"දක්‍ෂ නිලධාරීන් දෙදෙනකු රටට අහිමි වුණා"
මහඔය සිද්ධිය ගැන පොලිස්‌ විශේෂ කාර්ය
බළකාය කනගාටු වෙයි


හේමන්ත රන්දුණු

අම්පාර මහඔය විශේෂ කාර්ය බළකා කඳවුරේ සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා තිස්‌ වසරක යුද්ධය පැවැති සමයේ දිවි හිමියෙන් කොටි ත්‍රස්‌තවාදයට එරෙහි සටන් කළ දක්‍ෂ නිලධාරීන් දෙදෙනකු බවත් ඔවුන් අහිමිවීම පොලිස්‌ විශේෂ කාර්ය බළකායට පිරිමැසිය නොහැකි පාඩුවක්‌ බවත් එහි අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්‌පති රණවන මහතා පවසයි. රාජකාරීමය ප්‍රශ්නයක්‌ මත දින කීපයක සිට සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා අතර මතභේදයක්‌ පැවැති බව මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

පෙරේදා පෙරවරුවේ ජයතිලක මහතා අම්පාර මහඔය 69 කණුව කඳවුරට පැමිණ ඇත්තේ විනය පරීක්‍ෂණයක්‌ සඳහා පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු සහකාර පොලිස්‌ අධිකාරිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහාය.

පොලිස්‌ නිලධාරීන් දෙදෙනා සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා කාමරයෙන් පිටතට ගොස්‌ ඇත.

පසුව සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා අතර විනාඩි 20 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ උණුසුම් වචන හුවමාරුවක්‌ සිදුවී ඇත.

ඒ අවස්‌ථාවේ එක්‌වරම ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා සිය රාජකාරි පිස්‌තෝලයෙන් සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර තුනක්‌ එල්ල කර මුහුණට ද වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කර ඇත.

පසුව ජයතිලක මහතා ද එම අවියෙන්ම සිය හිසේ දකුණු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කරගෙන දිවි හානිකරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණ පැවැත්වූ අම්පාර පොලිසිය පවසන්නේ හදිසි කෝපය නිසා ඇති වූ ආරවුලක්‌ මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවයි.

මෙම සිද්ධිය වන අවස්‌ථාවේ කඳවුරේ රාජකාරි කරමින් සිටි නිලධාරීන් 20 දෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන ඇති බව ද වෙඩි තැබීම සිදුවීමට ආසන්නතම හේතුව හෙළිදරව් නොවූ බව ද අම්පාර පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා පවසයි.

ඝාතනයට ලක්‌ වූ සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මුරුත්තෙට්‌ටුවේගම මහතා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන දක්‍ෂ නිලධාරියකු ලෙස පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නමක්‌ දිනාගෙන සිටි අයෙකි. සහකාර පොලිස්‌ අධිකාරිවරයා ඝාතනය කර දිවි හානිකරගත් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජයතිලක මහතා සමාජ සේවකයකු ලෙස මහඔය ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් වූ නිලධාරියෙකි.

ත්‍රස්‌තවාදීන් පරාජයට පත්කිරීමේ සටනේදී දිවි හිමියෙන් කටයුතු කළ ජයතිලක මහතා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ "යෝධයා" යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

අම්පාර ප්‍රදේශයේ දුක්‌ විඳින ජනතාවට සේවය කිරීම සිය ජීවිතය කරගෙන සිටි ජයතිලක මහතා ප්‍රදේශයේ වැව් අමුණු ප්‍රතිසංස්‌කරණය කරමින් ගොවි ජනතාවට සිය ගොවිතැන් කටයුතු කරගන යැමට උපකාර කළේය.

ගව ඝාතකාගාර වෙත ගෙන යන ගවයන් නිදහස්‌ කරගෙන ගව පට්‌ටි පවත්වාගෙන ගොස්‌ ප්‍රදේශයේ අහිංසක දරුවන්ට නොමිලේ කිරි ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ද ජයතිලක මහතා විසින් කරගෙන ගොස්‌ තිබිණි.

මහඔය ප්‍රදේශයේ ජනතාවගේ මහත් ආදරයට පාත්‍ර වූ ජයතිලක මහතා, සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඉතාම පක්‍ෂපාතීව අවංකම රාජකාරි කළ නිලධාරියෙකි.

කොටි ත්‍රස්‌තවාදීන් පරාජයට පත්කිරීමෙන් පසු කොළඹ පාතාලය මර්දනය කිරීමේ භාරදූර කාර්ය සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මහතා සාර්ථකව ඉටුකළ බව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාව සිට විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිමල් ලෙව්කේ මහතා කියා සිටියේය.

මාලිගාවත්ත පාතාලයේ ප්‍රධානියා ලෙස සිටි µdජි, කොළඹ පාතාලයේ දරුණුම අපරාධකරුවකු වූ ඕල්කොට්‌, ආනමාළු ඉමිටියාස්‌, නෙළුවේ ප්‍රියන්ත ඇතුළු පාතාල ප්‍රබලයන් රැසක්‌ විනාශ කර මහජනතාවට සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය සකස්‌ කර දීමට සහකාර පොලිස්‌ අධිකාරි සිසිර කුමාර මහතා කටයුතු කර තිබිණි.

පාතාල ප්‍රබලයකුව සිටි "කටානේ රොෂාන්" නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්¨ය බළකාය වෙත චෝදනා එල්ල වී තිබූ අතර මෙම පාතාල ප්‍රබලයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ උසස්‌ පොලිස්‌ නිලධාරියකුගේ ද උදහසට හෙතෙම ලක්‌වී තිබිණි.

මේ හේතුව නිසා සහකාර පොලිස්‌ අධිකාරිවරයාට රහස්‌ පොලිසියේ පවා පෙනී සිටීමට සිදුවිය. මෙම සිද්ධිය මුල්කරගෙන සිසිර කුමාර මහතා මහඔය ප්‍රදේශයට මාරු කර යවනු ලැබුවේ මීට මාස කීපයකට උඩදීය.

මහජන සේවය සහ පොලිස්‌ රාජකාරි පිළිබඳව සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා අතර මත ගැටුමක්‌ ද ඇති වී තිබූ බව ද හෙළිදරව් වී තිබේ.

මෙම සිදුවීමට පෙර දින ජයතිලක මහතා සිය බිරිඳට දුරකථනයෙන් කතා කර සිය දියණියන් දෙදෙනා හොඳින් බලාගන්නා ලෙස ද පවසා ඇති බව පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

ඝාතනයට ලක්‌ වූ සිසිර කුමාර මහතාගේ සිරුර ඊයේ දහවල් කොළඹට ගෙනැවිත් තිබූ අතර එය ඥතීන් වෙත භාරදීමට නියමිතව තිබිණි. සිසිර කුමාර මහතාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස්‌ ගෞරව හමුවේ පැවැත්වීමට කටයුතු කර ඇති බව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා කියා සිටියේය.

මෙම ඝාතනයේ සැකකරු ලෙස සැලකෙන ජයතිලක මහතාගේ දේහය පෙරේදා සවස ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදෙනු ලැබීය. සහකාර පොලිස්‌ අධිකාරිවරයා ඝාතනයේ චෝදනා එල්ලවීමත් සියදිවිහානිකර ගැනීමත් නිසා ජයතිලක මහතාට කිසිදු පොලිස්‌ ගෞරවයක්‌ හිමි නොවන බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.