අන්තර් සංගම් ප්‍රථම බීච් දැල්පන්දු
ශූරතාව අගෝස්‌තු 27 - 28 මීගමුවේදී


මාලදිවයිනටත් ඇරයුම්

සුසිල් ප්‍රේමලාල්

ජාතික මට්‌ටමින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම බීච් (වෙරළ) දැල්පන්දු තරගාවලිය ලබන අගෝස්‌තු 27 සහ 28 යන දිනවල මීගමුව වෙරළ තීරයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු අතුරු පාලන කමිටුව විධිවිධාන යොදා ඇත.

ලබන ඔක්‌තෝබර් මාසයේ හම්බන්තොටදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරගාවලියට පෙරහුරුවක්‌ ලෙස අදාළ තරගාවලිය මීගමුවේදී පවත්වනු ලබන අතර ඒ සඳහා මාලදිවයිනේ කණ්‌ඩායමකට ද ඇරයුම් කොට ඇති බව ශ්‍රී ලංකා දැල්පන්දු අතුරු පාලන කමිටුවේ සභාපතිනි තමාරා ධර්මකීර්ති හේරත් මහත්මිය "දිවයින" ට පැවසුවාය.

ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනයට අනුබද්ධිත දිස්‌ත්‍රික්‌ සංගම් 35 නියෝජනය කරමින් එක්‌ කණ්‌ඩායම බැගින් මෙම තරගාවලියට සහභාගිa කළ හැකි අතර ඊට අමතරව සංගම් ඒකාබද්ධ වී ද කණ්‌ඩායම් ඉදිරිපත් කළ හැකි බව තරග සංවිධායක කමිටුව පවසයි.

අදාළ තරගාවලියේ දක්‍ෂතා ද විශේෂ සැලකිල්ලට ගෙන දකුණු ආසියානු බීච් දැල්පන්දු පුහුණු සංචිතය පුළුල් කිරීමට දැල්පන්දු අතුරු පාලන කමිටුව තීන්දු කොට තිබේ.

තරගාවලිය සඳහා අයදුම්පත් ලබන අගෝස්‌තු 10 දා දක්‌වා බාර ගැනේ. සියලුම අයදුම්පත් අදාළ දිනයට පෙර කුමුදුනි ගෝමස්‌ මෙනවිය ලේකම්, ශ්‍රී ලංකා දැල්පන්දු අතුරු පාලන කමිටුව, නො. 16 "ඒ" ගෝමස්‌ පටුමග, කොළඹ 5 යන ලිපිනයට යොමු කළ යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.