ඉංග්‍රීසි නොදැන
සැබෑ සාහිත්‍යකරුවෙක්‌ වෙන්න බැහැ
මහාචාර්ය සුචරිත ගම්ලත්

සංවාදය සුලෝචන වික්‍රමසිංහ

සාහිත්‍යයේ සහ සාහිත්‍යකරුවාගේ සැබෑ වගකීම විය යුත්තේ කුමක්‌ද?

සැබෑ සාහිත්‍යයේ වගකීම විය යුත්තේ යථාර්ථය ඥනනය කිරීම මිස වෙන කිසි දෙයක්‌ නෙමේ. මෙය යථාර්ථය අනාවරණය කිරීම ලෙසද හැඳින්විය හැකියි. සාහිත්‍යකරුවා සිදු කරන්නේ එම යථාර්ථය ඥනනය කිරීම කලාත්මක රීතියක්‌ තුළ පෙළ ගැස්‌වීමයි. මාක්‌ස්‌, ලෙනින්, එංගල්ස්‌, ට්‍රොට්‌ස්‌කි මේ පිළිබඳ පැහැදිලි ලෙස සාකච්ඡා කොට තියෙනවා. ඒ අනුව සාහිත්‍යය පිළිබඳ මාක්‌ස්‌වාදී දෘෂ්ටිකෝණය සැබෑ සාහිත්‍යයක තිබිය යුතු මූලික ගුණාංගයක්‌ පැහැදිලි ලෙස පෙන්වා දී තිබෙනවා.

යථාර්ථය ඥනනය කිරීම සාහිත්‍යයේ වගකීම ලෙස ඔබ පෙන්වා දුන්නත් මාක්‌ස්‌වාදී න්‍යාය යටතේම සාහිත්‍යයේ වගකීම යථාර්ථය ජයග්‍රහණය කිරීමයි යන්නෙන් තවත් අදහසක්‌ ප්‍රකාශ වුණා.

එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය අදහසක්‌. ඔය න්‍යාය වැරදි බව මීට කාලෙකට ඉස්‌සෙල්ල මම පැහැදිලිව පෙන්වා දුන්නා. ඒත් නැවතත් එම අදහස මතු වෙන්නට පටන් අරන් තියෙනවා. පියසීලි විඡේගුණසිංහ තමයි ඔය බොරුව නිර්මාණය කළේ. යථාර්ථය ජය ගැනීම කියන්නෙ මොකක්‌ද? ඒක සිදුවෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකකටයි. පළමු වැන්න තමයි විප්ලවාදී භාවිතය. දෙවැන්න තමයි මිනිසුන්ගේ අරගල. සාහිත්‍යයෙන් මේ දෙකම කරන්න බැහැ. එය වෙනම කාර්යයක්‌. මොන අරගලය ජයගත්ත වුණත් ලොව පවතින ස්‌වභාවය යථාර්ථවාදීව ඥනනය කළ යුතුයි. අපගේ ජීවිත පවතින්නේ කොහොමද? අපගේ සතුරෝ කවුරහුද? අපට විරුද්ධව පවතින බලවේග මොනවාද? මෙම තත්ත්වයන් සැබෑ ලෙස අනාවරණය නොකරගෙන කිසිදු ජයග්‍රහණයක්‌ ලබන්න බැහැ. පළමුව යථාර්ථය ඥනනය කළ යුතුයි. එය කළ හැක්‌කේ සාහිත්‍යයකරුවාටයි. සාහිත්‍යකරුවාද මෙම ඥනනය නිර්මාණය කළ යුත්තේ කලාත්මක භාවිතයක්‌ තුළ මිසක කලාත්මක බවින් වියුක්‌තවූ ප්‍රචාරක වාදී ස්‌වරූපයෙන් නොවේ. මා මේ තත්ත්වය පිළිබඳ මාක්‌ස්‌වාදී විකට රූප පොතේ පැහැදිලිව සාකච්ඡා කොට තියෙනවා.

යථාර්ථය ඥනනය කිරීම යන්නෙත් අදහස්‌ වන දෙය තවදුරටත් පැහැදිලි කළහොත්

යථාර්ථය ඥනනය කිරීම ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකකට බෙදන්න පුළුවන්. ඉන් පළමුවැන්න තමයි හැඟීම් පද්ධතිය පරික්‍ෂා කිරීම. දෙවැන්න තමයි මනෝභාව මණ්‌ඩලය පරික්‍ෂණය කිරීම. මේ දෙකම එකක්‌ විදියට සලකන්න වුණත් පුළුවන්. මේ අනුව මනෝභාව මණ්‌ඩලය ඥනනය කිරීම මගින් යථාර්ථය ඥනනය කිරීමට හැකියාවක්‌ ලැබෙනවා. සාහිත්‍ය කරුවාගේ වගකීම විය යුත්තේ මං මුලින් කීවාක්‌ මෙන් මෙම යථාර්ථය ඥනනය කිරීමයි.

පෙරදිග සම්භාව්‍ය සාහිත්‍යයේ මෙම යථාර්ථය ඥනනය කිරීම දක්‌නට ලැබෙනවාද?

පෙරදිග හෝ වේවා අපරදිග හෝ වේවා යහපත් සාහිත්‍යයක්‌ වේනම් එය විශ්ව සාහිත්‍යයක්‌ බවට පත්වී ඇත්තේ මේ ලක්‍ෂණය එම කෘති තුළ අඩංගු වී තිබුණ නිසයි. උදාහරණයක්‌ වශයෙන් කාලිදාසගෙ මේඝ දූතය තුළ සිය ප්‍රියාවගෙන් වෙන්වූ පුද්ගලයෙකුගේ සිත පිළිබඳ යථාර්ථවාදී චිත්‍රයක්‌ කදිමට නිරූපණය වෙනවා. වියෝවීමේ දුක ඒ තුළ ඉතා කදිමට නිරූපණය වෙනවා. යථාර්ථය කියන්නේ මිනිස්‌සු කන, බොන, අඳින පළදින දේ විතරක්‌ නෙමෙයි. මිනිස්‌ හැඟීම් ද එහි කොටසක්‌ අපේ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේත් මෙය කදිමට නිරූපණය වෙනවා.

වර්තමාන සාහිත්‍යයේ මෙම ලක්‍ෂණය කොතෙක්‌ දුරට නිරූපණය වෙනවද?

වර්තමානයේ කථා කරන්න තරම් සාහිත්‍යයක්‌ නැහැ. විශේෂයෙන්ම නව කතාව ගත්තොත් එය කුණු ගඳ ගහන, ඕලාරික, සුභාවිත නොවන, අමිහිරි, පල් හෑලි ගොඩක්‌. මේකට හොඳම උදාහරණ පසුගිය වසර කිහිපයෙහි සම්මාන දිනාගත් කෘති බලු බල්ලෙකුට කියවන්න බැහැ. මේ වගේ කෘතිවලට සම්මාන දීමෙන් ඇතිවන පූර්වාදර්ශය ඉතාම භයානක තත්ත්වයක්‌.

මේ තත්ත්වයට බලපෑ හේතු සාධක මොනවාද?

වර්තමාන නව කතාව ඉතාම පහත් තත්ත්වයට ඇද වැටෙන්න හේතු වුණ මූලික කාරණා දෙකක්‌ තියෙනවා. ඉන් පළමු වැන්න තමයි විශ්ව සාහිත්‍ය පරිශීලනය නොකිරීම. අනෙක්‌ කරුණු තමයි පැරැණි සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය නොකිරීම. මේ දෙකම කරන්න ශක්‌තියක්‌ මේ අයට නැහැ. විශ්ව සාහිත්‍ය පරිශීලනය කරන්න ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහැ. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ඇසුරු කරන්න සිංහල දන්නේ නැහැ. සිංහලත් දන්නැති ඉංග්‍රීසීත් දන්නේ නැති පිරිසක්‌ තමයි අද සාහිත්‍ය කරණයෙ යෙදෙන්නේ. සම්මාන විනිශ්චය මණ්‌ඩලවල ඉන්නෙත් ඒ වගේ අය. මේ ගොල්ලො නව කතාව කියන්නෙ මොකක්‌ද වත් දන්නේ නැහැ. පිළී ගඳ ගහන, හඩු බාසාවෙන් මොකක්‌ හරි ලියුවහම නව කතාවක්‌ කියලා කියනවා. නව ආකෘති කිය කිය මේවට සම්මානත් දෙනවා. මේව ලියන අයයි සම්මාන දෙන අයයි අතරෙ කිසිඳු වෙනසක්‌ නැහැ. දෙගොල්ලොම එකම බෝට්‌ටුවෙ.

ඔබ හිතන්නෙ නව කතාවෙහි ආකෘතිය මෙන්ම සන්දර්භය වෙනස්‌ නොවිය යුතුයි කියලද?

නව කතාවක ආකෘතිය, සන්දර්භය ඔය ඕනෑම එකක්‌ වෙනස්‌ වුණාට කමක්‌ නැහැ. ඒත් මේව නව කතා නෙමෙයි. මොකක්‌හරි වචන ටිකක්‌ ගලපල විස්‌තරයක්‌ කෙරුවට ඒක නව කතාවක්‌ වෙන්නේ නැහැ. නව කතාව පළමු කොට කියවන්න පුළුවන් ප්‍රිය උපදවන දෙයක්‌ වෙන්න ඕන. ඒ නිසා එය පිරිපහදු කළ භාෂාවකින් පළමුව නිර්මාණය වෙන්න ඕන. මං කියන්නේ නැහැ. අමාවතුර, බුත්සරණ රීතියෙන් නවකතා ලියන්න කියලා. නමුත් ඒ ආභාසය ඇසුරෙහි නිපදවුණු බස්‌ වරහක්‌ අප සතුව තියෙනවා. ඒ නිරවුල් බසින් ඕනෑම දෙයක්‌ සන්නිවේදනය කරන්න පුළුවන්. ඒ සියලු දේ අමතක කරලා කුණුහරුප භාෂාවක්‌ භාවිතා කරනවා නම් මොකක්‌ද ඒකෙ තියෙන සාහිත්‍යය. සාහිත්‍යයෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ නියම ශික්‍ෂිත සංස්‌කෘතික මිනිසෙක්‌ බිහි කිරීම. මේ වර්තමාන කෘති තුළින් වෙන්නේ ශික්‍ෂිත මිනිස්‌සුන් අශික්‍ෂිත වීම.

මෙම තත්ත්වයට සාහිත්‍ය විචාරයද වගකිව යුතුයි නේද?

පැහැදිලිවම අද රටේ සාහිත්‍ය විචාරයක්‌ නැහැ. තියෙන්නෙ නන් දෙඩවිලි. මොකද විචාරකයො කියාගන්න පිරිස්‌ පවා විචාර න්‍යායයන් නිසා විචාරකයාගේ කාර්යභාරයවත් දන්නේ නැහැ.

විචාරකයාගේ කාර්යභාරය කුමක්‌ද?

පන්ති ඉතිහාසය පුරාම සාහිත්‍ය කලා නිර්මාණය වුණේ වරප්‍රසාද ලත් පංතිය අත. ඔවුන් අත කලාවේ ආකෘතිය නිර්මාණය වෙනව. ඒ වගේම එම කලා කෘති රස විඳින්නෙ වරප්‍රසාද නොලද සාමාන්‍ය පංතිය. විචාරකයාගේ මූලික කාර්යභාරය විය යුත්තේ වරප්‍රසාද ලත් පංතිය හා සාමාන්‍ය පංතිය අතර ඇති එම හිඩැස පිරවීම. නමුත් ලංකාවේ සිදුවෙන්නේ එකිනෙකාගෙ පිට කසා ගැනීම. මේ නිසා නිර්මාණ කරුවෝ විචාරකයන් ගණන් ගන්නේ නැහැ. ඒ නිසා තමන්ට හිතෙන හිතෙන විකාරවලින් කිසි වැදගැම්මකට නැති කසිකබල් පොත් පිටකරනවා. විචාරකයා සාමාන්‍ය පාඨකයාට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. එහෙත් අපේ රටේ සාමාන්‍ය පාඨකයො විචාරකයන්ට ඉදිරියෙන් සිටින බව පේනවා. මෙයට ප්‍රධාන හේතුව විචාරය පැහැදිලි අවබෝධයකින් හා දැනුමකින් තොරව සිදු කිරීම.

ඉතා සංවිධිත ආකාරයෙන් පෝෂණය වී තිබුණු ඔබ විසින් ප්‍රචලිත කරන ලද, ගැඹුරු සාහිත්‍ය කතිකාවට මග පෑදු මාක්‌ස්‌වාදී විචාර න්‍යායයද අද යල් පැන ගොස්‌ ඇති බවට අදහස්‌ ප්‍රකාශ වෙනවා.

සුචරිත ගම්ලත්ගේ මාක්‌ස්‌වාදී විචාර න්‍යාය යල් පැන ගිහින් කියන කතාව මුලින්ම ප්‍රකාශ කළේ නිර්මාල් රංජිත් දේවසිරි, මාක්‌ස්‌වාදී සාහිත්‍යය විචාර න්‍යාය ගොඩනැගී ඇත්තේ මාක්‌ස්‌වාදී දර්ශනය මත. මාක්‌ස්‌වාදී දර්ශනය යල් පැන ගියහොත් එම විචාර න්‍යායයද යල් පනියි. එහෙත් නිර්මාල් රංජිත්ට මේක තේරෙන්නෙ නැහැ. මාක්‌ස්‌වාදී දර්ශනය කොහොමට වත් යල් පැන ගිහින් නැහැ. නිර්මාල් රංජිත්ට පුළුවන් නම් ඒක ඔප්පු කරන්න මම ලැහැස්‌තියි උත්තර දෙන්න. මේව මට විරුද්ධව කෙරෙන බොරු වාචාල කතා. කොමියුනිස්‌ට්‌ ප්‍රකාශනය යල් පැන ගිහින්ද? පංති අරගලය පිළිබඳ ඉතිහාසය යල් පැන ගිහින්ද? වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය යල් පැන ගිහින්ද? දාස්‌ කැපිටාල් යල් පැන ගිහින්ද? පුළුවන් නම් මේව යල් පැන ගිහින් කියල ඔප්පු කරන්න මම ලැහැස්‌තියි එයට පිළිතුරු සපයන්න. මාක්‌ස්‌වාදයවත් සාහිත්‍යය පිළිබඳ මාක්‌ස්‌වාදී න්‍යායයවත් නොදැන කරන පුහු ප්‍රකාශ.

එතකොට පශ්චාත් නූතන වාදය?

මාක්‌ස්‌වාදයට එරෙහිව ගොඩනගපු වාදයක්‌ මිසක්‌ එහි ගත යුත්තක්‌ නැහැ. මේ සම්බන්ධව මම පශ්චාත් නූතන වාදය පොතේ සාකච්ඡා කරල තියෙනවා. බටහිර යුරෝපයේ කුණුවී යන ධනවාදයේ සංස්‌කෘතික ලේඛන වශයෙන් පශ්චාත් නූතනවාදය ගුණදාස අමරසේකර හඳුන්වා දී ඇති බව මට ආරංචියි. බොහෝ පශ්චාත් නුතනවාදීන්ට අන්තර්ජාලය හරහා ලබා ගන්නා දත්ත කිහිපයක්‌ විනා ඉන් එහාට පැතිරුණු දැනුමක්‌ නැහැ.

ඔබ ප්‍රකාශ කරන බොහෝ අදහස්‌ පිටුපස අපගේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ගැටලු ඇති බව පෙනී යනවා.



පැහැදිලිවම ඉංග්‍රීසි අධ්‍යාපනය මේ රටේ ක්‍රියාත්මක වුණ කාලෙදී සැබෑ උගතුන් බිහිවුණා. එහෙත් අද බිහිවෙන්නේ සාක්‌ෂරතාව පමණක්‌ හිමි හිස්‌ මිනිස්‌සු. මේකට අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වග කියන්න ඕන. දැන් වසර ගණනක ඉඳන් ඉංග්‍රීසි අධ්‍යාපනය යළි ක්‍රියාත්මක කරන්න හදනවා. ඒත් තාම කිසි ප්‍රතිඵලයක්‌ නැහැ. ඔක්‌කොටම ඉස්‌සෙල්ල ඉංග්‍රීසි දන්න මිනිස්‌සු ඕන උගන්නන්න. ඉංග්‍රීසි නොදැන සැබෑ සාහිත්‍ය කරුවෙක්‌ වෙන්න බැහැ. ඒත් ලංකාව මේ අනුගමනය කරන ක්‍රමය මගින් කිසි දවසක ඉංග්‍රීසි හා සිංහල දන්න ද්විභාෂා උගතෙකු බිහිවන්නේ නැහැ. ඒ සඳහා දිගු කාලීන වැඩ සටහනක්‌ අවශ්‍යයි. මේ සඳහා වැඩපිළිවෙලක්‌ නිර්මාණය කරන්න සැබෑ ද්විභාෂා උගතුන්ගේ සහාය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. එහෙම නැතුව අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ වෙනත් අමාත්‍යාංශයකට වුවමනා පරිදි ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරන්න බැහැ.

ඔබ ප්‍රකාශ කරන ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්‌ ලෙස පැරැණි සම්භාවය සාහිත්‍යය ඇසුරු කරන පිරිසගේ වඳවීමක්‌ සිදු නොවන්නේද?

කොහෙත්ම නැහැ. අද ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිවුණා කියලා කවුද සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ඇසුරු කරන්නේ. ඒත් ඉංග්‍රීසි අධ්‍යාපනය මෙරට මුල් බැස ගෙන තිබූ අවධියේ තමයි මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වගෙ නිර්මාණකරුවන් බිහිවුණේ. මොවුන් සිංහල බස හා ඉංග්‍රීසි බස හොඳින් හඳුනනවා. ඔවුන් සියලු දෙනාම ඉංග්‍රීසි බසින් ඥනය ලබාගන්නා අතරම සම්භාව්‍ය සිංහල සාහිත්‍යයද ගැඹුරින් පරිශීලනය කළා. ඒ අනුව මොවුන් සිංහල සාහිත්‍යයෙහි වැදගත් සාහිත්‍යධරයන් බවට පත්වුණා. ඒ අනුව ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබු පමණින් සිංහල සාහිත්‍යය වඳවී යැමක්‌ වෙන්න ඉඩක්‌ නැහැ. එය තව දුරටත් වැදගත් ලෙස වර්ධනය වෙයි. මොහොතකට අපි එසේ වුණා යෑයි සිතමු. එවිට අඩු ගණනේ ඔවුනට විශ්ව සාහිත්‍යය ඇසුරු කරන්න පුළුවන් වෙයි. ලෝකෙ බිහිවුණු විශිෂ්ට සාහිත්‍යකරුවෝ සිංහල දැනගෙන හිsටියෙ නැහැනේ. නමුත් ඔවුන් ඉංග්‍රීසි භාෂාව හරහා විශ්ව සාහිත්‍යය ඇසුරු කර තිබුණා. සාහිත්‍යය යන්න කුමක්‌ද? යන්න නිවැරැදි ලෙස වටහාගෙන තිබුණා. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණ සර්වකාලීන අගයෙන් යුත් කෘති බවට පත්වුණා.

වර්තමානයේ බොහෝ සාහිත්‍ය සාකච්ඡා තුළ විශ්ව සාහිත්‍යය පිළිබඳ සාකච්ඡා වෙනවා. ඒ කෘති නිදසුන් වශයෙන් යොදා ගන්නවා.

වර්තමානයේ කිසිදු හරවත් සාහිත්‍ය සාකච්ඡාවක්‌ සිදුවන්නේ නැහැ. සාකච්ඡා තියෙන්නේ බොහෝ විට පොතක්‌ අලුතින් බිහිවන දවසක. එතැනදී සිදුවන්නෙත් සාහිත්‍ය සාකච්ඡා නෙමෙයි. නිකං කතා. ඒ කතා අහල එළියට එන බොහෝ දෙනාට කථිකයා කිව්වේ මොකක්‌ද කියලා තේරෙන්නේ නැහැ. නැත්නම් තමන් දන්නදේම නැවත අහගෙන ඉඳල එනවා. ගැඹුරු සංවාදයකට හෝ හරවත් අදහසකට එතැන ඉඩක්‌ නැහැ. බොහෝ කථිකයන් තමන්ගේ දේශනයට උදාහරණ ලෙස බොහෝ ඉංග්‍රීසි කෘති ඇතුළු වෙනත් කෘති යොදා ගන්නවා. හැබැයි ඒ එකක්‌වත් විශ්ව සාහිත්‍ය කෘති නෙමෙයි. ඒව ඒ කථිකයන් විතරක්‌ දන්න කෘති. ඒවයේ මුල් පිටපත් බොහෝ විට හොයාගන්න නැහැ. අනුන් නොදන්න තමා පමණක්‌ දන්න කෘති උලුප්පලා දැක්‌වීම කාටද කරන්න බැරි. ඒ කෘති බොහෝ විට අපේ සම්මාන ලබන කෘති වගෙයි. කතා කරන දෙයින් තේරෙනවා ඒව කිසිදු වැදගම්මකට නැති කෘති බව

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.