අම්බලම නිර්මාණය

නෝමන් සිරිපාල

අම්බලම් ගොඩනැංවීම, උතුම් පුන්‍යකර්මයක්‌ සේ සැලකිණ. පිං පතා බුදුගෙවල් හා දාගැබ් කරන්නාක්‌ මෙන් ම, මහජන යහපත පතා පිං පිණිස මංමාවත්, ඒදඬු හා පාලම් තනන්නාක්‌ මෙන් ගම්වැසියන් එක්‌වී අම්බලම් පිහිටුවනු ලැබීය. යම් ගමක පිහිටි අම්බලම, විශාලත්වය, අලංකාරය හෝ වටිනාකම එය නිර්මාණය කළ සැදැහැවතුන්ගේ වත්පොහොසත්කම් අනුව සිදුවිය. රටේ ප්‍රභූහු ද තනි තනිව, තම තමන්ගේ, වියදමෙන් පිං පතා අම්බලම් කරවූහ.

අම්බලම නිර්මාණය කිරීම ගෘහනිර්මාණ ශිල්පය අතින් පහසු කාර්යයක්‌ නොවීය. බොහෝවිට දැන් අපට හමුවන්නේ මහනුවර යුගයට (ක්‍රි.ව. 1400) හා ඊට පසුව නිර්මාණය කරන ලද අම්බලම් වේ. අම්බලම් ගොඩනංවා ඇත්තේ, මහනුවර යුගයේදී විශේෂයෙන් දක්‌නට ලැබෙන "ටැම්පිට විහාර"වල ආකෘතියට අනුවය.

කුඩා පරිමාණයේ සහ මහා පරිමාණයේ, අම්බලම් තිබුණි. කොළඹ - මහනුවර ප්‍රසිද්ධ මහා මාර්ගයේ, කෑගල්ල පසුකර මාවනැල්ල දෙසට සැතැපුම් පහක්‌ පමණ ගමන් කළ විට සතර කෝරලයට අයත් මංගලගම, සුප්‍රකට අම්බලම හමු වේ. එය මහා පරිමාණයේ අම්බලමකි.

දැනට වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ, දඹදෙණි හත්පත්තුවේ මයුරාවති කෝරලයේ පනාපිටිය නම් ගමේ පිහිටි අම්බලම කුඩා වර්ගයේ අම්බලම් විශේෂයට අයත් වේ.

මෙම අම්බලම් ගොඩනගා තිබුණේ ටැම්පිට විහාර ආකෘතියට අනුවය.

පනාපිටිය අම්බලම - එය ගොඩනඟා තිබෙන්නේ කැටගල් හා කුඩුගල්වලින් පුරවා අඩි බාගයක්‌ පමණ පොළෝ මට්‌ටමෙන් උඩට ඉස්‌සූ ගෙපලක්‌ මත තිබූ අඩියක්‌ පමණ උසැති ගල්පිට ඈ» දැව උඩය. ගොඩනැගිල්ලේ ගෙපල දිගින් අඩි 12 කුත්, අඟල් 4 ක්‌ හා පළලින් අඩි 9 කුත් අඟල් 6 ක්‌ වේ. දැව අඩියේ පටන් අඟල් 8 ක්‌ දක්‌වා ඝනවේ. එක පැත්තකට දැව දෙක බැගින්ය. දිග පැතිවල මැදින් කණු 4 බැගින් වේ. එක කොට පැත්තක දැව දෙක පිට තවත් කණු දෙකක්‌ය. ගොඩනැඟිල්ලේ අත්තිවාරමේ පටන් මුදුන් යට ලීය දක්‌වා උස අඩි එකොළහයි අඟල් පහයි. දිග අතට අඟල් දහඅටයි, අඟල් 3 ක්‌ දිගය. මුදුන් යටලීයේ දිග අඩි තුනයි අඟල් 6 යි. වහලයේ වඩුවැඩ බාල්ක - තලන්, යටලී, හරස්‌ යටලී, කතුරුලී, කුරුපා, පරාල, මුදුන් පරාල හා මුදුන් යටලීයෙන් යුක්‌තය. (පනාපිටිය අම්බලමේ කැටයම් - චාර්ලිස්‌ ගොඩකුඹුරේ 1981.05 පිටුව)

අත්තිවාරම පිණිස ගන්නා ලී කඳන් ගල්පිට උස්‌සා තබන්නේ ඒවා වේයන් ආදී කෘමීන්ගෙන්ද, වර්ෂා ජලයෙන් ද, ආරක්‍ෂා කරගනු පිණිසය. එම ලී පළලට හා උස්‌ව පිළියෙල කෙරුණේ ඒ මත වාඩිවී සිටීමට හා නිදාගැනීමට ද පහසුවනු පිණිසය.

"මහ මඟ යන මගීන්ට, විඩා නිවා ගැනීම සඳහා ඉදිකළ ගොඩනැගිලි අම්බලම් යනුවෙන් හැඳින්වේ. සාමාන්‍යයෙන් මේවායේ කැටයම් කළ පේකඩ මත පිහිටි උළු සෙවෙලි කළ දැව වහලය ර¹ පවතින්නේ ගල්කණු මතය. ඇතැම්විට මෙම ගල් කණු විසිතුරු මෝස්‌තරවලින් අලංකාර කරන ලදී." (සිංහල විශ්වකෝෂ උද්ධෘති - 1971 - 495 පිටුව)

අම්බලම සාමාන්‍ය සතරැස්‌ පැති පෙණුමට යොදන්නේ නම්, වහලයට මුදුන් යටලීයක්‌ අවශ්‍ය නොවීය. වහල සතර කැණිමඬලකින් එක්‌කොට වහල මුදුනේ මැටි කොතක්‌ තබනු ලැබීය. අම්බලමේ එක්‌ පැත්තක්‌ දිගින් වැඩිවූ විට කෙටි මුදුන් යටලීයකින් වහලේ මුදුන නිමවේ. එවිට වහලේ මුදුන් දෙකෙළවර, මැටි කොත් දෙකක්‌ තබයි.

තවත් නොයෙක්‌ ක්‍රමවලට, අම්බලම් තනනු ලැබීය. ගලින් හෝ ගඩොලින් කුළුණු බැඳ, ඒ මතුපිට වහලය ගසා අම්බලම් සාදනු ලැබේ. මෙසේ කුළුණු බැඳ සාදන අම්බලම වට කොට උස්‌ නොවූ බිත්ති බඳිනු ලැබේ. වාඩිවී සිටීමට හා නිදාගැනීමට පහසුවනු පිණිස එම බිත්ති මත පළලින් හා ඝනකමින් යුත් ලෑලි සවිකරනු ලැබේ. අම්බලම් තනවන්නෝ, ඔවුන්ගේ වත් පොහොසත්කම මත, එහි වහලය පිදුරුවලින්, පොල් අතුවලින් හෝ උළුවලින් සෙවිලි කරති.

"උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ අංගයක්‌ වූ කුළුණු, දැවයෙන් මෙන් ම ගලින්ද තනන ලදී. ගොඩනැගිලි වල ආලින්දය, සාමාන්‍යයෙන්, බිත්තිවලින් ආවරණය නොවූයෙන් පියෑස්‌ස රැඳවීම සඳහා කුළුණු බහුල වශයෙන් භාවිත විය. මහනුවර මඟුල් මඩුවේ සහ උඩරට සමයට අයත් අම්බලම්වල පියසි සම්පූර්ණයෙන්ම රැඳුණේ, කුළුණු මතුයෙහිය. මේ කුළුණු සාමාන්‍යයෙන් නිමවන ලද්දේ කුළුණු කඳ මැද සම සතරැස්‌ කොටසක්‌ ඉතිරිකොට කුළුණු පාදයත් හිසත් අතර සෙසු කොටස අටැස්‌ හැඩයට කැපීමෙනි. හැඩ දැමීමට පෙරාතුව, කුළුණු සිව්රැස්‌ කඳක්‌ වශයෙන් එහි හුලස්‌ ගෑමෙන්, මේ අටැස්‌ හැඩය පහසුවෙන් ගත හැකිය. බොහෝවිට, කුළුණකින් තුනෙන් එකක්‌ පමණ කොටස, කුළුණු පාදය වශයෙන් සිව්රැස්‌ව තබනු ලැබේ. කුළුණු පාදයට ඉහළින් අටැස්‌ කොටස, ආරම්භ වන තැන ආසනකඩය ද, ගැටලිය මෝස්‌තරය ද යෙදීම සාමාන්‍ය සිරිතයි. කුළුණු හිසට යටින් මුතු දැල් මෝස්‌තරය වැනි රටාවක්‌ යොදන ලදී. කුළුණු හිස්‌ විවිධ හැඩයෙන් යුත්කය. පද්මාකාර කුළුණු හිස, වැඩි වශයෙන් දක්‌නා ලැබේ. යටිකුරු කළ නෙළුමක නැතහොත් කෙසෙල් මුවයක හැඩය ඇති පේකඩ ද මේ කුළුණුවලට අලංකාරය යොදාගත් අංගයකි. බාල්ක එලන ලද්දේ කුළුණු හිස මත යෙදූ පේකඩ මත්තෙහි ය. (සිංහල විශ්වකෝෂ උද්ධෘති - 488 පිටුව)

සංදේශ කවියන් විසින් වර්ණනා කරනු ලැබූ අම්බලම් සක්‌දෙවි රජුගේ සුදම් ශාලාව මෙන් අලංකාර විය. එවන් අම්බලමක්‌ දෙවුන්දර පිහිටා තිබූ බව මයුර සංදේශයේ දැක්‌වේ. (මයුර සංදේශය - 115 පද්‍යය) එම අම්බලම පරෙවි සංදේශ කවියා දැක තිබෙන්නේ (පරෙවි සංදේශය 155 පද්‍යය) පෙතැලි රූප හා කැටයම් සහිත, නිර්මිණි එබූ කුළුණු සහිතවය. අම්බලම නන් විසිතුරු කැටයම්වලින් අලංකාර කිරීම එහි නිර්මාණකරුවන්ගේ දක්‍ෂතාව හා කලා නිපුණතාවය අනුව සිදුවිය.

"සිත්ගන්නා සුලු කැටයම් නිසා පනාපිටියේ අම්බලම මහනුවර සමය තුළ ඉදිවුණු අම්බලම් අතර විශේෂ ස්‌ථානයක්‌ ගනී. සාම්ප්‍රදායික මෝස්‌තරවලට ගැති නොවී දිනපතා ජන ජීවිතයේ දර්ශනය ද රූකම් සඳහා ගැනීමෙන් එහි කැටයම් ශිල්පය, ඇම්බැක්‌කේ දේවාලයේ කැටයම් ශිල්පයට පවා ඉදිරියෙන් සිටී."

මුර්ති කලාව මහනුවර යුගයේ මුර්ති ශිල්පය ක්‍රි.ව. 1400-1815 පණ්‌ඩිත ගුණපාල සේනාධීර සංස්‌. ආචාර්ය නන්දදේව විඡේසේකර 1990 - 163 පිටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

අම්බලම් විසිතුරු කොට නිර්මාණය කරන විට එහි කණු, පේකඩ, බාල්ක, යටලී, තලන් ආදී දැව ද කැටයම්වලින් අලංකාර කෙරේ.

"ප්‍රමාණයෙන් කුඩා වූ නමුත් පනාපිටිය අම්බලමේ වටිනාකම, එය ගොඩනැගීමට යෙදූ දැව කුළුණු සහ අනෙක්‌ ලීවල කර ඇති කැටයම්ය. මේ කැටයම් ක්‍රි.ව. 18 වන සියවසට පමණ අයිතියයි සිතිය හැකිය. කැටයම් අතරේ මිනිස්‌ රූප, සත්ව රූප, මල්, කොළ ආදිය වේ. එසේම වැල් ගැට තරු ආදිය ද ඇත. සියලුම රූප කර ඇත්තේ ලී වඩුවාගේ නියන පහසුවෙන් යොදන්නට පුළුවන් වනසේ මිණුම් ගණිත ක්‍රමයට හරිහැටි සමකොට බෙදාගන්ට පුළුවන් ක්‍රම වලටය." (පනාපිටිය අම්බලමේ කැටයම් චාර්ල්ස්‌ ගොඩකුඹුරේ 1981-09 පිටුව)

අම්බලමේ කුළුණු හා බිත්ති බදාමයෙන් නිමකොට ඇත්නම්, එහි කැටයම් නොව සිතුවම් අඳිනු ලැබීය. නීල කොබෝ සංදේශයේ (නීල කොබෝ සංදේශය 22 පද්‍යය) සඳහන් වන පොළොන්මාරුවේ අම්බලම, සිතුවමින් අලංකාර වූවක්‌ විය එහි වූ නොයෙක්‌ සිංහ හා ව්‍යාඝ්‍ර රූප විශ්වකර්ම දෙවියන් විසින් කරනු ලැබුවක්‌ සේ විසිතුරු වූ බව භරණ ගණිතාචාර්යයන් (ක්‍රි.ව. 1747-1780) සඳහන් කරයි. තිසර සංදේශයේ (තිසර සංදේශය 24 පද්‍යය) සඳහන් වන ආකාරයට වැල්ලේ අම්බලමේ ගණදෙවියන්ගේ රුවක්‌ තිබුණි.

අම්බලමට සමීපව, පොකුණක්‌ ළිඳක්‌ හෝ පිංතාලියක්‌ ද විය. සැළලිහිණි සංදේශයේ සඳහන් වන මල් අම්බලම සමීපයේ පොකුණක්‌ විය. (සැළලිහිණි සංදේශය 33 පද්‍යය) හංස සංදේශයේ සඳහන් වන උදය දිවාකර පොකුණ අසල ද අම්බලමක්‌ තිබුණි. මාතර, හක්‌මන බෙලිඅත්ත මාර්ගයේ, වලවෙල හන්දියේ වූ අම්බලමේ, කැටයමෙන් හා ඔපමට්‌ටම් කිරීමෙන් අලංකාර වූ ශෛලමය ජල ටැංකියක්‌ විය. මේ ආකාරයට අම්බලම අසල ජල සම්පාදනය පිණිස පොකුණක්‌ කරවීම, පැන්තාලියක්‌ පිහිටුවීම හෝ ජල ටැංකියක්‌ හෝ කරවීම, ජනප්‍රධානීන්ගේ යුතුකමක්‌ මෙන්ම, වගකීමක්‌ද වූ ආකාරය ඉන් පැහැදිලි වේ.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.