ජිනීවා යෝජනාව ගැන කෝපයට පත්නොවී
උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ
නිර්දේශ ක්‍රියාත්මක කිරීම යුතුකමක්‌

එජාපය කියයි

චමින්ද සිල්වා

ජිනීවා යෝජනාව පිළිබඳව කෝපයට පත්වීමට හෝ ජාත්‍යන්තරයට එරෙහිව කෑගැසීම් සිදුනොකර උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම රජයේ යුතුකමක්‌ යෑයි එක්‌සත් ජාතික පක්‍ෂය කියා සිටී.

ආණ්‌ඩුව විසින් පසුගිය දෙසැම්බර් මස පාර්ලිමේන්තුවට ඉහත කොමිසමෙහි වාර්තාව ඉදිරිපත් කර කල් නොමරා එය ක්‍රියාත්මක කිරීමට මුලපිරුවානම් ජාත්‍යන්තරයට මෙවැනි යෝජනාවක්‌ ගෙන ඒමට අවකාශ ලැබෙන්නේ නැතැයිද එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා ආණ්‌ඩුව මූලිකත්වය ගෙන ක්‍රියා කළයුතු බව එම කොමිසම විසින් ද පෙන්වා දී ඇතැයි කී කරුණානායක මහතා සෑම විටම රට වෙනුවෙන් ක්‍රියා කරන එක්‌සත් ජාතික පක්‍ෂය එවැනි අවංක ක්‍රියාදාමයකට පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවද කීය. එහෙත් ආණ්‌ඩුව යළි යළිත් සිය පෞද්ගලික අභිමතාර්ථ හා පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රියා කරන්නේ නම් රටේ අනාගතය තව තවත් අඳුරු වීම වළක්‌වාලනු නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.