දැන් ස්‌ථාවරයි කියලා හිතෙනවා
දිලිනි ලක්‌මාලි


උත්පලා, පිණි අග පුළිඟු, කිරි කවඩි ටෙලිනාට්‍යය කිහිපයකින්ම ප්‍රේක්‍ෂකයන් අතරට පැමිණෙන ඇය නවක රංගන ශිල්පිනියන් අතරේ මේ දිනවල කැපී පෙනෙන චරිතයක්‌ වී සිටිනවා. මෙලෙසින් ජනප්‍රිය වී සිටින දිලිනි ලක්‌මාලි වන ඇය සමග අප පසුගිය දා කතාබහක නිරත වුණා.

දිලිනි දැන් කාර්ය බහුලවෙලා නේද?

ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරන නිසා ටිකක්‌ විතර කාර්ය බහුලවෙලා.

නවක නිළියක්‌ ලෙසට ලබන අත්දැකීම් මොනවගේද?

කාර්ය බහුලත්වයත් එක්‌ක අත්දැකීම් ගොඩක්‌ ලබන්න අවස්‌ථාව ලැබෙනවා. නමුත් ඒ හැම අවස්‌ථාවකදීම අවුරුදු තුනහමාරක්‌ තුළ මම කරපු කියපු දැත් එක්‌ක චරිතයක්‌ සඳහා ආරාධනා කළත් ඒක මට කොතෙක්‌ දුරට ගැලපෙනවද කියන එක ගැන සැළකිලිමත් වෙනවා.

නිර්මාණ කිහිපයක්‌ අතර එකවර පෙනී සිටින්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

නවක රංගන ශිල්පිsනියකට කලාතුරකින් ලැබෙන අවස්‌ථාවක්‌. අවුරුද්දකට කලින් සම්බන්ධ වුණු නිර්මාණයක්‌ වර්තමානයේ රූගත කරමින් විකාශය වෙන ටෙලිනාට්‍යය අතරේ විකාශය වෙද්දී තමයි එකවර ටෙලිනාට්‍යය කිහිපයක ඉන්නවා වගේ දැනෙන්නේ.

නවක රංගන ශිල්පීන් අතරේ ඔබට තැනක්‌ තිබෙනවා යෑයි සිතනවාද?

අනිවාර්යයෙන්ම. 2010 වසරේ රයිගම් සම්මාන උළෙලේදී නැගී එන නිළියට හිමි සම්මානය මට හිමිවීමෙන්ම රංගන ක්‍ෂේත්‍රයේ ස්‌ථාවර තැනක්‌ ගොඩනැඟිලා තියෙනවා.

ඒ කියන්නේ ඔබ ජනප්‍රියයි කියන එකද?

2008 වසරේදී මුල්වරට පිණිබින්දු ටෙලිනාට්‍යයෙන් ක්‍ෂේත්‍රයට පිවිසෙද්දි අද තරම් මිනිසුන් මාව අඳුනගැනීමක්‌ කතාබහ කිරීමක්‌ තිබුණේ නැහැ. ඒ තුළ මම හිතනවා මම ජනප්‍රියයි කියලා.

රංගනයට පිවිසීමේ බලාපොරොත්තු අද ඉෂ්ට වී තිබෙනවාද?

පොඩි කාලේ ඉඳලා නටන්න, සින්දු කියන්න වගේ කලාවට ලැදියාවක්‌ තිබුණා. නමුත් නිළියක්‌ වෙන්න ආසාවක්‌ තිබුණේ නැහැ. 2008 අයි. ටී, එන්. අවුරුදු කුමාරි වුණාට පස්‌සෙ ලැබුණු ආරාධනාත් එක්‌ක පුංචි කැමැත්තක්‌ ඇති වුණා. හැකියාවකුත් තියෙන්න ඇති කියලා හිතනවා.

රංගනය තුළ පමණද නියෑලෙන්න බලාපොරොත්තුව ?

රංගන ක්‍ෂේත්‍රයේ ස්‌ථාවර තැනක ඉන්න එක ගැන සන්තෝෂයි. ඒ තුළ මගේ අනන්‍යතාවක්‌ ගොඩනගාගෙන තියෙනවා. නමුත් දිගටම මේ ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්ද නැද්ද කියලා දන්නේ නැහැ.

මේ ක්‍ෂේත්‍රය තුළ තරගකාරී බවක්‌ ඔබට දැනෙන්නේ නැතිද?

නිර්මාණවලට ලැබෙන ආරාධනාත් එක්‌ක මම හිතනවා මා තුළ තියෙන දක්‍ෂතාවනට අනන්‍යතාවක්‌ ගොඩනගාගෙන තිනෙවා කියලා. ඒ නිසා අවංකවම මට තාම එහෙම කෙනකුගෙන් තරගකාරීත්වයක්‌ දැනිලා නැහැ.

ඒ තුළ ඔබේ ඉදිරි ගමන ශක්‌තිමත් වේ යෑයි සිතනවාද?

මෙතෙක්‌ ආපු ගමනත් එක්‌ක මට දැනෙන දේ තුළ මම ඉන්නේ ධනාත්මක පැත්තේ. ඒ නිසා කවුරු ආවත් මම ස්‌ථාවරයක ඉන්නවා කියලා දන්නවා.

ඒ කියන්නේ දිගටම රඟපාන්න බලාපොරොත්තුවක්‌ නැහැ කියන එකද?

ක්‍ෂේත්‍රය පැත්තෙන් යම් ස්‌ථාවරත්වයක්‌ ගොඩනගාගෙන තිබුණට මගේ පැත්තෙන් මටම කියලා දෙයක්‌ ගොඩනගාගෙන තිබීම ශක්‌තිමත් නිසා ව්‍යාපාරයක්‌ ආරම්භ කරන්න අදහසක්‌ තියෙනවා.

කෙටි කාලයකදී ඔබ වේදිකාවෙනුත් සම්මානයට පාත්‍ර වුණු රංගන ශිල්පිනියක්‌?

සුනිල් චන්ද්‍රසිරිගේ සිහිනවලට පාට දෙන්න වේදිකා නාට්‍යයට 2009 වසරේ රාජ්‍ය නාට්‍යය උළෙලේ හොඳම සහය නිළියට හිමි සම්මාන ලැබුණා. ඇත්තටම වේදිකාව නවකයන් හැටියට රංගනය ගැන දැනුම ලබාගන්න ගොඩක්‌ උපකාරී වෙන පාසලක්‌. වේදිකා නාට්‍යය කිහිපයකටම මෑතදීත් ආරාධනා ලැබුණා. මේ දවස්‌වල ටිකක්‌ කාර්ය බහුල නිසා තමයි මග හැරුණේ.

ගැමි චරිතවල පමණක්‌ රංගනයේ යෙදෙන්නේ එය ඔබගේ විශේෂී තෝරා ගැනීමක්‌ද?

මගෙ පෙනුමත් එක්‌ක ගැමි චරිත තමයි ගොඩක්‌ ලැබිලා තියෙන්නේ. නමුත් මගේ චරිතයට හානියක්‌ නොවන විදිහේ චරිත ලැබුණොත් මම සම්බන්ධ වෙනවා.

ලැබෙන ප්‍රතිචාර අතරේ ප්‍රේක්‍ෂකයන්ගේ ප්‍රතිචාර වැඩියි කියන්නේ ඇත්තද?

ලොකු පොඩි හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතරේ දිරිගැන්වීම්, චෝදනා එහෙමත් එවනවා. විශේෂයෙන් කියලා ප්‍රේක්‍ෂක ප්‍රතිචාරවල වැඩියක්‌ නැහැ.

ඒ අතරේ විශේෂ කෙනෙක්‌ එහෙමත් ඇති නේද?

විශේෂ කෙනෙක්‌ ඉන්නවා. ඒ ගැන ඉදිරියේදී විස්‌තර කියන්නම්.

සාමාන්‍යයෙන් දිලිනි කියන්නේ මොනවගේ චරිතයක්‌ද?

සාමාන්‍යයෙන් නිහතමානීව හිතන පුහු ආටෝප නැති සුහදශීලී චරිතයක්‌.

විලාසිතාවන්ට ගොඩක්‌ නැඹුරුයි කියන්නේ ඇත්තද?

ලොකු නැඹුරුවක්‌ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. මොනදේ කරන්නෙත් මගෙ පවුලට ගැලපෙන විදිහට.

දිලිනිගෙ පවුලේ තොරතුරු ගැනත් මතක්‌ කරමු.

මගෙ ගම කොස්‌ගම. පවුලේ අම්මා, තාත්තා, මල්ලි.

ලක්‌මිණි අතුකෝරල
ඡායා - සමන් අබේසිරිවර්ධන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.