පරණ පුරුදු

  මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි.

තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

 

අපි හැමෝම පැවිදි වෙන්නේ මේ සසර දුකින් මිදීම අරමුණු කරගෙන. එහෙම පැවිදිවෙලා ආරණ්‍යගතව කුටි හදන්න, පාරවල් හදන්න වගේ සංවර්ධන වැඩට යොමුවීම අභාග්‍යයකි.

ගිහිගෙදර ගෙවල් දොරවල් අතහැරලා පැවිදිවෙන්නේ අතීතයේ කළ දේවල් නැවත කරන්නට නොවේ. ගිහි කාලේ බාසුන්නැහේ පැවිදි වෙලා බාස්‌ වැඩේ කරනවා. ලේඛක මහතා පැවිදිවෙලා පොත්ලියනවා, අරක්‌කැමියා පැවිදිවෙලා මුළුතැන්ගෙයි දානය හදනවා.....

මෙය නොවිය යුතු දෙයක්‌.

අපි සිතන්න ඕනේ අපි පැවිදි වූණේ එවැනි සංවර්ධන වැඩ කිරීමට නොව සිත සංවර්ධනය කිරීමටය කියා. ඇයි සිත සංවර්ධනය කරන්නේ, සිත කෙළෙස්‌ වලින් ගරා වැටී ඇති නිසා. එහෙයින් නිවන් මගේ හික්‌මෙන ඔබ කළයුත්තේ ගොඩනැගීම නොව, කඩාදැමීමය.

සියලු කෙළෙස්‌ කඩා දැමූ කල අප ගමන් කරන්නේ නිවීම දෙසටය. ගිහි ජීවිතය පුරාවට අපි කළේ ගොඩනැගීමයි.

පවුල, ධනය, සම්පත්, සමාජ තත්ත්වය අපි ගොඩනැගූ කෙළෙස්‌ කන්දයි. අපි කළයුත්තේ එම බර එකිනෙක බිම තැබීමයි. එම බර බිම තබා ආරණ්‍ය සංවර්ධන බර ඔබ කරට ගන්නේ නම්, එයද කෙළෙස්‌ කන්දක්‌මය. අපි කළ යුත්තේ "කැහි ගෑනියදී, සොටු ගැහැනිය ගැනීම" නොව මේ දෙදෙනාම අතහැරීමය.

එසේ නොකළහොත් කැහි සහ සොටු වලින් ඔබව සංසාරික පීනස්‌ රෝගියෙක්‌ කරනු ඇත.

'ශාසනය රකින්න, ආරණ්‍ය දියුණු කරන්න'... මේවා මාරයාගේ ලස්‌සන අයිසිං තැවරූ කේක්‌ ගෙඩිය. ඔබ දක්‍ෂ විය යුත්තේ අයිසිං තවරා ඇත්තේ කේක්‌ ගෙඩියකට නොව ලෝදිය හැළියකට බව අවබෝධකර ගැනීමටය.

සංසාරය පුරාවට අපි ආරක්‍ෂා කළ ශාසන වල, අපි හැදූ, පූජාකළ කුටිවල, ආරණ්‍ය වල මහරහතන් වහන්සේලා ලක්‍ෂ ගණනින් වැඩ සිටින්නට ඇත. සුනිතලා, පටාචාරලා සෝපාක ලා වැනි අන්ත අසරණ අඩියක සිට පැමිණ, අරහත්වය ලබාගත් උතුමන්ද වැඩ සිටින්නට ඇත. එහෙත් අපි තවමත් කුටි, ආරණ්‍ය, ගල්වැටි බඳිමින් සිටින්නෙමු. ඔය ගඩොලින් ගඩොල බැඳෙන්නේ ආරණ්‍ය සංවර්ධනය නොව දුකය. නිවීමේ මඟ යනු ගඩොලින් ගඩොල ගලවා ඉවත් කිරීමයි. මේ දුක අපි ඊළඟ පරම්පරාවන්ටද උරුමකොට දෙන්නෙමු. ගිහි පිංවතුන්වද මේ කඹයේම දිගේලි කරමු.

වනය තිබෙන්නේ එළිකරන්නටවත්, ලස්‌සන කරන්නට වත් නොවේ. වනය ස්‌වභාවයෙන්ම පියකරුය. අප කළයුතේ අපේ හදවත් ධර්මයෙන් ලස්‌සන කිරීමයි. අපේ හදවත් අපිරිසිදු නම් වනය ලස්‌සන කරන්නට අපිට සිදුවේ. එහෙත් ඔබ කැමැති ආරණ්‍ය සංවර්ධනයට නම් ඔබ එම වනයේම මතු ආත්මයේදී රුක්‌ දෙවියෙක්‌ ,ආරණ්‍ය සුරකින දෙවියෙක්‌ වීමට පුළුවන. එය ඔබ කැමති දෙයම නිසා සතුටින් භාරගතයුතුය. ලෝකයේ ස්‌වභාවය විවිධය. ස්‌වභාවය විවිධත්වයට පත්වන්නේ අනිත්‍ය භාවය නිසාය. එහෙයින් විවිධත්වය ලෙස අප දකින්නේ අනිත්‍යයි. එය අවබෝධ කරගැනීම ධර්මය, අනිත්‍යය අවබෝධ කරගැනීමය.

ආරණ්‍යයක්‌, ශුන්‍යගාරයක්‌ තුළට නිවන් මග වඩන්නෙක්‌ යා යුත්තේ පරිසරයේ ස්‌වභාවය අවබෝධ කරගැනීමට මිස තම තමන්ගේ උවමනා එපාකම් වලට අනුව පරිසරයේ ස්‌වභාවය වෙනස්‌ කිරීමට නොවේ. එසේ කිරීමෙන් ඔබ ධර්මය අවබෝධකිරීම මඟහැර, ධර්මයේ කොටස්‌කරුවෙක්‌ වෙනවා ඇත. අසනීපයට බෙහෙත් ගැනීමට රෝහලට ගිය රෝගියා කළ යුත්තේ රෝගයට බෙහෙත් ගැනීමයි.

ඔහු එය පසෙක තබා රෝගීන්ට උපස්‌ථාන කිරීමට යන්නේ නම්, ඔහුගේ රෝගය ඔහුව පිළිගනු ඇත. අවාසනාව වනුයේ වෛද්‍යවරයාත්, ඖෂධත් රෝහලත් තුනම තිබියදී ඔහු රෝගයෙන් මිය යැමයි. අපි කළ යුත්තේ බැළුම්බෝලයක්‌ වන් මිනිස්‌ දුවකගේ, තිරිසන් දුවකගේ, ප්‍රේත දුවකගේ ගර්භාෂ කුටියකට නැවත ගාල් කිරීමට නොව මේ කසල ගොඩේ නැවත ගාල් නොවීමට වගබලාගැනීමයි. එහෙත් ඔබ පතන්නේ ගර්භාෂ කුටියක්‌ නම් නොවරදවාම ඔබට එය ලැබෙනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.