කිඹුල්ලුත් ජීවත්වන මිනිස්‌සුත් ජීවත්වන විසඳුමක්‌!

මාතර නිල්වලා ගඟේ කිඹුලකුට බිලි වූ පාලටුව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන 17 හැවිරිදි කේ. ජී. නුවන්තිකා දැරියගේ මරණයත් සමඟ නිල්වලා ගඟේ කිඹුලන් ඇල්ලීමට වහාම මෙහෙයුමත් ක්‍රියාත්මක කරන බව මාතර දිස්‌ත්‍රික්‌ ලේකම්වරිය පැවසූ බව ඊයේ (06 දා) "දිවයින" වාර්තා කළේ ය. නිල්වලා ගඟේ සිටින කිඹුලන් ප්‍රමාණය ගණනය කර නැති බවත් කිඹුලියක වරකට බිත්තර සියයක්‌ පමණ දමන බවත් පවසන ඇය කියා සිටින්නේ කිඹුලන් සියල්ලම අල්ලා දෙහිවල සතුන් වත්තට බාර දෙන බවත් ය.

මේ ප්‍රකාශය මර්වින් සිල්වා ඇමැතිතුමා කළේ නම් අපට වගක්‌ නැත. එහෙත් ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් යම් අවබෝධයක්‌ ලබා සිටින රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරිනියක ලෙස මෙබඳු ප්‍රකාශයක්‌ කිරීමේදී දෙවරක්‌ සිතා බැලිය යුතු බව අපි ලේකම් තුමිය ට යෝජනා කරමු. ඒ අතරම කිඹුලන් අල්ලන මෙහෙයුම පිළිබඳ ලබන සඳුදා සියලු වගකිවයුත්තන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක්‌ පවත්වන බවට ඇය කරන ප්‍රකාශයට අපි ස්‌තුති කරමු. නමුත් නිල්වලා ගඟේ සිටිනා සියලු කිඹුලන් අල්ලා දෙහිවල සතුන් වත්තට ගෙනැවිත් දැමීම කෙතරම් ප්‍රායෝගික ප්‍රකාශයක්‌ ද යන්න සිතා බලන්නැයි ඇයගෙන් ඉල්ලීමක්‌ කළ යුතු වෙයි. ගඟේ සියලු කිඹුලන් දෙහිවලට ගෙන එන්නට අවශ්‍ය ම නම් නිල්වලා ගඟේ සිට දෙහිවල සතුන් වත්ත දක්‌වා දිය අගලක්‌ කැපීම නරක දැයි ඇයට යෝජනා කරන්නට අපට සිතෙයි.

කිඹුල් - මිනිස්‌ ගැටුම්වලට පමණක්‌ නොව අලි - මිනිස්‌ ගැටුම්වලටත් නිsසි විසඳුමක්‌ දීම බලධාරීන්ගේ වගකීම කි. එහෙත් එබඳු සිදුවීමක බරපතළකම හා ඒ සඳහා ලැබෙන මාධ්‍ය ප්‍රචාරය මත පමණක්‌ විසඳුම් සොයන්නට කුලප්පු වන බලධාරීන් ට දින කීපයකින් ඒ සියල්ල අමතක වී යැම මේ රටේ ම අවාසනාව කි.

තිරිසන් සතුන් හා මිනිසුන් අතර ඇතිවන ගැටුම්වල දී මිනිසාට මිස තිරිසනාට වගකීම් පවරන්නේ නැත. මෙය ශිෂ්ටාචාරගත සමාජයක ආචාර ධර්මය කි. එහෙත් නිල්වලා ගඟේදී කිඹුලාට බිලි වූ දැරිය සම්බන්ධ සිදුවීම මුල්කොටගෙන ඇතැම් පුවත්පතක්‌ කිඹුලන්ට වගකීම පැවරීම ට යන අයුරු දකින්නට ලැබීම හාස්‍යය ට කාරණයකි. තිරිසන් ජීවිතය ක ට වඩා මිනිස්‌ ජීවිතය ක වටිනාකම වැඩි බව සැබෑවක්‌ වුවත් "බල්ලෙක්‌ මිනිහෙක්‌ සපාකෑවාට මිනිහෙක්‌ බල්ලෙක්‌ සපා කන්නේ නැත."

කොහොම වෙතත් නිල්වලා ගඟ අසබඩ දිවි ගෙවන ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කරගැනීම සඳහා යම් පියවරක්‌ ගැනීම බලධාරීන්ගේ වගකීම කි. නියං සමය හේතුවෙන් ළිං සිඳී යන නිසා තම එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට නිල්වලා ගඟ සමඟ ගනුදෙනු කිරීමට මේ ජනතාවට සිදුවෙයි. එසේ නම් ඊට යම් විසඳුමක්‌ සෙවීම කිඹුලන් අල්ලා දෙහිවලට ප්‍රවාහනය කිරීමට වඩා ප්‍රායෝගික නොවේදැයි බලධාරීන් කල්පනා කළ යුතු ය. එහෙත් මේ ජනතාවට ආරක්‍ෂිතව ගඟ සමඟ ගනුදෙනු කිරීමට ඉඩ සැලසෙන කිඹුල් කොටු ටිකවත් ශක්‌තිමත් ව සකස්‌ කිරීමට සමත් වී නොතිබීමෙන් මේ ප්‍රශ්නය කෙරේ බලධාරීන්ගේ අවධානය තක්‌සේරු කළ හැක.

පසුගිය වසර තුළදී පමණක්‌ කිඹුලන්ට ගොදුරු වී මියගිය ප්‍රමාණය 25 ක්‌ බව වාර්තා වෙයි. මෙය සැලකිය යුතු තත්ත්වකි. එහෙයින් එයට නිවැරැදි මෙන්ම විද්‍යාත්මක ද වන විසඳුමක්‌ සෙවිය යුතු ය. ඊට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශයක්‌ මහාචාර්ය ඇන්ස්‌ලම් ද සිල්වා මහතා ඊයේ (06 දා) "දිවයිනේ"ම කර තිබිණි. කිඹුලන් ගොදුරක්‌ කරා එන්නේ දින, සති හෝ මාස ගණන් නිරීක්‍ෂණය කිරීමෙන් වන හෙයින් ඇළ, දොළ, ගංගා ආශ්‍රිත ඒකාකාරී දිවි පෙවෙත වෙනස්‌ කිරීමෙන් හා සැලකිලිමත්ව විසීමෙන් අනතුරු අඩු කරගත හැකි බව මහාචාර්යවරයා කියයි. මෙය සතුන් හා මිනිසුන් අතර පාරිසරික සහජීවනය වර්ධනයට හොඳ යෝජනාව කි. එහෙත් නුවන්තිකා දැරිය පිළිබඳ සිදුවීම හා සලකා බලන විට ගඟක ට බැසීම ට පෙර සැලකිලිමත් වීම කළ හැක්‌කක්‌ වුවත් ඒකාකාරී දිවි පෙවෙත වෙනස්‌ කිරීම කොයි තරම් ප්‍රායෝගික තත්ත්වයක්‌ ද යන්න ගැටලුවකි.

එහෙයින් අප යෝජනා කරන්නේ නිල්වලා ගඟේ සිටින කිඹුලන් අල්ලා දෙහිවල ගෙන යැමටත්, කිඹුලන්ගේ නිරීක්‍ෂණයට හසු නොවන දිවිපෙවෙතක්‌a සඳහා ජනතාව හුරු කරවීමටත් වඩා ප්‍රායෝගික විසඳුම කි. එනම් මේ අනතුරුදායක ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීමට පහසු වන පරිදි යටිතල පහසුකම් ක්‍රමවත් කිරීමට බලධාරීන් මැදිහත්විය යුතු බව ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.