ගිනි කඳු පාමුල නිදා සිටීම

පළාත් සභාවල ඉඩම් බලතල සහ පොලිස්‌ බලතල මධ්‍යම රජය යටතේම තබා ගත යුතුය යන එකඟත්වය පසුගියදා ඇඹිලිපිටියේදී පැවැති මහ ඇමැති සමුළුවේදී ඇති විය. මේ බලතල පළාත් සභා සතු විය යුතුද නැතහොත් මධ්‍යම රජය සතු විය යුතුද යන ප්‍රශ්නය ගිනි කන්දක්‌ බුබුළු දමන්නාක්‌ මෙන් කාලයෙන් කාලයට මතු විය. පිපිරීමට සූදානම් වන ගිනි කන්දක්‌ බුබුළු දමන විට විශාල වශයෙන් ගෙන්දගම් දුම් පිට කරන්නට පටන් ගනී. අනතුරුව එම දුම් විශාල වලා පටල බවට පත්ව අහසෙහි පා වෙමින් පවතී. ඒ අතර වර්ෂාවක්‌ හට ගත හොත් පෙර කී ගෙන්දගම් වලාකුළු සේදී ගෙන්දගම් කුඩු මහ පොළවට පතිත වේ. මෙය ඉතා අන්තරාදායකය. මේ අළු සහිත ජලය වගාවන්ට වැටුණු විට ඒවා පාළු වෙයි. ළිං වලට වැටුණ විට ඒවායේ ජලය විෂ වෙයි. මෙයට වසර දහස්‌ ගණනකට පෙර ඉතාලියේ විසුවියස්‌ ගිනි කන්ද පුපුරා යැමට පෙර මෙවැනි ගෙන්දගම් අළු දුම් ටොන් දහස්‌ ගණනක්‌ ආකාශයට නිකුත් කළේය. ඒ මගින් ගිනි කන්ද පිපිරීමටත් පෙර සතුන් හා මිනිසුන් විශාල පිරිසක්‌ මළහ. ශ්‍රී ලංකාවේ පළාත් සභා නමැති ගිනිකඳුවල ඉඩම් සහ පොලිස්‌ බලතල කාලයෙන් කාලයට බුබුළු දමන විට, දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්‌පෝරාව යනාදීහු ගෙන්දගම් සහ අලු හාත්පස විදින්නට පටන් ගනිති. මේ අළු තමිල්නාඩුවට වැටුණු විට එහි සිටින කොටි හිතවාදී දේශපාලනඥයෝ කරුණානිධිට හෝ ජයලලිතාට හෝ ඒ මොහොතේ එහි සිටින මහ ඇමැතිට කරදර කරන්නට පටන් ගනී. එවිට එකී මහ ඇමැති ඉන්දීය මහ ආණ්‌ඩුවට කරදර කරයි. මහ ආණ්‌ඩුව අපට කරදර කරයි.

එක්‌දහස්‌ නවසිය අසූ හතේදී ඉන්දු-ලංකා ගිවිසුම හැදු ඉන්දියාව එම ගිවිසුම හරහා අපට පළාත් සභා ප්‍රදානය කළේ ඉන්දියාවේ ප්‍රාන්ත සභා ක්‍රමය සිහියේ තබාගෙනය. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වූ ඉන්දියාවට ඒ ක්‍රමය ගැලපේ. එහෙත් එය ලංකාවට නොගැලපේ. ඉන්දියාවේ සමහර ප්‍රාන්ත ලංකාව තරම් භූමි භාග දෙකක්‌ බහාලිය හැකි තරම් විශාලය. මේ ප්‍රාන්ත වෙනම ආණ්‌ඩු වශයෙන් පවත්වාගෙන යැම පරිපාලනයේදී ඉන්දියාවට ලාභදායකය. එහෙත් පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවට බරකි. එමගින් සිදුවූයේ පළාත් සභා මැතිවරණය යනුවෙන් අලුත් මැතිවරණ ක්‍රමයකට මුදල් යෙදවීමට සිදුවීමත් පළාත් සභා පවත්වාගෙන යැම සඳහා අලුතින් මුදල් වියදම් කරන්නට සිදුවීමත්ය. කොහොමටත් අපට නොගැලපෙන මේ ක්‍රමය තුළ ඉඩම් බලතල සහ පොලිස්‌ බලතල පළාත් සභාවට පැවරීමෙන් අලුතින් අවුල් හටගනී. විශේෂයෙන්ම බෙදුම්වාදී ප්‍රශ්නයක්‌ පැවැති උතුර හා නැගෙනහිර යන දෙපළාතට පොලිස්‌ හා ඉඩම් බලතල දීමෙන් එම පළාත්වල බෙදුම්වාදය යළි හිස ඔසවන ඕනෑම වෙලාවක පළාතේ පොලිස්‌ හමුදාව යුද හමුදාවක්‌ බවට පත් කරගත හැකිය. ඉඩම් බලතල යනු ඉතා භයානක ආයුධයකි. යාපනයේ ඉඩම් වෙන පළාතක කෙනෙකුට නොවිකිණීමේ නීතියක්‌ පවතී. එහෙත් තම රටේ ඕනෑම පළාතකින් ඉඩම් මිලට ගැනීමේ අයිතිය (එම ඉඩම්වල අයිතිකරු කැමැතිනම්) රටවැසියන්ට තිබිය යුතුය. ඉඩම් බලතල හා පොලිස්‌ බලතල යන කරුණු දෙක මත යාබදව පවත්නා පළාත් සභා දේශ සීමා සටන්වලට යැමේ අවස්‌ථාවත් උදාවිය හැකිය. එය නැවත වතාවක්‌ බෙදුම්වාදය වෙනුවෙන් ලේ හලා ගැනීමකි.

පළාත් සභාවලට පොලිස්‌ බලතල සහ ඉඩම් බලතල දිය යුතුය යන ප්‍රශ්නය මතු වූයේ බෙදුම්වාදී ප්‍රශ්නයට විෂය වී තිබුණු උතුර හා නැගෙනහිර දෙපළාතේදී පමණි. ජනතා විමුක්‌ති පෙරමුණ මගින් කියන ලද නඩුවක්‌ නිසා යළි වෙන්කරන ලද උතුර නැගෙනහිර දෙපළාත එසේ වෙන් නොකර තිබූ කාලයේදී ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් විශාල කොටසක්‌ දැරුවේය. එම කාලයේදී එම පළාතට පොලිස්‌ හා ඉඩම් බලතල ලබා දුන්නේ නම් ඊළම හා ලංකාව අතර පළමුවන යුද්ධය හටන් ගැනීමට ඉඩ තිබිණ. අද වන විට එම බලතල මධ්‍යම ආණ්‌ඩුව යටතේම පැවැතිය යුතු බවට නැගෙනහිර පළාත් මහ ඇමැති පිල්ලෙයාන් එකඟ වී තිබීම ඉතා වැදගත්ය. අප සදාකාලිකවම ගිනි කඳු පාමුල නිදා සිටිය යුතු නැත. ගිනි කඳු පාමුල නිදන්නා එය පුපුරන වෙලාවට වහා නැගිට ඇඳිවත පමණක්‌ ඇතිව පැන දිවිය යුතුය. පළාත් සභාවල පොලිස්‌ හා ඉඩම් බලතල ප්‍රශ්නය දිගින් දිගටම නොවිසඳී පැවතුණේ නම් එය අර්බුදයක්‌ ලෙස හිස ඔසවන අවස්‌ථාව වනතෙක්‌ විශාල දේශපාලන ආතතියක පසුවීමට රටට සිදුවන්නේය. එබැවින් ඇඹිලිපිටියේ සම්මුතිය ඉතා වැදගත් කඩඉමක්‌ සේ සැලකිය හැකිය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.