රසිකයන්ට අලුත් අත්දැකීමක්‌
එක්‌කරන්නයි මට ඕන වුණේ

රොඩ්නි වර්ණකුල


එක්‌ කාල වකවානුවක "ඇලෝයි වර්ණකුල" ටීටර් නටනවා බලා සිටි ඔහුගේ පුතනුවන්ට මේ අපූරු දේ ගැන බලවත් ඇල්මක්‌ ඇතිව තිබිණි. ඉගෙනුම ලබන අවධියේ ඔහු ගායනයෙහි රංගනයෙහි සමත් හොඳ වේදිකා නළුවකු බවට පෙර මඟ ලකුණු පෑයේ පාසල් වේදිකාවේය. ඒ හේතුවෙන්ම පසු කලෙක ටවර් රහඟහල පදනමෙහි තිබූ නාට්‍ය පාඨමාලාවක්‌ හදරන්නේ රංගනය පිළිබඳව තිබූ උනන්දුව නිසාමය. එහිදී කුඩා සිරුරකට හිමිකම් කියන මනා රංගන පෞරුෂයකින් හෙබි "රොඩ්නි වර්ණකුල" නම් තරුණයා, අනුලා බුලත්සිංහලගේ මඟ පෙන්වීමෙන්, ලූෂන් බුලත්සිංහලයන් "තාරාවෝ ඉගිලෙති" නාට්‍යයට සම්බන්ධ කර ගැනීම රොඩ්නිගේ දිවියේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කළේය. "තාරාවෝ ඉගිලෙති" හි "චූන් චෑන්ගේ" චරිතය වර්තමානය වන විට ඔහු වේදිකාව, සිනමාව රූපවාහිනිය තුළින් ප්‍රේක්‍ෂක හද බැඳගත් චරිතයක්‌ බවට පත්කොට අවසන්ය.

පසුගියදා නිකුත් වූ ඔහුගේ නවතම ගීත එකතුව අඩංගු "සඳ එළිය වගේ" සංයුක්‌ත තැටිය පාදක කරගනිමින් ඔහු මීවිත සමග සල්ලාපයෙහි යෙදුනේ මෙලෙසය.

පසුගියදා ඔබේ නවතම ගීත ඇතුළත් සංයුක්‌ත තැටිය "සඳ එළිය වගේ" නිකුත් වුණා. ඒ ගැන කතා කරමු.

ඇත්තටම මෙච්චර දුරක්‌ මම ආපු ගමන ගැන මෙනෙහි කරනකොට මේක මට සතුට දනවන කාරණයක්‌. වසර තිහක්‌ එම ක්‍ෂේත්‍රයේ කටයුතු කරනවා. මේ අවුරුදු තිහ අර්ථවත් විදියට සමරන්න ඕන කියලා තමයි මගේ දෙවැනි ගීත එකතුව විදියට "සඳඑළිය වගේ" සංයුක්‌ත තැටිය නිකුත් කළේ. සඳඑළිය වගේ සංයුක්‌ත තැටියට ගීත 17 ක්‌ අඩංගු වෙනවා. මෙරට ප්‍රවීණ සංගීතඥයන් සේම ගීත රචකයන් ගණනාවක්‌ ඊට දායකත්වය සපයලා තිබෙනවා. හෙළයේ මහා ගාන්ධර්වයා ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන්ට තමයි මෙය මුලින්ම පිළිගැන්වූයේ. ඊට පස්‌සේ අපි ප්‍රසංගයක්‌ පවා පැවැත්වූවා. කලා ක්‍ෂේත්‍රයේ විශාල පිරිසක්‌ මගේ නෑ හිතවතුන් බොහෝමයක්‌ මීට දායක වුණා. මගේ සමකාලීන මිතුරන් සියලු දෙනා මට සංවිධාන කටයුතුවලින් හයියක්‌ වුණා.

දීර්ඝ කාලයකට පසුවයි මේ ගීත එකතුව එළිදකින්නේ

ඔව්... වසර පහක්‌ පමණ ඉතා දිගු කාලයක්‌ මම මේකට සූදානම් වුණා.

මුලින් නිකුත් කළ ගීත එකතුවේ අඩංගු වුණේ නාට්‍ය ගීත... මෙවර ගීත එකතුව ඊට වඩා වෙනස්‌ ආකාරයක ගීත එකතුවක්‌. ඒ ගැන කතා කරමු.

ඔබ හරි, මෙය වෙනස්‌ම ආකාරයේ ගීත එකතුවක්‌. මගේ කලා ජීවිතයට වසර 20 ක්‌ පිරෙන කොට "හා හා ළඳේ" නමින් ගීත එකතුවක්‌ නිකුත් කළා. එහි සම්පූර්ණයෙන්ම අඩංගු වුණේ නාට්‍ය ගීත. ඒ ගීත ජනප්‍රිය වූ නිසා තමයි මම ප්‍රසංග වේදිකාවෙත් නාට්‍ය ගීත ගායනා කළේ.

නමුත් "සඳ එළිය වගේ" ගීත එකතුවේ අඩංගුව තිබෙන්නේ සුභාවිත ගීත. විවිධ විෂයයන් ඔස්‌සේ අපි ඒ ගීත නිර්මාණය කර තියෙනවා.

මේ ගීතවලින් ප්‍රසංග වේදිකාවට උචිත තරමේ ගීත රසිකයාට ලැබෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. නමුත් මට ඕන වුණේ වෙනස්‌ම ආරක ගීත කිහිපයක්‌. ඒ කියන්නේ නාට්‍ය ගීත නොවන ගීත කිහිපයක්‌ රසිකයනට හඳුන්වලා දෙන්නයි. තවත් විදියකට කිව්වොත් අද කාලයේ තිබෙන "එනවා - යනවා" මට්‌ටමේ නොවන හැමදාමත් රස විඳින්න පුළුවන් සුභාවිත ගීත මම මගේ සහෘදයනට පිරිනැමුවා.

මීට පෙර නිකුත් කළ ගීත. වේදිකා නාට්‍යවල අඩංගු රසික සහෘදයනට හුරු පුරුදු ගීත. ඒ නිසාම ඊට ලැබුණු ප්‍රතිචාරය මේ ගීත වලටත් හිමිවේ කියන විශ්වාසය තියෙනවද?

මට ඇත්තටම එහෙම කියන්න බෑ· ඒක රසිකයා තීරණය කරන්න ඕන දෙයක්‌. නමුත් අපි දන්නවා අපේ බොහෝ රසිකයන් හොඳ රසඥතාවක්‌ තිබෙන අය බව. ඉතිං ඒ අය කිසිවිටෙකත් මේ ගීත ප්‍රතික්‍ෂේප නොකරන බව මට විශ්වාසයි.

අපි ඔබේ ගීත එකතුවෙන් එහාට ගිය යමක්‌ කකා තරමු. මේ වෙන කොට වේදිකාව සමග ප්‍රේක්‍ෂකයො තුළ තිබෙන වැඳීම යම් පමණකට උදාසීන බව කිව්වොත් ඔබ පිළිගන්නවද?

ඒකට මෙහෙම පන්නරයක්‌ තමයි තියෙන්නේ. 70 දශකය වෙනකොට අපේ රටේ වේදිකාව පිළිබඳව තිබුණු ඒ ඇල්ම බොහෝ දුරට අඩු වුණත් වැඩි දෙනෙක්‌ වේදිකාවෙන් දුරස්‌ වෙලා කියලා කියන්න බෑ.· අපේ රටේ සිද්ධ වෙච්ච විවිධ දේශපාලනික, සමාජයීය විපර්යාසයන් ඒකට බලපෑවා. ඉතිං ආපහු සැරයක්‌ ඒ තත්ත්වය ගොඩ නැගෙන්න ටික කලක්‌ යයි. මේ වෙනකොට වේදිකාව, රූපවාහිනී නාලිකා බොහොමයක්‌ සමග සටනක්‌ තිබෙනවා.

අධිවේගී ජීවන රටාවකට හුරුවෙච්ච මිනිස්‌සු, රූපවාහිනිය හැරුණු විට වෙනත් දෘෂ්‍ය මාධ්‍යයක්‌ ගැන හිතන්නේම නැති තරම්. අපි නිතරම වේදිකාව සමග ඇසුරු කරන නිසා අපි දන්නවා. මේ වෙනකොට යම් ප්‍රේක්‍ෂක ප්‍රමාණයක්‌ වේදිකා නාට්‍ය බැලීමට නැඹුරු වෙලා ඉන්න බව.

"සාරංගා නැවෙන් ඇවිත්" කළාට පස්‌සේ, අලුත් නිර්මාණයකට යන්න අදහසක්‌ තිබුණේ නැද්ද?

"සාරංගා" කරලා දැනට අවුරුදු 10 ක්‌ විතර වෙනවා. ඉදිරියේදී මගේ බලාපොරොත්තුවක්‌ තියෙනවා අලුත් වේදිකා නාට්‍යයක්‌ කරන්න. ඒකට මූලික කටයුතු සූදානම් කරමින් තමයි මේ යන්නේ. ඒත් එක්‌කම මේ "සඳඑළිය වගේ" ගීත එකතුවත්, එසේ මුල් නාට්‍ය ගීත එකතුවත් සමග වෙනස්‌ම ආකාරයේ ප්‍රාසාංගික අත්දැකීමක්‌ දෙන ඒක පුද්ගල ගී ප්‍රසංගයක්‌ කිරීමේ අදහසකුත් තියෙනවා.

ඉදිරියේදී "එතුමයි මෙතුමයි" චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. එහි ඔබ ප්‍රධාන චරිතයකට පණ පොවනවා. ඒ ගැන කෙටි සඳහනක්‌ කරමු.

ඇත්තටම මෑත යුගයේ තැනුණු හාස්‌යෝත්පාදක චිත්‍රපට අතරින් හොඳ නිර්මාණයක්‌ කියලා නිසැකවම කියන්න පුළුවන්.

මේ චිත්‍රපටයේ අපි නිරන්තරයෙන් දකින නලු නිළියන්ට වඩා වැඩිපුර ඉන්නේ වේදිකාවෙන් ආපසු නළුනිළියන්. මමත් ප්‍රියන්ත සෙනෙවිරත්නත් මෙහි ප්‍රධාන චරිතවලට පණපෙව්වා. ඇත්තටම මෙය ප්‍රේක්‍ෂකයා අතර විශාල ජනප්‍රියත්වයක්‌ හිමිකර ගන්නා බව විශ්වාසයි.

උදේශ සංජීව ගමගේ
ඡායාරුප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.