නීතිය, යුක්‌තිය හා හෘදය සාක්‌ෂිය

පිළිබඳව හිටපු මහාධිකරණ විනිසුරු
ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව කතා කරයි

පසුගියදා විශ්‍රාම ගිය ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව මහතා අධිකරණ ක්‍ෂේත්‍රයේ මහත් කතා බහට ලක්‌වූ විනිසුරුවරයකු වූයේය. මේ වන විට මහනුවර හන්තාන කඳුවැටියේ පිහිටි සිය නිවසේ විශ්‍රාම සුවයෙන් කල් ගෙවනු ලබන ඒ මහතා පුවත්පතකට ලබාදුන් පළමු සම්මුඛ සාකච්ඡාව මෙය වන්නේය. වරාවැව මහතා වෙත දිවයින විසින් යොමු කළ විමසීම් කීපයකට ඒ මහතා ලබාදුන් සැලකිරීම් මෙසේ සටහන් තබමි.

ප්‍රශ්නය- මහාධිකරණ විනිසුරුවරයකු ලෙසින් සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවන ඔබ කළ සේවය පිළිබඳව ආපසු හැරී බලනවිටදී ඇති වන හැඟීම කෙබඳුද?

පිළිතුර - සේවය කළ කාලය දෙස අතීතාවර්ජනයක්‌ කළහොත් කිසිඳු පසු තැවීමක්‌ ඇත්තේ නැති බව පළමුව කිව යුතුයි. සේවා කාලය තුළ කිසිවකුට අයුක්‌තියක්‌ අසාධාරණයක්‌ සිදු වූ දෙයක්‌ ඇත්තේම නැතැයි සිතනවා. විනිසුරුවරයෙක්‌ ලෙසින් පත්වීම් ලැබීමට පෙර පවා යුක්‌තිය සාධාරණය මුල්කොට ගනිමින් කටයුතු කළ බැවින් ඊට පසුවද සමාජ යුක්‌ති ධර්මය, නීති මූලධර්මය ස්‌වභාව ධර්ම නීතිය අනුව සමාජ අවබෝධයෙන් යුතුව කටයුතු කළා.

මව්පිය ගුරුවරුන්ගෙන් ලද ආභාෂය ඒකෙරෙහි ප්‍රධාන ලෙසින් බලපාන්නට ඇතැයි සිතෙනවා. ඒ අනුව මගේ අධිකරණය සෑම විටම යුක්‌තිය සාධාරණත්වය උදෙසාම කටයුතු කළ අධිකරණයක්‌ බව වචනාර්ථයෙන් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර තිබෙනවා.

අද වන විට විශ්‍රාමිකව ඉතා සැහැල්ලුවෙන් නිදහස්‌ මානසිකත්වයකින් චාම් දිවි පෙවෙතක්‌ ගත කිරීමට හැකි වී තිබෙනවා.

ප්‍රශ්නය - වර්තමාන අධිකරණ පද්ධතියේ ක්‍රියාත්මක වීම ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර - ඉතිහාසයේ බොහෝ රටවල පැවතියේ රාජාණ්‌ඩු පාලන ක්‍රමයන්, සෑම බලයක්‌ම රජු වෙත පැවරී තිබුණා. සියල්ලේම අවසානය තීරණය කරනු ලැබුයේ රජතුමා විසිනුයි. ලෝකය පුරා ඇතිවූ විවිධ විප්ලවයන් ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයන් ව්‍යාප්ත වීමට බලපානු ලැබුවා. එහිදී රජු වෙත හිමිව තිබූ අධිකරණ බලතල වෙන් වී නීතියේ ආධිපත්‍ය වෙනම සංකල්පයක්‌ ලෙස ඇතිවී ස්‌ථාපනය වන්නට වුණා. එපමණක්‌ නොවෙයි ඇතැම් රටවලදී රජු සතු බලතල විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙසින් බෙදී යැමක්‌ද දක්‌නට ලැබුණා. එක්‌ පුද්ගලයකු වෙතම මෙම සියලු බලයන් අසීමිත ලෙස හිමිවීමෙන් විශාල දූෂණයක්‌, අසාධාරණයක්‌ වූ නිසා එහිදී යහපාලනයක්‌ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයක්‌ තුළ එක්‌ එක්‌ ස්‌ථර ඇති කරනු ලැබුවා. එනම් විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙසින් හඳුන්වන ස්‌ථර තුන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ස්‌ථම්භ ලෙස දැක්‌විය හැකියි.

අපේ රට දෙස බලන විටදී ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා තුළින් ජනතා පරමාධිපත්‍ය ජනතාව තුළ පවතින බවත් එය විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙසින් බෙදී කටයුතු කළ යුතු බවත් අර්ථ ගන්වා තිබෙනවා. එය සංකල්පයක්‌ වුවද කාලයක්‌ මෙරට ක්‍රියාත්මක වූ සත්‍යයක්‌ වෙනවා.

නමුත් මෙහිදී ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේදී ඇති ක්‍රමවේදයේ ගැටලු සහගත තත්ත්වයක්‌ මතුවන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. බොහෝ අවස්‌ථාවල ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේ දී සිදු වන්නේ විධායක වුවමනා එපා කම් අනුව එම පත්වීම් සිදුවන බවක්‌ එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අවතීර්ණ වීමට පෙර තිබූ තත්ත්වයකට යැමක්‌ වෙනවා. එනම් ගෝත්‍රික හෝ රාජාණ්‌ඩු පාලන ක්‍රමයක ලක්‌ෂණ පෙන්නුම් කරනවා. එය හරියට මුල් යුගයේ මිනිසුන් සිදු කළ ගස්‌ ගල් වන්දනාවට යැමක්‌ ලෙසින් හඳුන්වන්න පුළුවන්. සත්‍ය හා යථාර්ථය දැන දැනත් මුළාවක්‌ වටා පැදකුණු කරනවා.

එහෙත් බුද්ධිමත් ජනහිතකාමී පාලන ක්‍රමයක්‌ පවතින්නේ නම් සම්බරණ හා තුලන ක්‍රමයක්‌ තුළින් ප්‍රජාතන්ත්‍රවාදීව මිනිස්‌ නිදහස තහවුරු කිරීමට ඇති ස්‌වාධීන අධිකරණ පද්ධතියක්‌ ඇතිකොට පවත්වාගෙන යා හැකියි.

ව්‍යවස්‌ථාව මඟින් හිමිව ඇති බලයක්‌ මත විධායකය විසින් ඉහළ අධිකරණයන්ට විනිසුරුවන් පත් කිරීම සිදු කරනු ලැබුවත් නීතියේ ආධිපත්‍යයට හානියක්‌ හෝ බලපෑමක්‌ නොවන ආකාරයට විධායකය ක්‍රියා කළ යුතුයි. එසේ නොවුණහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු ඉරි තැලී බිඳ වැටීමක්‌ සිදු වෙනවා. එයින් සිදු වන්නේ ජනතාව එම ආයතන කෙරෙහි ඇති විශ්වාසය නැති වී යැමක්‌. විශ්වාසයක්‌ නැති ආයතන තුළින් ඔවුන් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට පෙළඹෙයිද? ඒ සඳහා වෙනත් විකල්පවලට යැමට ජනතාව යොමු විය හැකියි. එය මුළු සමාජ ක්‍රමයේම පැවැත්මට පිළිලයක්‌ වෙනවා අනිවාර්යයෙන්ම.

ප්‍රශ්නය - මෙහිදී විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර - විනිසුරුවන්ට මෙහිදී ප්‍රධාන කොට විශාල කාර්යභාරයක්‌ පැවරෙනවා. එය ඔවුන් විසින් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ කෙරෙහි ඇති ජනතා විශ්වාසයට අබමල් රේණුවක පළුදු වීමක්‌ ඇති නොවීමට විනිසුරුවරුන් වග බලාගත යුතුයි.

මෙයට ඇති හොඳ නිදසුනක්‌ නම් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීම දැක්‌විය හැකියි. සමරකෝන් මහතාව පත් කළ විධායකයේ ඕනෑ එපාකම් ඉටු කිරීමට ඔහු ගියේ නෑ. සමරකෝන් අගවිනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කර විනිසුරුවරුන්ගේ අභිමානය රැකගත් විනිසුරුවරයෙක්‌ ලෙස අදටත් ඒ පිළිබඳව දන්නා ජනතාව ගෞරවයෙන් සිහිපත් කරනවා.

විනිසුරුවරයෙක්‌ සෑම විටම සිය තීන්දු නියෝගයන්වලදී සතර අගතියෙන් තොරව කටයුතු කළ යුතුයි. ලාභ, ද්වේශ, මෝහ, භය කියන්නේ අපව මෙලොවදීම අගතියට පත් කරන කරුණු සතරක්‌. එම කරුණු කෙරෙහි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. විනිසුරු අසුන ඉදියේ පෙනී සිටින සියලු දෙනා දෙස වෙනස්‌කමකින් තොරව බැලිය යුතුයි.

ලේ වැගිරීම් හා ජීවිත පූජාවෙන් දිනා ගත් නීතියේ ආධිපත්‍ය එවිටයි යුක්‌තිය යුක්‌තිය ලෙසින් පසිඳලනු ඇත්තේ. අධිකරණයේ ගෞරවය විශ්වාසය දින දින වැඩි වෙන්නේ එවිටයි. සෑම දෙනාටම බලපාන මානව අයිතිවාසිකම් සුරැකෙන්නේ එතුළින් පමණයි.

මිනිසුන් මිනිසුන් අතර ඇතිවන නඩුවලදී පොලිසිය අපරාධකරුවන් කෙරෙහි පවරන නඩුවලදී රජය පුරවැසියන්ට එරෙහිව පවරන නඩුවලදී වගේම මූලික අයිතිවාසිකම් නඩුවලදී ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව යුක්‌තිය පසිඳලනු ලබන විනිසුරුවරුන්ගේ අපක්‍ෂපාතීත්වයයි.

පzශ්නය - අධිකරණයේ ස්‌වාධීනත්වය පිළිබඳ ජනතා විශ්වාසය අභියෝගයට ලක්‌වූ අවස්‌ථා පසුගිය කාලයේ දක්‌නට ලැබුණා. එහිදී අසන්නට ලැබුණු මූලික කතාවක්‌ තමයි දේශපාලන අධිකාරියේ බලපෑම මෙවැනි තත්ත්වයන් ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර - වර්තමාන සමාජයේ සිදුවන අපරාධ දූෂණ ස්‌වභාවයන් අනුව ඒවා ඉතා සංවේදී ඒවා වෙනවා. ජනමාධ්‍ය තුළින්ද ඒවා කෙරෙහි පුළුල් ප්‍රචාරයක්‌ ලබා දෙනු ලබනවා. බොහෝ නඩු විභාගයන්වල සාක්‌කි විමසීමේ සිට තීන්දු ලබා දීම දක්‌වා වාර්තා මාධ්‍යයන් තුළින් ප්‍රචාරය වෙනවා. ඒ කෙරෙහි ජනතා උනන්දුව ඉහළ යනවා. එහිදී විනිසුරුවරුන් ලබා දෙන තීන්දු යුක්‌ති සහගත සාධාරණ වුවහොත් ජනතාව අධිකරණය වෙත ගෞරවය පුද කරනු ලබනවා.

අද දවසේ සිදුවන බොහෝ අපරාධයන් දේශපාලනඥයන්ගේ අනු දැනුම හා අනුග්‍රහය ඇතිව සිදුවන ඒවා බවට පැහැදිලි කරුණක්‌. සමහර විට අධිකරණය ඉදිරියේ නීතිපතිවරයා ගොනු කළ චෝදනා පත්‍රයක, අපරාධ ස්‌වභාවය හෝ සාක්‌කි පිළිබඳව නොසලකා හැරීමක්‌ සිදුකර ඉවත් කර ගත් අවස්‌ථා බොහෝ තියෙනවා.

ඇතැම් චෝදනා පත්‍ර සංශෝධනය වීම්ද සිදුවෙනවා. එවැනි අවස්‌ථාවක විනිසුරුවරයකුට ඒ කෙරෙහි ඉඩ නොදී සිටීමට හැකි වුවද ක්‍රියාත්මක වීමේදී සම්බන්ධිත ආයතන සමඟ ගැටුම් ඇති කර ගැනීමට ඔවුන් අකමැත්තක්‌ දක්‌වනු ලබනවා. නඩුව පවරපු අයම නඩු ඉල්ලා අස්‌ කරගැනීමට යන්නේනම් ඒ සම්බන්ධයෙන් ඉඩදෙනවා මිස වෙන විකල්පයක්‌ ඇත්තේ නෑ. සමහරවිට සාක්‌කිකරුවන්ට බලපෑම් කර බිය වද්දා නඩු විභාගවලදී ඔහුගේ පෙර ලබා දුන් කටඋත්තර වෙනස්‌ කිරීම්ද සිදු වෙනවා. හඳුනාගැනීමේ පෙරට්‌ටුවලදී වුවමනාවෙන්ම හඳුනා නොගන්නා අවස්‌ථා තියෙනවා. එවැනි අවස්‌ථාවලදී අධිකරණයට කළ හැකි විකල්පයක්‌ ඇත්තේa නෑ. අධිකරණයට කළ හැක්‌කේ නියෝග නිකුත් කිරීම පමණයි. එම නියෝග නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇත්තේ රජයට. එනම් පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව වෙත.

ප්‍රශ්නය - දේශපාලන අධිකාරිය වසර 6 න් හෝ 5 න් හෝ වෙනස්‌ වෙනවා. අධිකරණ පද්ධතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි. දේශපාලන පෙළඹීමක්‌ කෙරෙහි අධිකරණය යටත් වුවහොත් එය එහි ස්‌වාධීනත්වයට බලවත් පහරක්‌ වෙනවා නේද?

පිළිතුර - ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ යන ත්‍රිවිධ ස්‌ථම්භ එකිනෙක පරයා නොයා යුතු බවට පිළිගැනීමක්‌ පවතිනවා. විනිසුරුවරයකු ඔහුගේ වයස සම්පූර්ණවී විශ්‍රාම යන තෙක්‌ සේවයේ යෙදී සිටිය යුතුයි. විධායකය, ව්‍යවස්‌ථාදායකය කලින් කලට නැවත පත්වීමක්‌ හෝ නොවීමක්‌ සිදුවිය හැකියි. එහෙත් නීතියේ ආධිපත්‍යට නොකඩවා වෙනස්‌වීමකින් තොරව පවතින දෙයක්‌. එනිසායි විනිසුරුවරයකුට පුද්ගල විශේෂතාවක්‌ නැති බව පැවැසුවේ. විනිසුරුවරයා මිනිස්‌ අයිතිවාසිකම් සුරැකීමට බැඳී සිටින්නෙක්‌. නීතිය හමුවේ සියලු දෙනා එක සමානයි. සැමදෙනා එයට යටත් විය යුතුයි.

අද පාලක පක්‍ෂය හෙට විපක්‍ෂය විය හැකියි. හෙට විපක්‍ෂයට පාලන බලය හිමි විය හැකියි. එහෙත් අධිකරණයට හා විනිසුරුවන්ට එයත් සමඟ වෙනස්‌ විය නොහැකියි. එය නොවෙනස්‌ව නොකැඩී පවතින ස්‌ථම්භයක්‌ වෙනවා. අධිකරණයත් කලින් කලට වෙනස්‌ වන පක්‍ෂ පාට සමඟ වෙනස්‌ වන්නට ගියහොත් නැති වන්නේ මානව ජයග්‍රහණයේ එක්‌ ඵලයක්‌ වන ප්‍රජාතන්ත්‍රවාදයයි. එය මානව අයිතිවාසිකම් විනාශ කිරීමක්‌ වෙනවා.

ප්‍රශ්නය - අධිකරණයේ දක්‌නට ලැබෙන සුලබ දෙයක්‌ තමයි නඩු කල් යැම. ඇයි එහෙම තත්ත්වයක්‌ නිර්මාණය වී ඇත්තේ?

පිළිතුර - ලංකාවේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ජනගහනයෙන් බෙදා බැලුව හොත් ලක්‍ෂයකට එක්‌ අයෙක්‌ පමණ වෙනවා. නමුත් ජනතාවගේ සෑම කෙනකුටම නඩු නෑ. නඩු තියෙන පිරිස දෙස බලන විට විනිසුරුවරුන්ට යම් කාලයක්‌ තුළ එම නඩු අසා නිම කිරීමට අපහසුතාවක්‌ ඇත්තේ නෑ. ඒ සඳහා ගත කරන කාලය දීර්ඝ වීමට බලපාන හේතු කීපයක්‌ මතුවෙනවා.

ස්‌වභාවික යුක්‌ති ධර්මයට අනුව දෙපාර්ශ්වයන්ටම කන්දිය යුතුයි යන න්‍යාය අනුව නඩුවක්‌ විභාග කිරීමේදී ප්‍රධාන වගකීම පවතින්නේ පැමිණිලි පාර්ශ්වයට. සමහර නඩුවලදී සාක්‌කිකරුවන් විශාල ප්‍රමාණයක්‌ සිටින අවස්‌ථා දක්‌නට ලැබෙන අතර පැමිණිල්ලේ සාක්‌කි අවසන් වූ පසු විත්තිකරුටද ඔහුගේ නිදහස වෙනුවෙන් සාක්‌කි කැඳවීමට අවස්‌ථාව ලබාදිය යුතුයි. එහිදී විත්තිය වෙනුවෙන් ද සාක්‌කි කැඳවීමක්‌ හෝ විත්ති වාචිකයක්‌ හෝ කිසිවක්‌ නොකර සිටීමක්‌ කළ හැකියි. ඒ සඳහා කාලයක්‌ ගත විය හැකියි. එය ඉවත දැමිය හැකි කරුණක්‌ නොවේ.

අපරාධ නඩුවකදී බොහෝ දුරට වෙනත් රටවල නම් විමර්ශන අවසන් කර නඩු පැවරීමක්‌ සිදු කළත් ලංකාවේ සිදුවන්නේ සැකයට අත්අඩංගුවට ගෙන විමර්ශනයට බොහෝ කාලයක්‌ ගත කිරීමක්‌. එහිදී ද නඩු විභාගයක්‌ සඳහා කාලයක්‌ ගත වන බවක්‌ පෙනෙන්නට තිබෙනවා.

රස පරීක්‍ෂක වාර්තා වැනි නඩුවකදී අත්‍යවශ්‍ය වාර්තා අධිකරණය වෙත ලැබෙන්නේ වසර ගණනාවක්‌ ගිය පසුව. එම ආයතනවලින් ලබාදිය යුතු වාර්තා ඉක්‌මනින් ලබාදීමට තරම් නවීකරණය වී ඇති බවක්‌ දක්‌නට ලැබෙන්නේ නෑ.

නඩු පමා වීමට බලපාන ප්‍රධාන කරුණක්‌ වන්නේ විමර්ශනවලට අදාළ නීතිපති උපදෙස්‌ ලබාදීමේ ඇති ප්‍රමාදයයි. ඇතැම් නඩුවල නීතිපති උපදෙස්‌ ලැබී අධිචෝදනා ගොනු කිරීමට වසර ගණනාවක්‌ ගත වෙනවා.

එසේම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කලින් ලබාගත් නඩු විභාගයන් පවතින බව පවසමින් අධිකරණයෙන් දින ඉල්ලා සිටීම් ද බොහෝයි.

සිවිල් නඩුවලදී අවශ්‍ය මිනින්දොaරු වාර්තා, ඉඩම් මැන පිඹුරුපත් සකස්‌ කර ඒවට කාලයක්‌ ගත වන බැවින් හා එම නඩුවල අතරමැදි අවස්‌ථාවලදී පුද්ගල මැදිහත්වීම්වලට ඉඩ දෙමින් ඔවුන්ගේ අයිතිය දැක්‌වීම නඩු කල් යන අවස්‌ථාවක්‌ වෙනවා.

විනිසුරුවරුන් නිවාඩු යැම හෝ අසනීප තත්ත්වයන් නිසා නොපැමිණීම නිසා ද නඩු විභාගයන්ට කාලයක්‌ ගත වෙනවා.

බොහෝ අපරාධ නඩුවල නිල සාක්‌කිකරුවන් වන්නේ පොලිස්‌ නිලධාරීන්. මෑතකදී සිට එම නිල සාක්‌කිකරුවන්ව දේශපාලනඥයින්ගේ විවිධ රාජකාරීන්ට හා උත්සව අවස්‌ථාවන්ට යොදාගැනීම නිසාද නඩු කල් යන බවක්‌ දක්‌නට ලැබෙනවා.

විනිසුරුවරුන් නඩු අසා නිම කිරීමට මහන්සි ගත්තද, ඔවුන්ගේ නොපැමිණීම නඩු විභාගයන්ට මහත් බාධාවක්‌. පොලිස්‌ නිලධාරීන් නියම කළ පරිදි පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කළ ද ඔවුන් පැමිණ පවසන්නේ ඉහළ නිලධාරීන්ගේ නියමයන් පරිදි අසවල් දේශපාලනඥයාගේ අසවල් උත්සවයේදී ප්‍රභූ ආරක්‍ෂක සේවයට යොදවා සිටි බවයි.

පzශ්නය - විවිධ ක්‍ෂේත්‍රවල අත්දැකීම් බහුල විශ්‍රාමික ප්‍රවීණයන් එම ක්‍ෂේත්‍ර ගැන කතා කරනවාට වඩා දෙයක්‌ කළ හැකිනේද?

පිළිතුර- සමාජ සාධාරණත්වය, යහ පාලනය පිළිබඳව සමාජ කථිකාවතක්‌ කෙරෙහි යොමු විය යුතු කාලය පැමිණ තිබෙනවා. එය අන් කවරදාටත් වඩා අද වැදගත් කරුණක්‌ ලෙසින් ඉස්‌මතු වෙනවා. අධිකරණ ක්‍ෂේත්‍රය පිළිබඳව පමණක්‌ නොවෙයි ධර්මය, සාහිත්‍යය, ඉතිහාසය, අපේ උරුමය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ යුතුයි.

ජනතා වේදිකාවක්‌ තුළින් රටට වැඩදායී මෙහෙවරක්‌ පිළිබඳ අදහස්‌ ගොනු කිරීමක්‌ කර ඉදිරිපත් කිරීමක්‌ කළ හැකියි. ජපානය වැනි රටවල විවිධ ක්‍ෂේත්‍රවල වැඩිහිටි ප්‍රවීණයන් මසකට වරක්‌ හෝ දෙවරක්‌ විවිධ ලෙසින් එක්‌රැස්‌ වී සාකච්ඡා කර ඒ අය දරන මත හා යෝජනා රජය වෙත දන්වා සිටිනවා. ඒවාට එම රජයන් ඇහුම්කන් දෙනවා.

නමුත් අවාසනාවකට අපේ රටේ එහෙම තත්ත්වයක්‌ නිර්මාණය වී නෑ. කතා කරන අයත් කතා කරන්නේ දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීමට. මුලින් විවිධ සංවිධාන ලෙසින් ජනතාවගේ අවධානයට යොමු වෙලා දේශනා කරලා අන්තිමේදී නතර වන්නේ කවුරුහරි දේශපාලනඥයෙක්‌ගේ ඔඩොක්‌කුවේ. බලන්න බෞද්ධ ස්‌වාමීන් වහන්සේලා මුලින් බණ කියලා විවිධ මාධ්‍යවලින් ප්‍රසිද්ධියට පත්වෙලා පස්‌සේ රටේ ප්‍රශ්නත් කතා කරනවා. ඒක හොඳයි. අන්තිමේදී ඒ ස්‌වාමීන් වහන්සේත් මෙන්න ඡන්දය ඉල්ලන් එනවා. නැතිනම් කාගේ හරි උපදේශකයෙක්‌ වෙනවා.

ඒ වගේම තමයි මොන විධියේ ප්‍රවීණයන් කතා කළත් වැඩක්‌ නෑ. ඒ හඬට ඇහුම්කන් දෙන්න පුළුවන් වුවමනාවක්‌ ඇති පාලකයන් සිටිය යුතුයි. ඒකයි වැදගත්ම කාරණය. කවුරුන් හෝ පිරිසක්‌ එකමුතුව සිදුවන හෝ සිදුවිය හැකි යම් කරුණක්‌ ගැන කතා කළොත් පාලකයන් හිතන්නේ ඒ අයට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා කියලයි.

විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ හඬ රටේ වැදගත් තීරණවලදී ප්‍රධාන සාධකයක්‌ කර ගත හැකි ප්‍රබල සංවිධානමය ව්‍යqහයක්‌ නිර්මාණය කළ යුතුයි.

ප්‍රශ්නය - ඔබ අවසන් නඩු තීන්දුවේදී කියා තිබුණා වැරදි තීරණයක්‌ දුන්නොත් අපාගත වන බව. බුදු දහමේ කර්ම පල විපාක පිළිගන්නවාද?

පිළිතුර - අනිවාර්යයෙන්ම පිළිගන්නවා. කර්මය කියන්නේ හේතුඵලවාද සමග එන්නක්‌ ලෙසින් දැක්‌විය හැකියි. ඕනෑම ආගමක පදනම එයයි. හොඳක්‌ කළොත් පින හිමිවෙනවා. නරකක්‌ කළොත් පව හිමිවෙනවා. විනිසුරුවරුන්ට පමණක්‌ නොවෙයි ඕනෑම ක්‍ෂේත්‍රයක ඉන්නා සෑම සියලු දෙනාටම මෙය පොදුයි. තමන්ගේ හෘදය සාක්‌ෂියට අනුව කටයුතු කරනවා නම් ඉදිරිය ගැන හෝ ඊළඟ ආත්මය ගැන බයක්‌ ඇතිවන්නේ නෑ. ජීවිතේ අන්තිම මොහොතේ පමණක්‌ නොවෙයි ඕනෑම වෙලාවක නිවී සැනසිල්ලේ ඇස්‌ දෙක පියාගෙන සමාධිගත වෙන්න පුළුවන් තමාගෙන් කිසිවකුට අගතියක්‌ අකටයුත්තක්‌ සිදුවුණේ නෑ කියලා. අද ගොඩක්‌ අයට ඇත්තේම නැත්තේ අන්න ඒ සැනසීමයි. කාට බොරු කළත් තමන්ගේ හෘදය සාක්‌ෂියට බොරු කරන්න බෑ. එහෙම කළොත් මේ ආත්මේදි විතරක්‌ නොවෙයි භවයේ සැරිසරන තෙක්‌ එයින් ගැලවීමක්‌ නෑ.

සාකච්ඡා කළේ
සමන්ත ඉලේපෙරුම

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.