පාරවල් හැදුවට මදි
මිනිහාත් හදන්න ඕනෑ

අප රටේ සෑම ප්‍රධාන නගරයකම විශේෂයෙන්ම උදේ කාලයේ හා සවස්‌ කාලයේ අධික රථ වාහන තදබදයක්‌ පවතින බව නොරහසකි. මෙයට පිළියම් වශයෙන් නගර කිහිපයක මගී පාලම්, උමං මාර්ග හා ගුවන් පාලම් ඉදි කරනු ලැබුවත් දිනෙන් දින වැඩිවන රථවාහන සංඛ්‍යාව හේතුවෙන්ද, අවිධිමත් සේ ස්‌ථානගත කරන ලද බස්‌ නැවතුම්පළවල් හේතුවෙන්ද, එම ස්‌ථානවල බස්‌රථ ගාල් කරගෙන කාලය කා දැමීම හේතුවෙන්ද, අනවසර වෙළෙඳ කටයුතු හේතුවෙන්ද මාර්ග තදබදය තව දුරටත් ජනතාව පීඩාවට පත් කරන රෝග බීජයක්‌ බවට පත්ව ඇත.

ගුවන් පාලම් මතින් රථ වාහන ධාවනය හේතුවෙන් කිසියම් ප්‍රමාණයකට බලපෑමක්‌ ඇතිවුවද, මගී පාලම් හා උමං මාර්ග භාවිතය පිළිබඳව පදිකයින්ගේ ප්‍රතිචාරයන් ප්‍රමාණවත් යයි කිව නොහැකිය. මෑත කාලීනව ප්‍රධාන නගරාශ්‍රිතව පාර මාරුවීමේදී පදිකයින්ටද නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කොට ඇති නමුත් ඇතැමුන් අවිචාරවත් අන්දමින් මාර්ගය භාවිත කරන බව පෙනේ. මේ පිළිබඳව සැලකිල්ල යොමු කරන විට බොරැල්ල, මරදාන, කිsරිබත්ගොඩ නගරවල නිරන්තරයෙන්ම පදිකයින් මහා මාර්ගය හරහා යැමට නියමිත ස්‌ථාන භාවිතයට නොගෙන අවිධිමත් ලෙස කටයුතු කරන අවස්‌ථා අනන්ත අප්‍රමාණ වශයෙන් දැකිය හැකිවේ. මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසියට හෝ අදාළ බලධාරීන්ට නිරන්තරයෙන්ම ඇස ගසා ගෙන සිටීමද ප්‍රායෝගිකව අසීරු කටයුත්තකි.

අනිත් අතට නගරාශ්‍රිතව අවිධිමත් අයුරින් ස්‌ථානගත කොට ඇති බස්‌ නැවතුම් ස්‌ථාන හේතුවෙන්ද රථවාහන තදබදය වැඩිවී තිබේ. විශේෂයෙන්ම බොරැල්ල මංසන්ධියට ආසන්න විදුලි සංඥා පුවරු දිස්‌වෙන සෑම මාර්ගයකම බස්‌ නැවතුම් ස්‌ථාන පවතී. විදුලි සංඥා පුවරුවලින් ඉදිරියට යැමට දර්ශනයන් පිළිඹිබු වූවත් බස්‌ නැවතුම් ස්‌ථානවල නැවැත්වීම හේතුවෙන් සෙසු රථවාහන වලට යැමට අවකාශ නොලැබේ. එපමණක්‌ නොව මෙම නැවතුම් ස්‌ථානවල අධික වේලාවක්‌ පෞද්ගලික බස්‌ රථ නවතා ගෙන මගීන්ගේ කාලය කා දමමින්, මගීන් රස්‌තියාදු කරමින් කටයුතු කිරීම හේතුවෙන්ද රථවාහන තදබදය හිතාමතාම ඇති කරලීමට බස්‌ රියෑදුරන් කටයුතු කරති. මාර්ග අංක 154 ගල්කිස්‌ස - කිරිබත්ගොඩ බස්‌ රථ හා මාර්ග අංක 178 නාරාහේන්පිට

මට්‌ටක්‌කුලිය බස්‌ රථ මේ ආකාරයෙන් මගී ජනතාව පීඩාවට පත් කරන බවට නිරන්තරයෙන්ම දෙස්‌ දෙවොල් නැගෙති.

අවිධිමත් සේ පවතින බස්‌ නැවතුම්පළක්‌ සේ දැකිය හැකි තවත් ස්‌ථානයක්‌ වැල්ලම්පිටිය නගරයේද පවතී. වැල්ලම්පිටිය මංසන්ධියට නුදුරින් අවිස්‌සාවේල්ල පාරේ පාලම මත බස්‌ නැවතුම් ස්‌ථානයක්‌ ඉදිකිරීමට හා පවත්වා ගෙන යැමට පාලකයින් ක්‍රියා කොට ඇත. පාලමක්‌, බෝක්‌කුවක්‌ මත බස්‌ නැවතුමක්‌ තබා වෙනත් වාහනයක්‌වත් නවතා තැබීම සම්බන්ධයෙන් මාර්ග නීති කෙසේ වන්නේද? මේ පාලම මත හංවැල්ල, මුල්ලේරියාව දෙසට ගමන් කරන බස්‌ රථ දිගු කාලයක්‌ නවතා ගෙන සිටිති. එමෙන්ම පාලමේ අනිත් පැත්තේ ඉදිරියෙන් ස්‌ථාන ගතව ඇති බස්‌ නැවතුමේ දෙමටගොඩ බොරැල්ල දෙසට ගමන් කරන බස්‌ රථ නවතා ගෙන සිටිති. මේ හේතුවෙන් දෙපැත්තටම ගමන් කරන රථවාහන තදබදයට පත්වෙති. ඇතැම් අවස්‌ථාවල රථවාහන පොලිසියේ නිලධාරීන් මේ බස්‌ රියෑදුරන් හැසිරවීමට කටයුතු කළත් සෑම විටම ඔවුන්ගේ අවධානය එදෙසට යොමු කරලීම ප්‍රායෝගිකද නොවේ.

මේ අයුරින් බලන කල නගරාශ්‍රිතව පවතින අධික මාර්ග තදබදයට ඉඳුරාම හේතු කාරක වී ඇත්තේ බස්‌ රියෑදුරන්ගේ නොමනා ක්‍රිsයාවලියන් හා මාර්ගස්‌ථ මගී ප්‍රවාහන බලධරයින්ගේත්, නගර පාලකයින්ගේත් අවිධිමත් සැලසුම් හා නීතිරීතී ක්‍රියාත්මක කරලීමේදී ඔවුන් තුළ පවතින ඇල්මැරුණු, මන්දගාමී ස්‌වභාවය බව සක්‌සුදත් සේ පැහැදිලිය.

කෙසේ වෙතත් මාර්ග තදබදය හේතුවෙන් දිනපතා පාසලට, රෝහලට, සේවා ස්‌ථානයට හා වෙනත් අවශ්‍යතාවයනට යනෙන ජනතාව දිනෙන් දින දැඩි අසීරුතාවට පත්ව සිටින්නේ අද ඊයේ නොවේ. නිලධාරීන්, බලධාරීන්, පාලකයින්, මැති ඇමැතිවරුන් බුරුතු පිටින් වුවත් පොදු ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තවදුරටත් ඇහැ කත පියාගෙන සිටීම ඔවුන්ගේ සදාචාරයද?

ගුණපාල වික්‍රමආරච්චි මීගස්‌ආර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.