රනිල්: මාධ්‍ය නිදහසේ පෙර ගමන්කරු?

රහස්‌ ඡන්දයේ ප්‍රතිඵලවලින් කෝපයට පත් පාක්‍ෂිකයන් සිරිකොතට පහර දී වැට කඩා, බුදු පිළිමයට හානි කරමින් හැසිරුණු ආකාරය ගැන අප තුළ ඇත්තේ මහත් වු ජුගුප්සාවකි. එසේම, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය ගැන ද අප තුළ ඇත්තේ ජුගුප්සාවකි. නැවත වරක්‌ පක්‍ෂ නායකයා බවට පත්වු රනිල් වික්‍රමසිංහගේ මතය තිබිය යුත්තේ එයට විරෝධය ප්‍රකාශ කළ අයට වඩා උසස්‌ තැනකය. මන්ද, ඔහු මේ මොහොතේදී ජයග්‍රාහකයා වන නිසාය. පක්‍ෂ නායකත්වය වෙනස්‌ කිරීමට දීර්ඝ කාලීන සටනක නිරත වු සජිත්ට, කරුට, දයාසිරිට, රෝසිට, සුජීව සේනසිංහට නායකයාගේ වෛරය හැර වෙනත් කිසිවක්‌ ඉතිරිව නැත. සිය ජයග්‍රහණයෙන් පසු රනිල් වික්‍රමසිංහ සිය ප්‍රතිවාදීන්ට සහ එකී ප්‍රතිවාදීන්ට පක්‍ෂයයි සැක කරන රූපවාහිනී චැනලයකට සහ පුවත්පතකට පහර දෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වසර 2009 දී කොටි සංවිධානයට එල්ල කළ දේශපාලන ප්‍රහාරය හා සමාන ආකාරයකටය. යු. එන්. පී. නායකයා තේරීමේ ඡන්දය හොර ඡන්දයක්‌ ද හැබෑ ඡන්දයක්‌ ද යන්න ගැන අපට වැටහීමක්‌ නැත. එය හොර ඡන්දයක්‌ බව කියන අයට යන එනමං නැතිවනතුරු පහරදීම රනිල්ගේ ක්‍රියාකලාපය බව පැහැදිලිය. කරු ජයසුරිය දේශපාලන අනාථයකු බවට පත්වුවහොත් එහි පාපය සජිත් ප්‍රේමදාස විසින් භාරගත යුතුමය. දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ යන දෙදෙනාම නීතිඥයන් නිසා ඔවුන්ට රැකියා ප්‍රශ්නයක්‌ මතුවන්නේ නැත. රෝසි සේනානායක විශ්‍රාමික රූ රැජිනකි. ඇයටද ප්‍රශ්නයක්‌ නොවන්නේ ඇය ශක්‌තිමත් ආර්ථික පසුබිමකින් එන කාන්තාවක නිසාය.

මේ මෑතක්‌ වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය නිදහසේ පෙරගමන්කරුවෙක්‌ විය. ඉතා පහත් ලෙස ආණ්‌ඩුවට මඩ ගැසු කුණුහරුප වෙබ් අඩවි එකක්‌ හෝ දෙකක්‌ රජය මගින් තහනම් කරන ලද විට ඒ වෙබ් අඩවිවල මාධ්‍ය නිදහස ගැන විපක්‍ෂයේ බලගතු කිහිප දෙනකු විරුද්ධ වු ආකාරය අපට සිහිපත් වේ. එහෙත් රූපවාහිනී චැනලයක්‌ සහ පුවත්පතක්‌ තමන් දෙසට හැරී විවේචන කරන්නට පටන්ගත් විට එය දරාගත නොහැකි වු රනිල් වික්‍රමසිංහ එම රූපවාහිනි චැනලය සහ පුවත්පත වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලයි· වසර 2001-2004 කාලයේදී පැවැති කෙටිකාලීන යු. එන්. පී. ආණ්‌ඩුවේ අගමැති ලෙස ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට නෝර්වේ ඇතුළු ස්‌කැන්ඩිනේවියානු රටවල් මැදිහත් කර ගැනීමට රනිල් කටයුතු කළේය. එය විවේචනය කළ පුවත්පත්වලට සහ දේශපාලනඥයන්ට රනිල්ගේ ආණ්‌ඩුව එළව එළවා පහර දුන්නේය. තමන් රට පාලනය කළ යුත්තේ කෙසේද යන්න ජනමාධ්‍ය මගින් යෝජනා කරනු ලැබීමට එරෙහි වුවද ඒ සඳහා විදේශික තානාපතිවරුන් පසුපස යමින් යු. එන්. පී. ආණ්‌ඩුව කටයුතු කළ ආකාරය අපි දනිමු.

පසුගිය සඳුදා සිරිකොතට එල්ල කළ ප්‍රහාරය පිටුපස ජර්මන් රාජ්‍ය නොවන සංවිධානයක්‌ ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. රනිල් වික්‍රමසිංහයන් ද ජර්මන් එන්. ජී. ඕ. එකක උදව් ලබාගත් බව අපි දනිමු. පසුගිය ජනාධිපතිවරණයේදී එ.ජා.ප. අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට සිටියේ රනිල්ය. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රඥප්තිය උපන්නේත් "පෙඩි්‍රක්‌ නිවුමාන් ස්‌ටිµaටං" නමැති ජර්මන් එන්. ජී. ඕ. වක ආධාරයෙනි. සරත් ෆොන්සේකා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමට පළමු "අනාගත අභියෝගය" නමැති මේ ප්‍රඥප්තිය බෙදාහරින ලදී. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යුද ජයග්‍රහණය නිසා ජන මතය තුළ ඉහළ තැනක සිටින බවත්, ජනාධිපතිවරණයෙන් තමා පරදින බවත් බුද්ධිමත් ලෙස තක්‌සේරු කරන ඔහු, එම පරාජයේ අපකීර්තිය පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා උඩින් යෑවීමට තීරණය කරන්නේ අනතුරුවය. මේ හැම සිද්ධියකටම ඉතිහාස කතාවක්‌ තිබේ. එම ඉතිහාසය සම්බන්ධයෙන් පැවැත්වෙන විභාගයකදී සාක්‍ෂි දීමට තරම් මතක සමුහයක්‌ අප තුළ ඇත. කිසියම් දේශපාලනඥයකු මාධ්‍යවලට පහරදීමට පටන් ගැනීමත් සමඟම ඔහුගේ පිරිහීම ද පටන් ගන්නා බව කිව යුතුය. එය විපක්‍ෂ නායකතුමාට මෙන්ම ජනාධිපතිතුමාට වුව පොදු දෙයකි.

මේ අතර මාධ්‍ය විසින් ද අනුගමනය කළ යුතු ඇතැම් යහපත් චර්යාවන් ගැන ද සඳහන් කළ යුතුයි. කිසියම් පුද්ගලයකු සමඟ විරසක වු පලියට ඔහු පසුපස යමින් දිගින් දිගටම පහර දීම මාධ්‍ය නොකළ යුතුය. එය මාධ්‍යයකට නොතරම්ය. දේශපාලනය යනු ආත්ම ගෞරවයක්‌ නැති ක්‍රියාකලාපයකි. මාධ්‍ය කලාව යනු ආත්ම ගෞරවයක්‌ ඇති වෘත්තියකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.