දුම්බර ලෝක උරුමය හෝටල් සදා කෙලෙසයිද?

ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32% ක්‌ පමණ වන දුම්බර (නකල්ස්‌) අඩවියේ මුළු ලොවින් ම මෙහි පමණක්‌ වාර්තා වන ශාක විශේෂ 6 ක්‌, පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 16 ක්‌ හා අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 5 ක්‌ වෙති. එපමණක්‌ නො ව මහවැලි ගඟේ පෝෂක බිම් අතුරින් 30% ක්‌ ආවරණය වන්නේ ද දුම්බර අඩවියෙනි. එවන් සුවිශේෂත්වයක්‌ හිමි දුම්බර අඩවියේ ආරක්‌ෂාව තහවුරු කිරීම සිදු කළ යුතු අවධියක දුම්බර අඩවිය පුරා හෝටල් ඉදිකරමින් දුම්බර අඩවිය වැනසීමේ මහා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක වේ. එහෙත් -නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයේ භාරකරුවන වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව හා -නකල්ස්‌ පරිසර ආරක්‌ෂක ප්‍රදේශයේ, භාරකරු වන මධ්‍යම පරිසර අධිකාරිය දුම්බර අඩවිය වනසන්නන්ට රිසිසේ ක්‍රියා කිරීමට ඉඩ දී නිද්‍රdශීලී ව සිටිති. එහි ප්‍රතිඵලය වන්නේ අද වන විට දුම්බර අඩවියේ සෑම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ම හෝටල් ඉදිකිරීම ය.

මේ මොහොතේ පවා දුම්බර අඩවියේ ජෛව ප්‍රජාවටත් අනාගත පැවැත්මටත් බලපෑම් ඇති වන ආකාරයෙන් දුම්බර අඩවිය පුරා තැනින් තැන සංචාරක හෝටල් ගණනාවක්‌ ඉදි කර තිබේ. තවත් හෝටල් ගණනාවක්‌ ඉදි කරමින් පවතී. නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරය තුළ ගීරිස්‌වත්ත, කොස්‌ගොල්ලවත්ත, කෝබට්‌ගැප්, අට්‌ටලවෙට්‌ටුව (තංගප්පුව මාර්ගයේ), ගෝනමඩවත්ත (රිවස්‌ටන් ප්‍රදේශයේ), පතන හා සුදුගල යන නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයට පවරා ගැනීමට නියමිත ප්‍රදේශයන්හි මේ වන විට ද හෝටල් ඉදිකර තිබෙනු දැක ගත හැකි ය.

පිටවල, ගෝනමඩවත්තේ අක්‌කර දෙකක භූමියක ඉදිකර ඇති හෝටලය හා එA ආශ්‍රිත වනාන්තර ඉඩම් නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයට පවරා ගැනීමේ කටයුතු නතර කිරීම සඳහා ඉඩම් අමාත්‍යංශය මගින් ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 50 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට (හිටපු ඉඩම් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින්) ඇති බලතල භාවිත කරමින් පවරා ගැනීමේ කටයුතු නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙය සංරක්‌ෂණ කටයුතු සඳහා අහිතකර බලපෑම් ඇති කරන වැරැදි පූර්වාදර්ශ ලබා දීමකි.

ගීරිස්‌වත්තේ හෝටලය ඉදි කර ඇත්තේ පොලොන්නරුවේ රිළවුන් පිළිබඳ ව පර්යේෂණ සිදු කළ ආචාර්ය වුල්µ ඩිටස්‌ නම් විදේශිකයා ය. මහල් තුනකින් සමන්විත මේ හෝටලය විදේශීය පර්යේෂකයන් සඳහා ලබා දීමට නියමිත බව සඳහන් වේ. ඉතා සුවිශේෂී වනාන්තරයක්‌ ඇසුරේ මේ ආකාරයෙන් විදේශිකයකු පවත්වාගෙන යන හෝටලයකින් සිදු විය හැක්‌කේ කුමක්‌ ද? මෙමඟින් කවර ආකාරයේ ජාන සම්පත් අප රටින් පිටමං වනු ඇද්ද යන්න පිළිබඳ ව බලධාරීන් සිතා බැලිය යුතු ය.

පිටවල, ගෝනමඩවත්තේ පිහිටි මාතලේ, ව්‍යාපාරිකයකුට අයත් නිවාඩු නිකේතනය සමස්‌ත දුම්බර අඩවියට ම මහා හිසරදයකි. ඒ ඉඩම්වල මේ වන විට හෝටල් ඉදිකිරීම සිදු වෙයි. මෙහි දී රටේ ඉහළ ම පෙළේ අය ගේ නම් භාවිත කරමින් මේ ක්‍රියාවලියේ නිරත වනු පෙනෙයි. මේ නිසා දුම්බර අඩවියේ ඇටැන්වල වැනි සාම්ප්‍රදායික ගම්මානවල ජනතාව ගේ ජීවන පැවැත්මටත් දුම්බර අඩවියේ ජෛව ප්‍රජාව ගේ ජීවන පැවැත්මටත් බොහෝ බලපෑම් එල්ල වී ඇත. මෙම ව්‍යාපාරිකයා අයත් නිවාඩු නිකේතනයේ නැවතී සිටි පර්යේෂණ කණ්‌ඩායමක්‌ පසුගිය දා දුම්බර අඟ කටුස්‌සන් විශාල ප්‍රමාණයක්‌ වනාන්තරයෙන් එකතු කර තිබීමෙනි.

පිටවල, ගෝනමඩවත්තේ පිහිටි තවත් අක්‌කර 149 කින් යුත් වනාන්තර භූමිය හා ලග්ගල බංගලාව හෙවත් කොතලාවල බංගලාව නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයට පවරා ගැනීමේ කටයුතු නතර කිරීමට ද මහත් බලපෑම් සිදු වෙමින් පවතී.

කෝබට්‌ගැප් ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලයට විදේශීය සංචාරකයෝ නිරන්තරයෙන් පැමිණෙති. මෙ සේ පැමිණෙන විදේශිකයෝ අනවසරයෙන් සංරක්‌ෂණ වනාන්තර තුළට ද ඇතුළු වෙති. ඔවුන් එහි සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ ව සොයා බැලීමට වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් නිලධාරීන් නොමැත. මේ තත්ත්වය දැනට දෙගුණ තෙගුණ වී ඇත්තේ අලුතෙන් සංචාරක හෝටල් බොහොමයක්‌ දුම්බර අඩවිය පුරා පිහිටා තිබෙන නිසා ය.

සුදුගල ප්‍රදේශයේ ඉදිකළ හෝටලය පිහිටා ඇත්තේ දුම්බර අඩවියේ හොඳින් සැඟවගත් ප්‍රදේශයක ය. රත්තොට - ඉළුක්‌කුඹුර (බී 274 මාර්ගය) මාර්ගයේ 27 හා 28 කිලෝමීටර කණු අතරින් සුදුගල ප්‍රදේශය දක්‌වා විහිදී ඇති කරත්ත මාර්ගයේ කිලෝමීටර 8 ක්‌ පමණ දුරින් මාර්ගය අවසානයේ මේ හෝටලය පිහිටා ඇත. රෝයි ද සිල්වා යන අයට අයත් ව තිබූ රත්නින්ද, සුදුගල හෙක්‌ටයාර 21.915 ක්‌ වන ඉඩම හිටපු ගුවන් හමුදාපතිවරයා විසින් මිල දී ගනු ලැබ මේ විශාල හෝටලය ඉදි කරන ලදි. මේ ඉඩම ලග්ගල ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අනුව පවරා ගනු ලැබීමට නියෝග නිකුත් කළ ඉඩමකි. එවන් ඉඩමක කිසිදු ඉදිකිරීමක්‌ හෝ සංවර්ධන කටයුත්තක්‌ සිදු කළ නොහැකි වුවත් ගුවන් හමුදා සෙබළුන් ගේ ආරක්‌ෂාව යටතේ මේ හෝටලය ඉදි කළ අතර අද වන විට ද ඒ ප්‍රදේශයට කිසිවකුට ඇතුළු නොවිය හැකි ආකාරයට ආරක්‌ෂාව යොදා ඇත. මේ හෝටලයේ ප්‍රධාන පිවිසුම් මඟ වන රත්තොට - ඉළුක්‌කුඹුර මාර්ගයේ මෙම හෝටලය සඳහා නාම පුවරුවක්‌ ද ඉදි කර තිබේ. ඒ නාම පුවරුව යටින් -පරිසර මවු නිති සුරකිමු ලෙස සඳහන් කරමින් මේ හෝටලයෙන් දුම්බර අඩවිය වැනැසීම සිදු කැරේ. ඒ බව හොඳින් තහවුරු වන්නේ මේ හෝටලයට පිවිසීමට දුම්බර අඩවිය ඔස්‌සේ තවත් මාර්ගයක්‌ ලෙස කබරගල, නිකොලොය හරහා සුදුගල දක්‌වා මාර්ගයක්‌ වනාන්තර හා පතන් බිම් ඔස්‌සේ ඉදි කිරීමෙනි. නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින රටේ වගකිව යුතු පුද්ගලයන් ම තම බලය අයුතු ලෙස යොදවා නීති උල්ලංඝනය කරමින් මෙවන් දෑ සිදු කිරීම කනගාටුවට කරුණකි.

දුම්බර අඩවිය පුරා තැනින් තැන ඉදිවන සංචාරක නිකේතන හේතුවෙන් අනාගතයේ දී බොහෝ බලපෑම් වනාන්තර පද්ධතියට සිදු විය හැකි ය. විශේෂයෙන් නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයේ අනවසර ක්‍රියාකාරකම් සිදු කිරීම, අනවසරයෙන් ඇතුළු වීම, නීති විරෝධී ලෙස වන සතුන් එකතු කිරීම, දඩමස්‌ ජාවාරම, හෝටල්වලින් බැහැරලන රසායනික ද්‍රව්‍ය සංවේදී පරිසර පද්ධතීන්ට එක්‌කිරීම වැනි හානිකර ක්‍රියා රැසක්‌ දැනටමත් සිදුවෙමින් පවතී.

හෙක්‌ටයාර 21,000 ක්‌ පමණ ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32% ක්‌ පමණ ආවරණය වී ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස හතරේ සහ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. 1995 අංක 23 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන කැලෑ ආඥා පනතට අනුව, සංශෝධිත පනතින් ලැබුණු බලතල ප්‍රකාර ව 3 අ(1) වැනි වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට්‌ නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්‌ටයාර 17825 ක්‌ පමණ වන භූමි ප්‍රමාණයක්‌ ලංකාවේ ප්‍රථම සංරක්‌ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. සංරක්‌ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්‌ටයාර 2000 ක්‌ පමණ වේ. එAවා මේ වන විට ක්‍රමාණුකූල ව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්‌වරූපය හා වන්දි ගෙවීම්වල ප්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබේ.

ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන සමහරුන් මේ ඉඩම් බැංකුවලට උකස්‌ කර මුදල් ලබා ගෙන ඒවා සින්න වීමට ඉඩ හරී. එ සේ බැංකුවලට සින්න වූ නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයට පවරා ගැනීමට යෝජිත ඉඩම් ගණනාවක්‌ දුම්බර අඩවිය පුරා තැනින් තැන දැක ගත හැකි වේ.

දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක්‌ මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්‌ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්‍යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක්‌ මේ ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. එA අතුරින් ශාක විශේෂ 160 ක්‌ ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක්‌ දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්‌ත ශාක විශේෂ අතුරින් 27.4% ක්‌ පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3% ක්‌ පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක්‌ සීමා වූ ශාක විශේෂ හයක්‌ වෙයි.

දුම්බර අඩවියේ සත්ත්ව විවිධත්වය

දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්‌ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්‌ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ.

උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්‌ෂීන්, ක්‌ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්‌ඩ හතට අයත් විශේෂ 479 ක්‌ දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්‌ඩ හයට අයත් සත්ත්ව විශේෂ 1294 ප්‍රතිශතයක්‌ ලෙස ගත්විට 37% ක්‌ තරම් ඉතා ඉහළ අගයක්‌ ගනී. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32 ක්‌ පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප්‍රජාවක්‌ ජීවත්වීම මේ ප්‍රදේශයේ සංරක්‌ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප්‍රධාන හේතුවක්‌ වේ.

දුම්බර අඩවියේ සංරක්‌ෂණ ගැටලු

මෙවන් ඉතා සුවිශේෂී ජෛව ප්‍රජාවකට උරුමකම් කියන දුම්බර හෙවත් නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයේ තැනින් තැන ආකාර කීපයක ඉඩම් හිමිකම් සහිත වනාන්තර පැවැතීම මේ වනපෙතේ පැවැත්මට ප්‍රබල තර්ජනයක්‌ වී තිබේ. යෝජිත රක්‌ෂිත හා රජයේ අවශේෂ කැලෑ ඉඩම් (උදාහරණ ලෙස දිගන්නාව යෝජිත රක්‌ෂිතය, දුන්ගොල්ල යෝජිත රක්‌ෂිතය වැනි), ඉඩම් ප්‍රතිසංසAකරණ කොමිෂමට අයත් රජයේ කැලෑ ඉඩම්, අනූනව අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා දුන් වනාන්තර ඉඩම් (දුම්බර කඳුකරයේ පිහිටි ලේල්ඔය වනාන්තරය වැනි), ඉඩම් ප්‍රතිසංසAකරණ කොමිෂම විසින් ගැසට්‌ නිවේදන මඟින් ලබාදෙන ලද ව්‍යවස්‌ථාපිත ඉඩම්, පෞද්ගලික අංශය සතු විශාල වනාන්තර ඉඩම් සහ වැවිලි සංස්‌ථාවට අයත් වනාන්තර ඉඩම් වශයෙන් ඒ වන ඉඩම් දුම්බර වනපෙත වටා පිහිටා තිබේ. මේ ආකාරයේ විවිධ වනාන්තර ඉඩම් පැවතීම හේතුවෙන් විශේෂයෙන් ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂමට අයත් වනාන්තර ඉඩම්, අනූනව අවුරුදු බදු ක්‍රමය යටතේ ලබාගත් වනාන්තර ඉඩම් සහ වැවිලි සංස්‌ථාව සතු වනාන්තර ඉඩම් වරින්වර එළි පෙහෙළි කිරීම හේතුවෙන් නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයේ ජෛව ප්‍රජාව ගේ පැවැත්මට බලපෑම් එල්ල වන අතර ම වනාන්තර ඛණ්‌ඩනය වීම හේතුවෙන් සිදු වන ජෛව විවිධත් ව හායනයට ද මේ තත්ත්වය හේතු වේ.

මේ ආකාරයේ විවිධ ඉඩම් හිම්කාරීත්වයන් සහිත වනාන්තර බිම් දුම්බර කඳුකරයේ පිහිටා තිබීම හේතුවෙන් ඒවායෙහි සිදු වන සංවර්ධන කටයුතු එහි පැවැත්මට බලපෑ ආකාරය පිළිබඳ ව අපට බොහෝ අත්දැකීම් තිබේ. රිවස්‌ටන් ප්‍රදේශයේ වැවිලි සංස්‌ථාවට අයත් කුරු වනාන්තර වැස්‌මක්‌ සහිත ඉඩමක්‌ නීත්‍යනුකූල නො වන ආකාරයට පවරාගත් නීතිපති දෙපාර්මේන්තුවේ නිලධාරිනියක 2006 වසරේ දී සිදු කළ වනාන්තර එළි පෙහෙළි කිරීම එක්‌ උදාහරණයකි. ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් පිටවල ග්‍රාම නිලධාරී වසමේ පිහිටි දුම්බර කඳුකරයේ රත්නින්ද ඇල්ල ආසන්නයේ ඉතා විශාල වනාන්තර ප්‍රදේශයක්‌ එළි පෙහෙළි කර සිදු කැරෙන වගා ව්‍යාපෘතිය හා හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වී ඇති හානිය ඇති දැවැන්ත ය. රත්නින්ද ඇල්ල නැරඹීමට යැමට ඇති මාර්ගය අවහිර කර සිදු කර ඇති මේ වගා ව්‍යාපෘතිය සඳහා වරින්වර වනාන්තර එළි පෙහෙළි කරමින් රත්නින්ද ඇල්ල දෙසට හා එA ආශ්‍රිත දිය පහරවල් දෙසට වගාවන් ව්‍යාප්ත කැරේ. මෙවන් තත්ත්වයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොවීම හා තිබෙන නීති ක්‍රියාත්මක නොවීම දුම්බර කඳුකරයේ අනාගත පැවැත්මට අභියෝගයකි.

දුම්බර අඩවියේ සංරක්‌ෂණයට කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග

දුම්බර අඩවියේ අනාගත පැවැත්මට ඉතා වැදගත් වන අමාත්‍ය මණ්‌ඩල තීරණයක්‌ 2004 වසරේ දී ගැනිණ. එහෙත් එය අද වන තෙක්‌ නිසි පරිදි ක්‍රියාත්මක නො වේ. අංක පීඑස්‌/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින දරන අමාත්‍යමණ්‌ඩල සංදේශයට අනුව නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක්‌ ඇතුළත පිහිටි සියලු ම ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 ඉඩම් ප්‍රතිසංස්‌කරණ නීතියෙහි 22(1)ඊ සහ 44(එA) වගන්ති ප්‍රකාරව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය හා වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කඩිනමින් සැලැසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හෝ මේ වන තුරු අවසන් කර නොමැත. මේ ක්‍රියාමාර්ගයන්ට එළැඹීම පැහැර හරින සෑම දිනයක්‌ පාසා ම ඒ වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු සදහා ක්‍රමක්‍රමයෙන් යොදා ගැනේ. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තර කුට්‌ටි කිහිපයක්‌ පමණි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පළමු ව සිදු කළ යුතු වන්නේ නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළ භූමි ප්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත් ව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම යි. ඊට අමතර ව මේ ප්‍රදේශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්‌ථාවට අයත් වනාන්තර බිම් නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතු ය. ඉන් පසු ව නකල්ස්‌ සංරක්‌ෂණ වනාන්තරය වටා කිලෝමීටරයක්‌ පමණ ප්‍රදේශයක්‌ ජාතික පාරිසරික පනත යටතේ නකල්ස්‌ හෝ දුම්බර පරිසර ආරක්‌ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර ඒ ප්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කළ යුතු ය. මෙමඟින් දුම්බර අඩවියේ සුරක්‌ෂිතතාව තහවුරු කළ හැකි ය.

මෙවන් වූ නීති රීති ගණනාවක්‌ දුම්බර අඩවිය සංරක්‌ෂණය සඳහා පැවැතිය ද ඒවා නිසි පරිදි භාවිතයට නොගැනීම කනගාටුවට කරුණකි. 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප්‍රදේශයක්‌ ලෙස යුනෙස්‌කෝ සංවිධානය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. ලෝක උරුමයක්‌ ලෙස දුම්බර අඩවිය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඊට ම අනන්‍ය වූ භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප්‍රදායික ජන උරුමය නිසා ය.

එපමණක්‌ නොව ඇමෙරිකන් ඩොලර් මිලියන 382 ක්‌ (රුපියල් මිලියන 47,750 ක්‌ පමණ) වැය කරමින් වියළි කලාපයේ හෙක්‌ටයාර 81,422 කට වාරි ජලය සැපයීමත්, අනුරාධපුරය හා ත්‍රිකුණාමලය නගර වල කාර්මික කටයුතු සඳහා ජලය සැපයීමත්, මෙගාවොට්‌ 20 ක ජල විදුලිය නිෂ්පාදනය කිරීමත් අරමුණු කර ගෙන ක්‍රියාත්මක කරන මොරගහකන්ඳ හා කළු ග`ග ජලාශ වල ජල සුරක්‌ෂිතතාවය සම්පූර්ණයෙන් බැඳී පවතින්නේ දුම්බර අඩවියේ වන වැස්‌ම මත ය. එවන් වූ ප්‍රදේශයක්‌ ආරක්‌ෂා කර ගැනීමට නොහැකි වුවහොත් මේ බහුකාර්යය වාරි ව්‍යාපෘති වලට ද අත්වන්නේ වික්‌ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ බහුකාර්යය ජලාශ වලට සිදු වූ අවාසනාවන්ත ඉරණම ම ය.

සජීව චාමිකර
පරිසර සංරක්‌ෂණ භාරය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.