දැයට අහිමි වූ මහා ප්‍රාඥයා මහාචාර්ය මැන්දිස්‌ රෝහණදීර
සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක

පූජාච පූජනීයානං

සිංහලයේ මහා වංශ කතාව නමින් වූ රූපවාහිනී වැඩසටහන නැරඹූ කිසිවෙකුට මහාචාර්ය මැන්දිස්‌ රෝහණදීරයන් අමුතුවෙන් හඳුන්වාදීම ඇවැසි නොවේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වශයෙන් සේවය කොට විශ්‍රාම ගොස්‌ සිටි එතුමාණන්ගෙන් වසර තිස්‌පහක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ සරසවිය තුළ පමණක්‌ සිප් සතර හැදෑරූ සිසු කැල රට පුරා විවිධ ක්‍ෂේත්‍රයන්හි රට ජාතියේ උන්නතිය සඳහා සේවය කරමින් සිටිති. මේ බොහෝ දෙනකු එතුමන් පිළිබඳව වැඩිපුර දන්නේ මෙම යුගයේ සිටි ප්‍රවීණ ඉතිහාසඥයකු වශයෙන් හා විශිෂ්ට වාග් විලාසයකින් යුක්‌ත වූ දේශකයාණන් කෙනකු වශයෙන් පමණක්‌ විය හැකිය. එහෙත් ඉන් ඔබ්බට ගියහොත් උසස්‌ කාව්‍ය ප්‍රබන්ධකයකු, විශිෂ්ට නාට්‍ය ග්‍රන්ථ පරිවර්තකයකු, වේදිකා නාට්‍ය නිෂ්පාදකයකු වශයෙන් ද දෙස රැස බස ආරක්‍ෂා කරගැනීම උදෙසා වාමාංශික දේශපාලනයට බසිමින් වරෙක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ අවිස්‌සාවේල්ල සංවිධායක වශයෙන් ද තවත් වරෙක තිස්‌සමහාරාම සංවිධායක වශයෙන් ද කටයුතු කරමින් මහ මැතිවරණ ගණනාවකදී හා පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ පොදුජන පෙරමුණ බලයට ගෙන ඒමට අති ප්‍රබල දායකත්වයක්‌ ලබාදුන් පඬිවරයෙකි.

රුහුණේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පල්ලත්තර ගම් පියසෙහිදී 1931 දී උපත ලැබූ එතුමා ප්‍රාචීන භාෂා පිළිබඳ පඬිවරයකු වූයෙන් අපේ ඉතිහාසය ගොඩනැගීමේදී නව පර්යේෂණයන් කිරීම සඳහා අන් බොහෝ දෙනකුට නොතිබූ හැකියාවක්‌ එතුමාට තිබිණි. විදෙHdaදය විශ්වවිද්‍යාලයේ ආරම්භක උපකුලපති වැලිවිටියේ සෝරත නාහිමියන් විසින් එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ කථිකාචාර්යවරයකු වශයෙන් තෝරා ගැනීමේදී ඊට ප්‍රධාන හේතුව වූයේ එතුමාගේ මෙම භාෂා ඥන කුසලතාව බව අසන්නට ලැබේ. තවද මෙරට ශිලා ලිපි කියවීම පිළිබඳ මනා පරිචයකින් හෙබියා වූ එතුමා විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සමයට අයත් ශිලා ලිපි සංග්‍රහයක්‌ ද රචනා කොට ඇත. සිය දර්ශනශූරී උපාධිය සඳහා ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය පිළිබඳ සුවිශේෂ පර්යේෂණ ග්‍රන්ථයක්‌ කළ එතුමා මහාසාමි සංඝරාජ පරපුර, ජයවර්ධනපුර සංඝරාජ පරපුර, බුදු සමය නිරිතදිගට, සාංඝික දේපල, අස්‌ගිරියෙන් උඩරට ඉතිහාසය ඇතුළු තවත් ග්‍රන්ථ ගණනාවක්‌ ප්‍රකාශයට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ සංඝ ශාසනය වෙනුවෙන් එතුමා විසින් කළ මෙම පර්යේෂණ දායකත්වය ඇගයීමට ලක්‌කළ අස්‌ගිරි පාර්ශ්වීය කාරක සංඝ සභාව, ශ්‍රී සම්බුද්ධ ශාසන විභූෂණ නම් ගරු අභිධානය එතුමන්ට පිරිනැමුයේ අතිගරු ජනාධිපතිතුමන් ද ඉදිරියේදීය. ඉහත කී ග්‍රන්ථවල විෂය ක්‍ෂෙත්‍රයට අමතරව එතුමන් විසින් ඇන්ටන් චෙකොµaගේ චෙරිවත්ත පරිවර්තනය කිරීම, මහගමසේකර කාව්‍ය සේවනය ආදී ග්‍රන්ථ හෙළිදක්‌වා ඇත.

කලක්‌ එතුමා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන සංස්‌කාරක පදවිය හෙබවිය. ශාස්‌ත්‍රීය අංශයෙන් එතුමා දැක්‌වූ කුසලතාව හේතුවෙන් 1970 දී එතුමන් විසින් සම්පාදිත අස්‌ගිරි තල්පතින් අලුත් වන ලංකා ඉතිහාසය ග්‍රන්ථයට ජනාධිපති සම්මානය හිමිවිය. තවද 1989 දී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සාධනයේදී ඉතිහාස ක්‍ෂේත්‍රයේ සේවයට පිරිනැමෙන ප්‍රසාදාත්මක තිළිණය හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් පිරිනමන ලදී.

සිංහල සාහිත්‍යය උගන්වන පාසල් ගුරුවරයකු වශයෙන් සිය දැනුම මතු පරම්පරාවට බෙදාදීම ආරම්භ කළ එතුමන් 1961 දී එවකට විෙද්‍යාaදය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්ය පදවියකට පත්කරන ලදුව, එම අංශයේ අංශාධිපති තනතුරටත් ක්‍රමයෙන් සහාය මහාචාර්ය, මහාචාර්ය හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිවලටත් පත්වෙමින් වසර තිස්‌පහක්‌ තිස්‌සේ විෂයට අදාළ දැනුම රැස්‌කිරීමත් එම දැනුම නවක විද්‍යාර්ථීන්ට බෙදාදීමේ කාර්යයෙන් නියෑළුණේ සැබවින්ම අනිකුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුනට සිය වගකීම සිහිපත් කර දෙන්නාක්‌ මෙනි. එම සේවාව ඇගයීමක්‌ වශයෙන් මෙම වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් එතුමාට සේවා සම්මානිත මහාචාර්ය පදවිය පිරිනැමීය. අද පූර්ණ විශ්වවිද්‍යාලයක්‌ බවට පත්ව ඇති රජරට විශ්වවිද්‍යාලයේ ආරම්භක අවස්‌ථාවේදී අනුබද්ධ විශ්වවිද්‍යාලයක්‌ වශයෙන් එහි අධ්‍යක්‍ෂ තනතුරට පත්වී කරන ලද සේවය අගයමින් එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව එතුමන්ට ඩි. ලිට්‌ සම්මාන උපාධිය පිරිනමා තිබේ.

තවද අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය නිර්දේශ අනුව සකස්‌ කෙරෙන ග්‍රන්ථ පිළියෙල කිරීමේ සංස්‌කාරක මණ්‌ඩලයේ ද පුරාවිද්‍යා උපදේශක මණ්‌ඩලයේ ද ශ්‍රී ලංකා ඉතිහාස සංගමයේ සභාපති වශයෙන් ද යුනෙස්‌කෝ ජාතික මණ්‌ඩලයේ සාමාජිකයකු වශයෙන් ද සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශයේ නූතන කාව්‍ය පිළිබඳ උප කමිටුවේ සාමාජිකයකු වශයෙන් ද පුස්‌තකාල සේවා මණ්‌ඩලයේ ග්‍රන්ථ පරීක්‍ෂකයකු ලෙස ද තවත් බොහෝ තනතුරු උසුලමින් කරනු ලැබූ ජාතික මෙහෙවර විශිෂ්ටය.

1974 දී ජපන් පදනම අධි ශිෂ්‍යත්වය හිමිකරගත් එතුමා පුරා වසරක්‌ තිස්‌සේ ජපන් විශ්වවිද්‍යාලවලට සම්බන්ධ වී ජපන් බුදුසමය පිළිබඳ පර්යේෂණයේ නිරත විය. 1985 සිට තායිලන්තයේ රාම්කම්හෙන්ජි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී පුරාණ සියම් හා ශ්‍රී ලංකා සම්බන්ධතාවන් පිළිබඳ පර්යේෂණයේ නිරත වෙමින් පර්යේෂණ පත්‍රිකා කීපයක්‌ එළි දැක්‌විය. නිදසුනක්‌ වශයෙන් ක්‍රි.ව. 8 වැනි සියවසට අයත් තායිලන්ත ශිලා ලිපියක සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවේ තේලකටාහ ගාථාවල මුල් ගාථා තුන තිබෙන බව පෙන්වමින් දෙරට අතර සම්බන්ධතාවයේ අතීතය ලොවට හෙළි කළේය. එතුමා ප්‍රාචීන ප්‍රතිචීන භාෂා ඥනයෙන් හා විචාර බුද්ධියකින් යුක්‌ත ඉතිහාසඥයකු විය. ඒ සියල්ලට වඩා කැපී පෙනුණේ එතුමන්ගේ දේශනා විලාශයයි. දේශපාලන වේදිකාවේ හෝ ශාස්‌ත්‍රීය දේශනයකදී හෝ එතුමාගේ දෙසුමකට සවන් දෙන්නන්ගේ දෙනෙත් අඩවන් නොවීය. විනාඩි හෝරා ගෙවී යැම ඔවුනට නොදැනුණි. ඉතා සරල ලෙස ජීවත් වූ එතුමා ටයි කෝට්‌ ඇඳ සිටි බවක්‌ කිසි දිනක දැක නැත. සරළ ඇඳුමකින් නිතර සැරසුණු මහැදුරුතුමන් ඉඳහිට ජාතික සංස්‌කෘතිය අගය කරමින් බුලත් විටක්‌ සපනු දැක ඇත. ලොකු කුඩා සෑම කෙනකු හමු වූ කල්හි සිනාවකින් සංග්‍රහ කොට වචනයක්‌ දෙකක්‌ කතා කිරීම කිසිවිට අමතක කළේ නැත. එතුමාගේ ආදරණීය භාර්යාව පදුමා ද ළමා පරපුරක්‌ම යහමඟට යෑවූ ගුරු මාතාවකි. මනා අධ්‍යාපනයක්‌ ලබාදුන් යහපත් වැඩදායක දරුවන් හතරදෙනකුගේ පියෙකි. එතුමාගේ අභාවයෙන් රටට දැයට සිදු වූ අඩුව පහසුවෙන් පිරිමසාලිය නොහැකිය. මහාචාර්ය මැන්දිස්‌ රෝහණදීර පඬිවරයාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.