සංස්‌කරණය : නාරද නිශ්ශංක

කලාව අපේ ජාන තුළ තිබුණත්
එය සැබෑවටම රසවිඳින්න කැමැති නැහැ
"කිං හන්තර්" අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්

විහිලුවව වුණත් අවංකව කළ යුතුයි

ආලංකුලම ෆිල්ම්ස්‌ ඉදිරිපත් කිරීමක්‌ ලෙසින්, ඊඒපී චිත්‍රපට බෙදාහැරීමක්‌ වූ "කිං හන්තර්" සිනමාපටය මේ දිනවල දිවයින පුරා පිහිටි සිනමාශාලාවන්හි දී සාර්ථකව තිරගත වේ. හාස්‌යෝත්පාදක කතා තේමාවක්‌ රැගත් "කිං හන්තර්" දේශපාලන වේදිකාවත්, සමාජයේ විවිධ වූ පැතිකඩයන් පිළිබඳවත් ගෙනහැර දැක්‌වීමට ගත් ප්‍රශංසනීය වූ උත්සාහයක්‌ බවත් පැවසිය යුතුය.

රූපවාහිනි මාධ්‍ය ඔස්‌සේ, ඉදිරිපත් කළ කතුර, නෝනාවරුනි මහත්වරුනි, එතුමා, මෙතුමා, ආතභූත, බිම කරනම්, මැති නැතිදා යන හාස්‌යෝත්පාදක ටෙලි නිර්මාණ අධ්‍යක්‍ෂණය කරමින්, ප්‍රේක්‍ෂක මනදොළ රසාලිප්ත වූ ලොවකට ගෙන ගිය, ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ සිනමා ආගමනය "කිං හන්තර්" ය.

හාස්‍යයට බලහත්කාරකම් නොකොට, හාස්‍යයට ඇති ඉඩකඩ, සීමා මායිම් පිළිබඳව මනාකොට තේරුම් ගත් ඔහු "කිං හන්තර්" සිනමාපටය මගින් එය වෙහෙසකින් තොරව ප්‍රේක්‍ෂකයාට පසක්‌ කොට ඇත.

මතු දැක්‌වෙන්නේ "දිවයින සිනමා කලා" "කිං හන්තර්" අධ්‍යක්‍ෂවරයා වූ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සමඟ ඔහුගේ කලා දිවියෙහි අතීතයටත්, වර්තමානයටත් පියමැනීමට ගත් උත්සාහයකි.

ඔබේ කලා දිවියෙහි ඇරඹුම පිළිබඳව සඳහන් කරමින්, මේ කතාබහට ප්‍රවේශයක්‌ ලබාගතහොත්....

මගේ ගම යාපනය. මම ඉගෙන ගත්තේ කොළඹ ක¹න ශාන්ත සෙබස්‌තියන් මහා විද්‍යාලයෙන්. පාසල් සමයේත්, කලාවට ඇල්මක්‌ තිබුණා. පාසල් වේදිකාවේ රංගනයන් ඉදිරිපත් කළ මා සංගීතයටත් කැමැත්තක්‌ දැක්‌වුවා.

ඔබ කලක්‌ මාධ්‍යවේදියකු ලෙසත් යම් භූමිකාවක්‌ ඉටුකළා. ඒ පිළිබඳවත් මතකය කෙබඳුද?

1981 දී උපාලි පුවත්පත් සමාගමට එක්‌ වූ මා, ලිතෝ චිත්‍ර ශිල්පියකු ලෙස සේවය ආරම්භ කළා. අනතුරුව "නවලිය" පුවත්පත වෙනුවෙන් ලිවීමටත්, ඡායාරූප ගැනීමටත් එක්‌ වූ මා කෙටි කලක්‌ මාධ්‍ය වෘත්තියේත් නියෑළුණා.

එතකොට කොහොමද... කලා නිර්මාණ සඳහා යොමුවන්නේ....

1985 දී පුවත්පත් සංවාදයකට මා හා එක්‌ වූ නිලේaන්ද්‍ර දේශප්‍රිය මහතාගේ ඇරයුමින් "සිසිල ගිනි ගනී" චිත්‍රපටයේ 2 වැනි සහය අධ්‍යක්‍ෂ වූ මා, ප්‍රවීණ නිර්මාණවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ "වෙද හාමිනේ" ටෙලි නිර්මාණයේදීත්, 2 වැනි සහය අධ්‍යක්‍ෂ වුණා. 1997 දී පත්තර රස්‌සාවට ආයුබෝවන් කීවා. මේ අතරතුරදී ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්‍ෂක ලෙස වැඩ කළා. 1997 දී "සිරස" නාලිකාව හා එක්‌ වූ මා "නෝනාවරුනි මහත්වරුනි, දාමිණි, කතුර, අහන්න ආසයි ගයන්න, නිදි කුමාරි, දෙවරක්‌ චක්‌කරේ ඇතුළු ටෙලිනාට්‍ය සහ වැඩසටහන් හි දේශීය කළමනාකරු ලෙසත් අධ්‍යක්‍ෂ ලෙසිනුත් රැගෙන ආවා, ජාතික රූපවාහිනිය වෙනුවෙන්, එතුමා, මෙතුමා, ආතභූත, බිම කරණම්, මැති නැති දා ඉදිරිපත් කළා. මගේ බොහෝ නිර්මාණයන්හිදී මා දේශපාලනය කියන වේදිකාව තුළ සිදුවන සිදුවීම් හාස්‍ය මුසුකොට නාට්‍ය අනුසාරයෙන් ප්‍රේක්‍ෂකයාට ලබාදීමට උත්සාහ ගත්තා. එය, අපේ රටේ ප්‍රේක්‍ෂක හදවත් ඇඳ බැඳ ගැනීමට සමත් වුණා යෑයි පවසන්නේ නිහතමානි වූ ආඩම්බරයකින්.

ඒ... ප්‍රේක්‍ෂක හද දිනා ගැනීම, ඔබව සිනමාව දෙසට තල්ලු කිරීමක්‌ වුණා නේදැයි මා විමසුවොත්....

සත්තකින්ම, මා ඉන්නේ ඔබත් සමඟ එකඟව. කලාව අපේ ජාන තුළම තැන්පත්ව තිබුණත් එය වින්දනීයව විඳින්න අපි මැළිකමක්‌ දක්‌වනවා. එය එසේ විය යුතු නැහැ. අපේ රටේ ප්‍රේක්‍ෂකයා තුළ, රසාස්‌වාදය තිබෙනවා. නමුත් ඔවුන්ට දැනෙන, හැඟෙන නිර්මාණ බිහිකරලීම අපහසු කටයුත්තක්‌. මම එහෙම කියන්නේ, විහිළුව වුණත් අවංකව කළ යුතු නිසයි. මගේ අධ්‍යක්‍ෂණය තුළින් පවතින සමාජ වටපිටාව සහ දේශපාලන පසුබිමද, හාස්‍ය ගැබ් කොට ගෙනහැර දක්‌වන්නට උත්සුක වන්නේ එම නිසයි. එසේ කළහොත් එය, සැහැල්ලු විනෝදාස්‌වාදයකට රුකුල් දීමක්‌ නොවේද?

අද සිනමාවත් යම් පසුබෑමක තිබෙන මොහොතක, ඔය කියන සැහැල්ලු විනෝදාස්‌වාදය සමගින් එය ගොඩගත හැකි යෑයි ඔබ පවසනවාද?

"කිං හන්තර්" ට විතරක්‌ මේ සිනමාව ගොඩගන්න බැහැ. නිසි පිළිතුරක්‌ සෙවිය යුතුයි. විද්වතුන්, සිනමාකරුවන් එයට එක්‌විය යුතුයි. සිනමා ශාලා වැහෙනවා, ප්‍රේක්‍ෂකයො අඩුවෙනවා. එය නැවත නඟාසිටුවීමට පුළුල් කතිකාවක්‌ ඇවැසි බව මගේ මතයයි. තතු කෙසේ වුවත්, "මහින්දාගමනය"ට සහ "කිං හන්තර්"ට සිනමාවේ අලුත් පිබිදීමක්‌ සිදුකරලන්නට හැකි වූ බවත් පැවසිය යුතුයි. මම ජීවත්වන්නේත් කලාව තුළ නිසා, මට වගේම අනෙකාටත් යහපතක්‌ විය යුතුයි. ඒ තුළ අප කලාව ජීවත් කරවන්න සිතුවත්, කලාව තුළ අප ජීවත්වනවාදැයි ගැටලු සහගතයි. මේ රස්‌සාව මිනිසුන්ගේ මනස සමඟ කරන ගනුදෙනුවක්‌. එය උත්තරීතරව කළ යුතුයි. ඒත්....මිනිසුන් සිනහ ගැන්වීමට ගොස්‌, ඔවුන්ගේ සිනහවට නිර්මාණකරුවා ලක්‌නොවිය යුතුයි.

ඔබ මෙතෙක්‌ කලාවට දැක්‌වූ දායකත්වය පිළිබඳව පසු විපරමක යෙදුණොත්, ඒ පිළිබඳව තෘප්තිමත්ද?

කලාව වෙනුවෙන් මෙතෙක්‌ කළ දේ පිළිබඳව තෘප්තිමත් වුවත්, වෙනස්‌ වූ දැක්‌මකින් ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණ දෙස බැලීමට අදිටන් කරගත යුතු බව මගේ හැඟීමයි. එය ඉදිරි පැවැත්මට යහපත් ආයෝජනයක්‌ වෙයි.

මේ දිනවල විකාශය වන "කප් සුවහස්‌ කල්" ටෙලිනාට්‍යය ඔබේ නිර්මාණකරණයේ වෙනස්‌ මඟක්‌ ගත් අවස්‌ථාවක්‌. ඒ ගැනත් පැවසිය යුතු යමක්‌ තිබෙනවාද?

හාස්‍යය, සම්භාව්‍ය හෝ වෙනත් දෙයක්‌ කියා, එයට පමණක්‌ම කොටු වී නිර්මාණකරණයෙහි යෙදීමට මා උත්සුක වන්නේ නැහැ. වෙනස්‌ව සිතිය යුතු තැනදී මා වෙනස්‌ව සිතනවා. සහන් විඡේසිංහ නිෂ්පාදනය කරන "කප් සුවහස්‌ කල්" කොටස්‌ සියයක්‌ පුරා දිවයන වෙනස්‌ වූ කතා තේමාවක්‌ රැගත් ටෙලි නිර්මාණයක්‌. අධ්‍යක්‍ෂවරයා ලෙස මා කළ කී දේ මේ වන විට ප්‍රේක්‍ෂකයා අත්විඳිනවා.

මෙතෙක්‌ ආ ගමනට ඔබට සවියක්‌ වූ සහෘදයන් පිළිබඳවත් ඔබේ පවුලේ තොරතුරුත් සිහිපත් කළොත්....

මම විවාහකයි... මගේ බිරිඳ ධම්මිකා ඕවිස්‌ස. ඇය ගලගෙදර ප්‍රාදේශීය සභාවේ සංස්‌කෘතික නිලධාරිනියක්‌. ඇය කලාවට විශේෂ කැමැත්තක්‌ නැතත්, මට හැකි සෑම උපකාරයක්‌ම ලබාදෙනවා. තවම එක පුතයි. පරාක්‍රම නිරිඇල්ල, ප්‍රසන්න විතානගේ, බුඩී කීර්තිසේන, ඩී. බී. නිහාල්සිංහ, සුදත් දේවප්‍රිය, ජයන්ත චන්ද්‍රසිරි, ඩී. බී. වර්ණසිsරි, චන්ද්‍රරත්න මාපිටිගම, ධර්මසිරි බණ්‌ඩාරනායක, ධර්මසේන පතිරාජ, ෂෙල්ටන් ආරච්චිගේ, නිලේන්ද්‍ර දේශප්‍රිය යන එදාමෙදා තුර මා සමඟ එක්‌ව නිර්මාණකරණයෙහි යෙදුණු සෑම සියලු දෙනාත්, ඔවුන් මට ලබාදුන් ගුරුහරුකම් පිළිබඳවත් ගෞරවනීයව කෘතවේදිත්වය පුදකරලීමට මෙය අවස්‌ථාවක්‌ කොට ගැනීමට කැමැතියි. මේ දිනවල සාර්ථකව තිරගත වන "කිං හන්තර්" චිත්‍රපටය, නිෂ්පාදනය කළ ධම්මික සිරිවර්ධන පිළිබඳවත් යමක්‌ පැවසිය යුතුයි. ටෙලිනාට්‍ය 25ක්‌ සහ චිත්‍රපට 4ක්‌ නිෂ්පාදනය කළ ඔහු මා කෙරෙහි තැබූ විශ්වාසයට සුවිශේෂිතව ස්‌තුතිය පුදකළ යුතුයි.

"කිං හන්තර්" සිනමාපටය හරහා ප්‍රේක්‍ෂක අප හාස්‍ය පිරුණු රසාලිප්ත වූ ලොවකට රැගෙන ගියත්, ඒ තුළ ගැබ්වුණු ප්‍රබල සමාජගත පණිවුඩය ද ග්‍රහණය කරගන්නා අප, එහි අධ්‍යක්‍ෂවරයා වන ජයප්‍රකාශ් සිවගුරුනාදන්හට ඔහුගේ ඉදිරි කලා නිර්මාණයන්ට ද මෙසේ සුබ පතමු.

සුජීව තත්සර
ඡායාරූප - වාසල සේනාරත්න

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.