දෙව් බඹුන් වන්දනා කරන
ශ්‍රී පාදස්‌ථානයේ අධිපති පදවිය


වර්ෂ 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඒ වන විට අතිශය ෙ€දජනක ලෙස පරිහානියට පත්ව තිබූ මෙරට භික්‍ෂු ශාසනය යළිත් ප්‍රතිෂ්ඨාපනය කරනු පිණිස උපසම්පදා විනය කර්මය සඳහා සියම් දේශයෙන් භික්‍ෂූන් වහන්සේලා ගෙන්වා ගැනීම සඳහා වැලිවිට අසරණසරණ සරණංකර හිමියන්ගේ බලවත් ඉල්ලීම ඉටුකරමින් වසර 171 ක්‌ මුළුල්ලේ ශ්‍රී පාදස්‌ථානය හිමිකර ගනිමින් සිටි හින්දු පූජකවරුන් පලවා හැර ශ්‍රී පාදස්‌ථානයේ භාරකාරත්වය සරණංකර සංඝරාජයාණන් වහන්සේට පවරනු ලැබීය.

සරණංකර සංඝරාජයාණන් වහන්සේට ලැබුණු ශ්‍රී පාදස්‌ථානයත් එහි පූජාසත්කාර වත් පිළිවෙත් සඳහා කුට්‌ටාපිටිය තඹ සන්නසින් ලද මුල් බිජු එකසිය හැටපස්‌ අමුණේ වපසරියත් එහි බඳ ගෙවතු ගහකොළ ගොඩමඩ ඇතුළු කුට්‌ටාපිටිය ගමත් උන්වහන්සේ තම ශිෂ්‍ය වේහැල්ලේ ධම්මදින්න ස්‌වාමීන් වහන්සේ වෙත පැවරූයේ නින්දගම් වැනි ලෞකික වස්‌තු පරිහරණයට වඩා භික්‍ෂු ශාසනයේ උන්නතිය උදෙසා ඇපකැපව කටයුතු කිරීම තම අභිප්‍රාය වන බව පවසමිනි.

ශ්‍රී පාදස්‌ථානයේ ප්‍රථම නායක පදවිය වේහැල්ලේ ධම්මදින්න හිමිපාණන් වහන්සේ වෙත ලැබුණේ එපරිද්දෙනි. උන්වහන්සේගෙන් අනතුරුව කඹුරුපිටියේ ගුණරතන, මාලිම්බඩ ධම්මධර, කරතොට ධම්මාරාම, ගාල්ලේ මේධංකර, ඉඳුරුවේ සුමංගල ගලගම අත්ථදස්‌සී, හික්‌කඩුවේ සුමංගල, පරගල සෝරත, රඹුක්‌පොත පඤaඤdසාර, මොරොන්තුඩුවේ ධම්මානන්ද, බටුගෙදර යසස්‌සී හා හඳපාන්ගොඩ විමල යන නායක ස්‌වාමීන් වහන්සේලා ශ්‍රී පාදස්‌ථානයේ නායක පදවි ඉසිලූහ.

ශ්‍රී පාදස්‌ථානයේ නායක පදවිය වූ කලී මෙරට උත්තරීතර නායක පදවියකි. මේ සඳහා පවත්නේ විවෘත ඡන්ද විමසීමකි. ඒ පිළිබඳව දක්‌වා ඇති නියෝගයන් මෙසේය.

1. ශ්‍රීපාදස්‌ථානයට අධිපති ස්‌වාමීන් වහන්සේ කෙනකු පත් කරගැනීම සඳහා ඡන්දය විමසීමට, ඡන්ද ලැයිස්‌තුව පිළියෙල කර එවීමට සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවන්වහන්සේ විසින් මල්වත්තේ මහානායක හාමුදුරුවන් වෙත දැනුම් දීම.

2. මෙම ඡන්ද ලැයිස්‌තු පිළියෙල කිරීම මල්වත්තේ මහානායක හාමුදුරුවන් වහන්සේ හෝ මහානායක හාමුදුරුවන් වහන්සේගේ උපදෙස්‌ පරිදි සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවන් වහන්සේ විසින් කළ යුතුයි.

3. ඡන්ද ලැයිස්‌තු පිළියෙල කිරීමෙන් පසු, ඡන්දය හිමි කෙනකුගේ නමක්‌ ඇතුළත් වී නොමැති නම් ඒ බව දැනුම් දීම සඳහා ඡන්ද නාමාවලි පත්‍රයේ පළ කිරීම (යම් කිසි කෙනකුගේ ඡන්දයක්‌ අහිමි වී ඇති නම් විහාර දේවාලගම් පනතේ අංක 41 වගන්තිය යටතේ ඉල්ලීම කළ යුතුයි)

4. සංශෝධනය කිරීමෙන් පසු එම ලැයිස්‌තුව පත්‍රයේ පළ කළ යුතුයි. මෙම ඡන්ද ලේඛනයේ නම් ඇති අයට පමණත් ඡන්දය දිය හැකි බවත්, මෙය අවසාන තීරණය බවත්, මින්පසු කිසිම වෙනස්‌ කිරීමක්‌ නොකරන බවත් සඳහන් විය යුතුය.

5. එම සංශෝධිත ලේඛනය, ශ්‍රීපාද ස්‌ථානයේ අධිපති කෙනකු තෝරා පත්කර ගැනීම සඳහා සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවන්ට යෑවිය යුතුය.

6. ඒ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ස්‌වාමීන් වහන්සේ විසින් ශ්‍රීපාදස්‌ථානයට අධිපති හාමුදුරුවන් වහන්සේ නමක්‌ තෝරා ගැනීම සඳහා ප්‍රසිද්ධ රැස්‌වීමක්‌ කැඳවීමට සුදුසු ස්‌ථානයක්‌, දිනයක්‌ සඳහන් කර ප්‍රසිද්ධ පත්‍රවල පළකළ යුතුයි.

7. මෙම රැස්‌වීමට පැමිණෙන ඡන්දය හිමි භික්‍ෂූන් වහන්සේලාගෙන් අත්සන් ලබාගෙන ඉල්ලුම්පත්‍රත් සමඟ මල්වත්තේ මහානායක හාමුදුරුවන් වහන්සේට යෑවිය යුතුයි.

8. මෙම ඉල්ලුම් පත්‍ර මහානායක හාමුදුරුවන් ඇතුළු කාරක මහා සංඝ සභාව විසින් පරීක්‍ෂාකර ඒ අනුව වැඩිම ඡන්ද ගණනක්‌ ලබාඇති ස්‌ථවිරයන් වහන්සේ ශ්‍රීපාදස්‌ථානයේ අධිපති බවට ප්‍රකාශ කර, බල කඩදාසිය පිළිගන්වා ලංකාණ්‌ඩුවට දැනුම් දිය යුතුය.

9. ඡන්දය හිමිවිය යුතු අය (- රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ උපසම්පන්න වූ ස්‌ථිර පදිංචියක්‌ ඇති භික්‍ෂූන් වහන්සේ ඡන්ද දායකයායි. (විහාර දේවාලගම් පනතේ 41 වැනි වගන්තියේ 17 වැනි කොටසේ ලියවී ඇති පරිදි ස්‌ථිර පදිංචිය විය යුතුය. උපසම්පදා සහතිකයේ පළාතේ ප්‍රධාන සංඝනායක ස්‌වාමීන් වහන්සේ හෝ මල්වත්තේ මහානායක ස්‌වාමීන් වහන්සේ හෝ අත්සන් කර තිබිය යුතුය. එසේ අත්සන් නොමැති සහතික ලත් ස්‌වාමීන් වහන්සේලාට ඡන්දය පාවිච්චි කළ නොහැක.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සියම් මහා නිකායට අයත් නවදුන් කෝරලය, කුරුවිට කෝරලය, අටකලන් කෝරලය කොලොන්න කෝරලය, කුකුළු කෝරලය සහ මැද කෝරලය යන කෝරලවලට අයත් පන්සල්හි වැඩවසන උපසම්පදාව ලැබූ භික්‍ෂූන් වහන්සේලාට අභිනව ශ්‍රී පාදස්‌ථානාධිපති නාහිමි නමක්‌ පත්කර ගැනීමට බලය ඇත. අවසන් වරට පැවැති ශ්‍රීපාද විහාරාධිපති තේරීම පිළිබඳව සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක වේහැල්ලේ ධම්මපාල නාහිමියන් නිකුත් කළ වාර්තාව මෙසේය.

"රාජ්‍ය වර්ෂ 1869 සිට 1970 දක්‌වා අවුරුදු ශතකයක කාලය තුළ ශ්‍රී පාදස්‌ථානයට අධිපති යතිවරයකු තෝරා ගැනීම අවුල්සහගත තත්ත්වයක පැවතියේය. වේහැල්ලේ ධම්මදින්න සඟ පරපුරේ ශිෂ්‍යානු ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් සම්ප්‍රදායානුකූලව 1869 දක්‌වා ශ්‍රීපාද විහාර පදවිය දරන ලදී. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ රදලවරුන්ගේ අයුතු බලපෑම් නිසා මෙම උත්තරීතර පදවිය පිළිබඳව අවුල් ඇතිවිය. එම නිසා ශ්‍රී පාද විහාර පදවිය තේරීමේ අවස්‌ථා තුනක්‌ම අධිකරණයේ පිහිට ලබා ඇත.

1986 දී ශ්‍රී පාද විහාරයට විහාරාධිපති ස්‌ථවිර නමක්‌ තෝරාගැනීම සඳහා සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක වේහැල්ලේ සිරිඅත්ථදස්‌සී ධම්මපාල ස්‌ථවිර වන මා වෙත පැවරී ඇති බලතල කරණ කොට ගෙන යථා පරිදි රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ නිත්‍ය නේවාසික උපසම්පන්න භික්‍ෂූන් වහන්සේගේ නාම ලේඛනය ප්‍රථමයෙන් සකසන ලදී. එම පදවියට සුදුසුකම් ඇති භික්‍ෂූන් වහන්සේලා 205 නමක්‌ ඇතුළත් වූහ. එසේ සකස්‌ කළ ඡන්දදායක ලේඛනය මහනුවර මල්වතු විහාරීය කාරක සංඝ සභාව විසින් නිවැරදි භික්‍ෂු නාම ලේඛනයක්‌ කොට පිළිගන්නා ලදී.

සිරිත් පරිදි 1986-10-06 දින පැය 13.30 ට පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍යමහා විද්‍යාල ශාලාවේදී නීත්‍යනුකූල ශ්‍රීපාද විහාරාධිපති පදවියට යතිවරයන් වහන්සේ නමක්‌ තෝරාපත්කර ගැනීම පිණිස වේහැල්ලේ ධම්මපාල ස්‌ථවිර වන මගේ ප්‍රධානත්වයෙන් භික්‍ෂුන් වහන්සේගේ රැස්‌වීම විය.

එහිදී සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුවගම සිරි විසුද්ධාරාම පිරිවෙන් විහාරාධිපති කොටාමුල්ලේ රතනජෝති මහා ස්‌ථවිරයන් වහන්සේ සහ සබරගමු පළාතේ උපප්‍රධාන සංඝනායක කිරිඇල්ලේ නැදුන් රජමහා විහාරාධිපති හඳපාන්ගොඩ විමල ස්‌ථවිරයන් වහන්සේ ශ්‍රී පාද පදවියට සුදුසු යෑයි නාම යෝජනා කරන ලදී.

උන්වහන්සේලා වෙනුවෙන් විශේෂයෙන් සකස්‌ කොට තැබූ ඡන්දදායක අත්සන් පත්‍ර නිසි පරිදි තබා නම් කියවා කැඳවීමෙන් අත්සන් තබා ඡන්දය ප්‍රකාශ කෙරිණි. ඒ අනුව 191 නමකගේ ඡන්දය අත්සන් කොට තිබිණ. වැඩි ඡන්ද 41 ක්‌ ලබාගෙන හඳපාන්ගොඩ විමල ස්‌ථවිරයන් වහන්සේ ශ්‍රීපාද විහාර පදවියට සුදුසුකම් ලැබූහ. නීත්‍යනුකූලව මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් ශ්‍රීපාද විහාර නායක පදවිය හඳපාන්ගොඩ විමල ස්‌ථවිරයන් වහන්සේට සම්මත කරන ලදී."

ශ්‍රී පාදස්‌ථානාධිපතිව වැඩ විසූ හඳපාන්ගොඩ විමල නාහිමිපාණන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ එකී පදවිය සඳහා අභිනව නාහිමිපාණන් වහන්සේ නමක්‌ තෝරා පත් කර ගැනීම උදෙසා වන ඡන්ද විමසීම ඉදිරි තුන්මසකින් පසුව පැවැත්වීමට නියමිතය.

උදය ඇමිටියගොඩ
ගොඩකවෙල කුඩා කතරගම දේවාලයේ බස්‌නායක නිලමේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.