන්වන්නේ 'අංජලිකා', 'හිරිපොද වැස්‌ස්‌, 'ආසයි මං පියාඹන්න', 'සුවඳ දැනුනා ජීවිතේ', 'රෝස කැලේ' හා 'චැලෙන්ජස්‌' යන සිනමාපට යි. සිනමාවෙන් බැහැර වන, සිනමාව කරා නොඑන, සිනමාව නොතකන, වෙනත් ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍ය හා ගනුදෙනු කරන නාගරික හා අර්ථ නාගරික තරුණ ප්‍රජාව ඉලක්‌කකර ගන්නට මේ සිනමාපට දැරූ ප්‍රයත්නය අවතක්‌සේරු කළ යුතු නොවේ. සිනමාවේ පැවැත්ම කෙරෙහි නාගරික - අර්ධ නාගරික තරුණ ප්‍රජාවේ දායකත්වය මහත්සේ වැදගත්ය. මෙතැනදී අලුත් උපක්‍රම ද භාවිත කෙරිණ. එරංගද ඊට අනුගත වූ බව "ස්‌වීට්‌ ඒන්ජල්" පවසයි. ඇඳුම් පැළඳුම්, යාන වාහන, නිවාස ඇතුළු විලාසිතා, ගීත සේම කුතුහලය දනවන කතා පුවත්, ඉන්දීය නිළියන් සහභාගි කර ගැනීම බහුලව උපයෝගී කරගත් අලුත් උපක්‍රම වේ. "ස්‌වීට්‌ ඒන්ජල්" හි ප්‍රධාන නිළිය ඉන්දියානු ද, එසේ නොවන්නේද යන්න ගැන පැන නැගී ඇති කතා බහද අනියම් ප්‍රචාරක කාර්යයක්‌ බඳුය.

යටකී සිනමා මාදිලිය කෙමෙන් නාගරික හා අර්ධ නාගරික තරුණයන්ම ඉලක්‌ක කර නොගන්නා තැනකට සේන්දු වෙමින් පවතී. එනම් ඒවා සම්මත පවුලේ ප්‍රේක්‌ෂකයන්ට අමතන්නට උනන්දු වීමයි. හොඳම උදාහරණය ගෙන එන්නේ 'චැලෙන්ජස්‌'ය. 'චැලෙන්ජස්‌' ප්‍රදර්ශනයට එක්‌වන්නේ පිය පුතු සෙනෙහස උත්කර්ෂයට නංවන සිනමාපටයක්‌ ලෙසිනි. ඉන් හැඟවෙන්නේ තව දුරටත් තරුණ ප්‍රේක්‌ෂකයන් පමණක්‌ ම ඉලක්‌කකර ගැනීම ප්‍රදර්ශන සාර්ථකත්වයට බාධාවක්‌ විය හැකි බවයි. ඇත්තෙන්ම මේ සිනමාපට හැම එකක්‌ම අඩු වැඩි වශයෙන් සම්මත පවුලේ ප්‍රේaක්‌ෂකයන්ට ඉඩ හසර සැලසූ බවද විටෙක පෙනේ. ඒ ඒ චරිත සතු ඥති සම්බන්ධතා නිරූපණය කොට තිබිණ. ලිංගික සංකේත භාවිත කළේම ස්‌වයං වාරණයක්‌ සහිතවය.

එරංග මේ පිළිවෙත් අරභයා අනුකූලතාවක්‌ දක්‌වන්නට අදහස්‌ නොකරයි. "ස්‌වීට්‌ ඒන්ජල්" හි ප්‍රධාන චරිත ද්විත්වයටම පුළුල් ඥති සබඳතා නැත. ප්‍රධාන නිළිය නිශ්චය කර ගන්නේ මෘදු කාම සිනමාපටයක්‌ සිහි ගන්වමිනි. මේ "ස්‌වීට්‌ ඒන්ජල්" ට ගැරහීමට හේතුවක්‌ නොවේ. එහි යථාව හඳුනා ගැනීමට පළ කළ යුතු අදහසකි. කොහොමත් සම්මත පවුලේ ප්‍රේක්‌ෂකයනට "ස්‌වීට්‌ ඒන්ජල්" ගෝචර වන සැටියක්‌ නොපෙනේ.

'සිනමා ෆැන්ටසිය'කදී විශ්වසනීයත්වය යන කාරණයට හිමිවන ස්‌ථානය අපැහැදිලිය. කෙසේ නමුදු ඇතැම් විශ්වාසය බිඳ වැටීම විනෝදාත්මක සිනමාපටයක සුපුරුදු අංග බවට පත්වන අවස්‌ථාද තිබේ. 'ෆැන්ටසිය'ට අදාළ විශ්වසනීයත්වයක්‌ 'ෆැන්ටසි' සිනමාපටයක ඒකමිතිය කෙරෙහි බලපාන බව වටහා ගැනීමට තරම් එරංග පොහොසත්ය. යළිත් සිහියට නැගෙන්නේ 'සුරයහන ගිනි ගනී' හා සුරඟන යහන් සිනමාපට අධ්‍යක්‌ෂණයේදී එරංග දැක්‌වූ සමත්කමේ ප්‍රමාණය යි.

එරංගට අභියෝගයක්‌ එල්ල කරන අවස්‌ථා දෙකකි. පළමුවැන්න මැදිවියේ ධනවත් ව්‍යාපාරිකයකුගේ චරිතයයි. ඔහු විවාහකයකු බව ඇත්තය. එහෙත් සිනමාපටය නිමා කරන්නේ ඒ ගැන වගේ වගක්‌ නැතිවය. දෙවැන්න සිනමාපටයේ අවසාන ජවනිකාවයි. "ස්‌වීට්‌ ඒන්ජල්" ද අයත් වන සිනමා මාදිලියේ ඇතැම් සිනමාපට නිමා වන්නේ අතාර්කිකවය. එතෙක්‌ ඔඩු දිවූ සියලු ප්‍රශ්න මිනිත්තු කිහිපයක්‌ තුළ විසඳෙයි. 'අංජලිකා' හොඳම උදාහරණයකි. එරංගද එමඟටම පිවිස ඇති බව පෙනේ.

දරුවකුගේ උපන්දින සැමරුමේදී චරිත අතර වූ පටලැවිලි නිරාකරණය වේ. සියලු දෙනාම අලුත් ජීවිත අරඹන්නට ලක ලැහැස්‌ති වන්නේ ප්‍රේක්‌ෂකයා බිරන්තට්‌ටු කරමිනි.

මේ කරුණු සඳහන් කරන්නේ එරංග සිනමා අධ්‍යක්‌ෂණයෙන් බැහැර නොයන්නට වෑයම් කරන සිනමාකරුවකු වන නිසාමය. විවිධ හේතුමත සිනමාවෙන් බැහැර වූ, දුරස්‌ වූ සිනමාකරුවන් බොහෝ දෙනෙකි. ලාංකික සිනමාවේ කලාත්මක ජයග්‍රහණ එහෙයින් අඩාලවන බව පැහැදිලිය. විනෝදාත්මක සිනමාවේ විවිධත්වයට අභියෝග එල්ල කරන බවද පැහැදිලිය. එරංග මේ දෙයාකාරයේම සිනමාපට තනන්නට කැමැති බව අවධාරණය කළ සිනමාකරුවෙකි. තමා කවර මාදිලියක සිනමාපට අධ්‍යක්‍ෂණය කළ යුතුදැයි යන්න තීරණය කළ යුත්තේ ඔහුය. කෙසේ වෙතත් සිනමා අධ්‍යක්‌ෂණයට ආධුනිකයකු නොවන නිසාම ඔහු වෙතින් ප්‍රමාණවත් ප්‍රමිතියක්‌ අපේක්‌ෂා කරන්නටම සිදුවේ. පෙර සඳහන් කළේ "ස්‌වීට්‌ ඒන්ජල්" හි ගැටලු සහගත ස්‌ථාන දෙකක්‌ පමණි. අපසු හැරී "ස්‌වීට්‌ ඒන්ජල්" හි ප්‍රමිතිය දෙස බලන්නට ද දැන් එරංග අවස්‌ථාවක්‌ උදාකර ගෙන ඇත.

තුසිත ජයසුන්දර

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.