ජීවිතයට වර්ණ දෙන "හෝලි"

ලොව පුරා ජනතාව එක්‌ එක්‌ දේ තේමාකරගෙන විවිධ, පුදුම උත්සව සංවිධානය කරනවා. රටේ සංස්‌කෘතිය විදහාලීමට, ආගමික සංකල්ප වෙනුවෙන්, විනෝදාශ්වාදයට ආදී කාරණා මේ වැනි උත්සව පැවැත්වීමට ප්‍රධාන ලෙසට හේතු පාදක වනවා. ඉන්දියාව යනු මේ ආකාරයේ උත්සව වලින් පිරුණු රාජ්‍යයක්‌. විවිධ ආගම්, විවිධ ජනවර්ග, විශ්වාසයන් ආදිය අධිකව පැතිරී තිබීම මේ උත්සව පිරී ඉතිරීමට හේතු කාරනා වන බවට විශ්වාස කළ හැකියි. ඉන්දියාවේ පැවැත්වෙන උත්සව අතර 'හෝලි' (Holi) උත්සවයට හිමිවන්නේ විශේෂිත තැනක්‌.

'හෝලි යනු ආගමික පසුබිමක්‌ ඇති උළෙලක්‌. මෙය ස්‌මරණය කරන්නේ හින්දු ජාතිකයන් විසින්. "වසන්තය" අලංකාර කරන මේ උත්සවය වර්ණයන්ගෙන් පිරි උළෙලක්‌ (Festivel of Colours) ලෙසටයි හඳුන්වන්නේ. ඉන්දියාවේ හින්දූන් පමණක්‌ නොව නේපාලය, පාකිස්‌ථානය, මලයාසියාව, දකුණු අප්‍රිකාව, එක්‌සත් රාජධානිය, ගයනාව ආදී රටවලද 'හෝලි' උත්සවය සංවිධානය වෙනවා. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල 'හෝලි' උළෙල 'දොලියාත්‍රා' (Dolyatra) 'බසන්ට්‌ - උත්සව' (Basonta-Utsav) ආදී නම් වලින්ද හඳුන්වනවා. සමස්‌ත ඉන්දියාව පුරාම අති උත්කර්ශවත් ලෙස මෙය සැමරුවත් මෙහි ප්‍රධානතම සැමරුම දක්‌නට ලැබෙන්නේ 'බ්‍රා-' (Braj) ප්‍රදේශයේ එම පළාත ක්‍රිශ්නා දෙවිඳුන්ගේ ජීවිතය හා සම්බන්ධ බවට හින්දූන් තරයේම විශ්වාස කිරීම එයට හේතුවයි. විශේෂයෙන්ම මතුරා (Mathura)ල විරින්දවන් (Vrindavan) නන්දගාන් (Nandagaon) සහ බර්සනා (Barsana) යන ග්‍රාමයන්වල හෝලි උළෙල ඉතා ජයටම සමරනවා. මේ පළාත් එම කාල සීමාවලදී දේශීය ජනතාව මෙන්ම විදේශිකයන්ගෙන්ද පිරී ඉතිරි යන බවට වාර්තාවල සඳහන්.

'හෝලි' වර්ණයන් හා සම්බන්ධ උත්සවයක්‌. මෙහිදී පුද්ගලයින් විවිධ පැහැති වර්ණ පිටිවලින් එකිනෙකාට ගැසීම. තැවරීම මෙන්ම වර්ණ ජලයෙන් එකිනෙකා නැහැවීම සිදු කරන අයුරු දක්‌නට පුළුවන්. හෝලි උත්සවය පෙබරවාරි හෝ මාර්තු මාසයේදී තමයි පැවැත්වෙන්නේ. මේ වර්ෂයේ එය සැමරුවේ මාර්තු 08 වැනිදා. සාමාන්‍යයෙන් දින 3 සිට දින 16 ක්‌ පමණ කාලයක්‌ හෝලි උත්සවය සමරනු අයුරු දැක ගන්නට පුළුවන්.

'හෝලි' උත්සවය දේවකතා සහිත්‍යයට සම්බන්ධයි. මෙහිදී ගිනිමැලයක්‌ ගසනු ලබනවා. සිසිර සෘතුවේ අවසානයේ ඉතිරිවන වියළුණු දර මේ සඳහා යොදා ගන්නා බවට සඳහන්. මෙමගින් උදාවන වසන්තය හොඳින් ගොඩනැගෙන බවටද ඔවුන් විශ්වාස කරනවා. ගින්න සංකේතවත් කරන්නේ අයහපත් දේ විනාශ කිරීමයි. මේ ගින්නට මනඃකල්පිත නිර්මාණයක්‌ වන "හොලිකා" (Holika)නම් චරිතයද දමනු ලබනවා.

හෝලි යන නාමය මෙයට ලැබී ඇත්තේ 'හොලිකා' (Holika) යන්නෙන් බවට සඳහන්. වාර්තාවල සඳහන් වන ආකාරයට ඉන්දියාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට හෝලි උත්සවය සැමරීම සිදුවන්නේ එක්‌ එක්‌ ආකාරයටයි. හෝලි උත්සවයේ ආරම්භය ගැන නිශ්චිත හේතුවක්‌ නොමැති මුත්, විවිධ ඉතිහාස කතා රැසක්‌ මේ හා සම්බන්ධව පවතිනවා. ආර්ය ජාතිකයින් මෙය මුලින්ම සැමරූ බවටද වාර්තාවල සඳහන්. හෝලි උත්සවය විවාහක කාන්තාවන් තම පවුලේ ශුභ සිද්ධිය උදෙසා පුර සඳ නමදිමින් කරනු ලබන අවස්‌ථා ගැනද සමහර හෝලි ඉතිහාස කතා පිරික්‌සීමේදී දක්‌නට පුළුවන්. වේද ග්‍රන්ථවල මෙන්ම පූර්ණයන් වලද 'හෝලි' පිළිබඳව දක්‌වා තිබෙනවා. මේ ගැන නාරද් (Narad) පූර්ණයේ සහ බවිස්‌සා (Bhavishya) පූර්ණයේ සඳහන් වනවා. එසේම පැරණි විහාර සහ දේවාලවල ඇති මූර්ති සහ සිතුවම් මගින්ද 'හෝලි' පිළිබඳ විවිධ සිදුවීම් වාර්තා කරනවා.

එක්‌ හින්දු දේවස්‌ථානයකට අනුව පැරණි කාලයේ 'හිරන්‍යකාශිපු' (Hiranyakashipu) නමින් දරුණු රජ කෙනෙක්‌ ඉඳ තිබෙනවා. ඔහුගේ පුත්‍රයා වන 'ප්‍රලාද්' (Prahlad) යනු විෂ්ණු දේව භක්‌තිකයෙක්‌. මේ පිළිබඳව රජුගේ ඇත්තේ දැඩි අකමැත්තක්‌. වරක්‌ රජු තම පුතුගෙන් 'තමාද ශ්‍රේෂ්ඨ එසේ නොමැති නම් දෙවියන්ද' යන පැනය අසනවා. ප්‍රලාද් මෙහිදී ඔබ නිකම් රජු පමණක්‌ බවත් දෙවියන් ශ්‍රේෂ්ඨයි යනුවෙන් පිළිතුරු දෙනවා. මෙයින් කිපුණු මේ දරුණු රජු පුත්‍රයා මරා දැමීමට සිතනවා. ඒ වෙනුවෙන් නොයෙකුත් උපක්‍රමද යොදනවා. නමුත් මේ කිසිවක්‌ සාර්ථක වන්නේ නැහැ. ඉන්පසුව රජතුමා පුත්‍රයා මැරීමට තම සොහොයුරිය වන 'හොලිකා' (Hokika) හට බාර දෙනවා. හොලිකා විශාල ගින්නක්‌ නිර්මාණය කර එයට පුතු දමා පිලිස්‌සීමට උපක්‍රම යොදනවා. නමුත් ප්‍රලාද් එයින් ගැලවෙන අතර හොලිකා ගින්නට හසුවනවා. මෙය සංකේතවත් කිරීම නූතන හෝලි උත්සවයේද දක්‌නට පුලුවන්. එසේම දේව පෙම්වතුන් වන රාධා-ක්‍රිෂ්ණා ආදරය සැමරීමටද හෝලි උත්සවය යොදා ගන්නවා.

හෝලි උත්සවය ඉන්දියානුවන් ඉතාමත්ම සමගියෙන් සමරනු ලබන්නක්‌. ජාති බේද, කුල බේද නොසලකා සියලුදෙනා එක්‌ව මහාමාර්ගවල මේ උළෙල සමරනු දක්‌නට පුළුවන්. මේ කාලයේදී වර්ණ පිටි මාර්ගවල විකුණන ආකාරයද දැකිය හැකියි. පරිසරවේදීන් සඳහන් කරන ආකාරයට හෝලි උත්සවයට දැල්වෙන විශාල ගිනිමැල නිසා විශාල පරිසර හානියක්‌ සිදුවෙනවා. සාමාන්‍යයෙන් එක්‌ හෝලි උත්සවයක්‌ වෙනුවෙන් ගිනිමැල 30,000 ක්‌ පමණ දල්වන අතර එකක්‌ සඳහා දර කිලෝ 100 ක්‌ පමණ වැයවනවා. මෙය වනාන්තර විනාශයට සෘජුවම බලපාන බවට පරිසරවේදීන් ප්‍රකාශ කරනවා.

කුමුදු අබයදීර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.