සරසවිවල ආරක්‍ෂක වියදම්!

ශ්‍රී ලංකාවේ සියලුම සරසවිවල ආරක්‍ෂක වියදම් තුන් හතර ගුණයකින් ඉහළ ගොස්‌ ඇති බව සඳහන් පුවතක්‌ අපගේ දිනපතා "දිවයින" පෙරේදා (11.11.2011) පළකර තිබිණි. එසේම එනිසා සබරගමුව සරසවියේ සිසුවියන්ගේ නේවාසික පහසුකම් සඳහා වසරකට රුපියල් හතළිස්‌ පන්ලක්‍ෂයක්‌ පමණ වැය කරද්දී එහි ආරක්‍ෂාව වෙනුවෙන් රුපියල් එක්‌කෝටි හැත්තෑ ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ වැය කිරීමට සිදුව ඇතැයි ද ඒ පුවතෙහිම සඳහන් විය.

මෙසේ වන්නේ ඇයි? එයට හේතුව කුමක්‌ද? යනාදී සාධාරණ ප්‍රශ්න කීපයක්‌ම මෙහිදී කිසියම් කෙනෙකු තුළ ඇතිවීමද ස්‌වාභාවිකය. සැබැවින්ම විශ්වවිද්‍යාලය යනු බුද්ධිමය කේන්ද්‍රයකි. එනිසා විශ්වවිද්‍යාලයක වැඩිම ප්‍රතිපාදන වෙන්විය යුත්තේත් අධ්‍යාපනය, ශිෂ්‍ය කේන්ද්‍රීය කටයුතු යනාදියට බව අපගේ අදහසය. එහෙත් මේ පුවත අනුව ඒ සියලු කටයුතුවලට වඩා ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය හිමි වී තිබේ.

විශ්වවිද්‍යාලවල ආරක්‍ෂාව සඳහා වැය කෙරෙන අතිරික්‌ත පිරිවැය උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබාදෙන බවක්‌ද සඳහන් විය. මුදල් දෙන්නේ අමාත්‍යතුමා හෝ එතුමාගේ කාර්ය මණ්‌ඩලය නොවේ නම් ඒ සඳහා වුවද වැය වන්නේ ජනතාවගේ මුදල්ම බව අමුතුවෙන් කිව යුතු නැත. ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය පැන නගින්නේත් එනිසාය.

මේසා විශාල වියදමක්‌ ආරක්‍ෂාව වෙනුවෙන් දැරීමට තිබෙන හේතුව කුමක්‌ද? විශ්වවිද්‍යාලවලට ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නැතැයි අපට යෝජනා කළ නොහැක. විශ්වවිද්‍යාලයට උපරිම ආරක්‍ෂාවක්‌ තිබිය යුතු බව අපි ද අවධාරණය කරමු. එහෙත් ඒ සඳහා විශ්වවිද්‍යාලයේ සියලු ප්‍රමුඛතාවන් කපා දැමීම හෝ අමතක කිරීම හෝ යෝග්‍ය නොවන බව අප කිව යුතුය. එය එක්‌ අතකින් ඇතාට වඩා හෙණ්‌ඩුවට වියදම් කිරීමක්‌ වැනි යයි ද අපට සිතේ.

මෙවර අය-වැයෙන් ද වැඩිම මුදල වෙන්කර ඇත්තේ ආරක්‍ෂක අංශයට බවට දැනටමත් විවේචනයක්‌ තිබේ. එකී විවේචනයට අනුව උසස්‌ අධ්‍යාපනය හා අධ්‍යාපනය යන අමාත්‍යාංශ දෙකටම පිළිවෙළින් වෙන් කර ඇත්තේ කෝටි 2447 ක්‌ හා 3325 කි. ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහා කෝටි 22944 කි.

ආරක්‍ෂක අමාත්‍යාංශයට අලුතින් එක්‌වූ නාගරික සංවර්ධනය වෙනුවෙන් මුදලක්‌ අවශ්‍ය බව ඇත්තය. එහෙත් ඒ මුළු මුදල මේ රටේ සමස්‌ත අධ්‍යාපන ක්‍ෂේත්‍රයටම වැය කිරීමට වෙන් වන මුදලට වඩා කොපමණ වැඩිද යන්න මේ සංඛ්‍යාවලින් ගණනය කර ගත හැකිය.

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස දිනාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් කරන ලද මෙහෙවර අපි ඉතා ඉහළින් අගයමු. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නොවන්නට ලංකාව තවමත් කොටි ග්‍රහණයේ හිරවී තිබෙන බවද අපි කෘතවේදීව සඳහන් කරමු. එසේම දේශීය වශයෙන් විනාශ කළ කොටි හඬ යළි අවදි කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳව ද අපි දනිමු. ඒ නිසා රාජ්‍යාරක්‍ෂාව, රටේ ආරක්‍ෂාව වැනි විෂයයන් පිළිබඳ සිල්ලර කතා කීමට අපට නොහැක.

කෙසේ හෝ දැන් රට තුළ සාමයක්‌ හා බියෙන් තොරව ජීවත් වන සමාජයක්‌ ද තහවුරු වෙමින් තිබේ. බෝම්බ පිපිරීම් මරාගෙන මැරෙන කොටි වැනි මාරාන්තික අත්දැකීම්ද නැත. (පාතාලේ අවිසරඹ හා පාතාලේ මරාගැනීම් ඇත.) එනිසා එබඳු වාතාවරණයක්‌ යටතේ සරසවිවල ආරක්‍ෂක වියදම් ඉහළ යාමට හේතුවක්‌ තිබේද?

අනෙක්‌ අතට විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ සංසදය විසින් ද මෙම පවතින ආරක්‍ෂක විධි විධාන ගැන සෑහීමකට පත් විය හැකි බව ප්‍රකාශ කරනු ලැබ ඇතැයි ද කියති. එසේම ආරක්‍ෂාව සඳහා ටෙන්ඩර් පටිපාටිය අනුව ආයතනයක්‌ තෝරා ගැනීමේදී අඩුම ලංසුවට ඒ කටයුතු සිදුකර ගත හැකි බවද උපකුලපතිවරුම කියති.

විශ්වවිද්‍යාල සඳහා අලුත් ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ යෝජනා කර ඇත්තේ ඒවාට පිටතින් එල්ලවිය හැකි ප්‍රහාරයක්‌ හිසේ තබාගෙනද? නොඑසේ නම් ඇතුළතින් එල්ල විය හැකි ප්‍රහාරයක්‌ හිසේ තබාගෙනද යන්නත් අපි නොදනිමු. "ඒ ඕනෑම ප්‍රශ්නයකට අපි සූදානම්" යයි මේ වැඩපිළිවෙළෙහි නිර්මාතෘවරුන් කීමටද බැරි නැත. එහෙත් අපගේ යෝජනාව වන්නේ පනින්ට පෙර සිතා බලනු යන පැරණි උපදේශයමයි.

අනෙක්‌ අතට විශ්වවිද්‍යාල යනු හමුදා කඳවුරු නොව නිදහස්‌ හා සංවාදශීලී බුද්ධිමය කේන්ද්‍රස්‌ථානයයි. එබඳු ස්‌ථානවල පරිසරය සකස්‌ විය යුත්තේ ද ඒ කරුණු වලට උචිත වන ආකාරයටය. ඒවාට ආරක්‍ෂාව ලබාදිය යුත්තේ ද ඒ නිදහස්‌ වාතාවරණය සුරැකෙන පරිදිමය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.