මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන ආන්දොaලනාත්මක විවාදය මහා ඇවිලෙන ගිනි කන්දක්‌ බවට පත්වනු රිසි පිරිසක්‌ද සිටිති. එහෙත් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින අයද මේ රටේම දරුවන් බව ඒ බොහෝ දෙනෙක්‌ නොදකිති. අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට තිබෙන උතුම් නිදහස සුරක්‌ෂිත විය යුතු බව තරයේ අපි පිළිගනිමු. අප මේ අර්බුදය දෙස බලන්නේ ද ඒ ප්‍රතිපත්තියෙහි පිහිටා බව ද සඳහන් කළ යුතුය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් අපගේ ප්‍රථම අන්දැකීම අතිශය අමිහිරි එකක්‌ විය. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට එරෙහිව එදා නැගුණු ජනරැල්ල මෙන්ම ඒ වෙනුවෙන් අහිමි වූ ජීවිත ගැනද අපට මතකය. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්‌ය. අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා එබඳු විරෝධී ආකල්පයක නැත. ඒ පිළිබඳව ඔව්හු නම්‍යශීලී ස්‌ථාවරයක ද සිටිති.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්නේ නම් ඒ සඳහා නිසි ප්‍රමිතියක්‌ අනිවාර්යය බව ඔව්හු කියති. එය ඉතා නිවැරදිය. එය අවශ්‍යයෙන්ම රජයේ වෛද්‍ය විද්‍යාලය හා සමවූවද ප්‍රාමාණික මහාචාර්ය හා ආචාර්යවරුන්ගෙන් සමන්විත වූද ආයතනයක්‌ විය යුතුමය. මන්ද යත් වෛද්‍යවරයා යනු වගකිවයුතු මෙන්ම ප්‍රබල සමාජ නිෂ්පාදනයක්‌ විය යුතු හෙයිනි. වෛද්‍ය උපාධිය නිකම්ම උපාධි කඩයකින් ගත හැකි තත්ත්වයට බාල වන්නේ නම් එය බරපතල ප්‍රශ්නයකි.

පෞද්ගලික වෛද්‍ය උපාධියට එරෙහිව නැගෙන ප්‍රබල තර්කයක්‌ වන්නේද එය මුදල් යහමින් තිබෙන අයට ලැබෙන වරප්‍රසාදයක්‌ බවය. එබඳු වෛද්‍ය උපාධියක්‌ බරපතල විෂමාචාරයක්‌ මෙන්ම නිදහස්‌ අධ්‍යාපනයට අභියෝගයක්‌ බවද අමුතුවෙන් කිව යුතු නැත. දැනට පවතින ක්‍රමය වන්නේ ඉහළම සුදුසුකම් සහිතව උසස්‌ පෙළ සමත් සිසුන්ට වෛද්‍ය උපාධිය සඳහා හිමිකම් ලබාදීමය. එය විනිවිද පෙනෙන සාධාරණ යෑයි හැඟෙන පිළිවෙතකි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළුවීම සඳහා එකම සාධකය වන්නේ මුදල් පමණක්‌ බවටද විවේචනයක්‌ තිබේ. එය සුදුසු ප්‍රමිතියක්‌ නොව මුදල් හිමියන්ට ලැබෙන වරමක්‌ බවට පත්වීමට තිබෙන අවකාශ වැඩි බව අපටද පෙනේ.

මේ අනුව වෛද්‍ය උපාධිය පිරිනැමීම පිළිබඳව අදාළ නිශ්චිත තත්ත්වයක්‌ තිබිය යුතුය. එය කිසිසේත්ම උපාධි ලබා දෙන කඩයක්‌ විය යුතු නැත. විශ්වවිද්‍යාල කඩයක්‌ ආරම්භ කිරීමට නම් ආයෝජන ශක්‌තිය හොඳටම සෑහේ. එහෙත් කිසියම් වෛද්‍ය විද්‍යාලයක්‌ පරිපූර්ණත්වයට පත්වන්නේ එහි භෞතික සම්පත්වලින්ම නොව එයට හිමි විද්වත්භාවය, ප්‍රාඥයන්ගේ හා ප්‍රමාණිකයන්ගෙ දැනුම් හා සහභාගිත්වය, සායන පහසුකම් වැනි ප්‍රබල හේතු සාධක අනුවය. එසේ නොවේ නම් එය ජනජීවිත සමඟ සෙල්ලම් කිරීමට මුදල් හා වරප්‍රසාද සහිත පිරිසකට ලබා දෙන අනතුරුදායක වරමකි.

මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ තත්ත්වය කුමක්‌ද? එහි මෙවැනි විද්වත්හු සිටිත්ද? එයට සම්භාවනීයත්වයක්‌ හිමිවී තිබේද? අදාළ බලධාරීන් මුලින්ම සලකා බැලිය යුත්තේ ඒ දේවල්ය. දැනට වාර්තාවන අන්දමට මාලබේ වෛද්‍ය විද්‍යාලයට එබඳු පසුබිමක්‌ නොමැතිව හුදු අන්තතෝමතික ලෙස වෛද්‍ය උපාධිය ලබාදීමට අවසර දී තිබේ. එහි සිසුන්ට සායනය පිළිබඳ පුහුණුවක්‌ හෝ නැති බවද කියති.

මාලබේ වෛද්‍ය විද්‍යාලය නිසි ප්‍රමිතියකට නොමැති නම් තකහනියේ එයින් උපාධි ලබාදීමේ අරමුණ කුමක්‌ද? වෙනත් රටක වෛද්‍ය විද්‍යාලයක්‌ හා සම්බන්ධ උපාධියක්‌ දීමට ඇරඹු එම විද්‍යාලයට මෙලෙස මේ රටේ උපාධියක්‌ පිරිනැමීමට තිබෙන සුදුසුකම් මොනවාද? එහි සිසුහු රජයේ වෛද්‍ය විද්‍යාලීය සිසුන් සමඟ සමතැන්හි සිටිත්ද?

මේ රටේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරඹන බවට ඝෝෂා කරන උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ තිරසර පිළිවෙත මනාය. එහෙත් ඒ අරඹන වෛද්‍ය විද්‍යාල හෝ වෙනත් විශ්ව විද්‍යාල පිළිබඳ විධිමත් හැදැරීමක්‌ එතුමා කර තිබේද?

පිටරට යවා සිය දරුවන්ට උගන්වන දෙමව්පියන් සියල්ලෝම ධනපතියෝ නොවෙතියි අපිද දනිමු. පිටරටට ඇදී යන මුදල් මේ රටේ රඳවා ගැනීමද ඉතා හොඳ අරමුණකි. එහෙත් ඒ අරමුණු ඉටු කරගන්නා අතරම අධ්‍යාපනයේ අරමුණුද ඉටු විය යුතුය. ප්‍රාමාණිකයන් රටට බිහි නොවන කිsසි අධ්‍යාපනයකින් වැඩක්‌ නැත. එය මේ රටේ අධ්‍යාපනයටද අදාළය.

අනෙක්‌ අතට මේ රටේ මුදල් පිටරටවලට යන්නේ අධ්‍යාපනය සඳහා පමණක්‌ද? අද මේ රටේ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ ඇතැම් නිලධාරීන් සඳහාද ලබා දෙන කෝටි ගණන් වටිනා වාහන වෙනුවෙන් අපි කොපමණ මුදලක්‌ වෙන් කරමුද? අපේ කිසිම දේශපාලනඥයෙක්‌ සාමාන්‍ය සරල වාහනයකින් සෑහීමකට පත් වේද? ඒ හැර වෙනත් නාස්‌තිකාර වියදම් කොපමණද? එනිසා අපේ රටේ තිබෙන මුදල් සුරැකීම සඳහා වෙනම සැලැස්‌මක්‌ සාදා ගත යුතු බව පමණක්‌ සඳහන් කරමු.

තතු මෙසේ හෙයින් මෙම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් තීන්දුවක්‌ ගැනීමට කිසිදු බාධාවක්‌ නැත. දැනටමත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ පිළිබඳ සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්‌ පත් කිරීමට තීරණය කර තිබේ. එය ඉතා කාලීන පියවරකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද එයට එකඟතාව පළකර තිබේ. ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක වාර්තාවන දෙමසක්‌ ඇතුළත ලබාගැනීමද ඇමැතිවරයාගේ අදහස වී තිබේ. එය මෙම අර්බුදය විස¹ ගැනීමට උචිත මෙන්ම ප්‍රායෝගික පියවරක්‌ බවද අපි හඟිමු.

මෙහිදී තවත් ප්‍රශ්නයක්‌ද මතුවේ. එනම් මෙහි දැනටම ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉරණම කුමක්‌ද යන්නයි. යම් හෙයකින් මාලබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය හා අධ්‍යාපන තත්ත්වය පිළිබඳ ගැටලුවක්‌ මතු වුවහොත් එම ආයතනයට අදාළ උපාධිය පිරිනැමීමට නිර්දේශ කළ අය ඊට වගකිව යුතු වෙති. බාල වැඩ, බාල ප්‍රමිතිය නිසා මේ වනවිටත් රටේ තිබෙන අර්බුදවලට තවත් බාල ප්‍රමිතියක වෛද්‍ය විද්‍යාලයක්‌ එක්‌ වුවහොත් සිදු වන්නේ කුමක්‌ද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.