පන්සිය පනස්‌ ජාතකය සරල බසින්
පළ කිරීම දැවැන්ත සමාජ සත්ක්‍රියාවක්‌


වර්තමාන සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ යම් පිබිදීමක්‌ ප්‍රබෝධයක්‌ දකින්නට ලැබෙනවා. පතපොත වැඩිවැඩියෙන් බිහිවෙනවා පමණක්‌ නොව නාට්‍ය,චිත්‍රපටද වැඩි වැඩියෙන් නිර්මාණය වන අතර ඒවා නැරඹීමටත් ජනතාව ඒකරාශීවන බවක්‌ දක්‌නට ලැබෙනවා.

විශේෂයෙන් පතපොත කෙරෙහි පාඨකයන් වැඩි නැඹුරුවක්‌ දැක්‌වීම සතුටට කරුණක්‌. වර්තමානයේ බිහිවෙන පොතපත ගැන යම්යම් මත භෙAද තිබුණත් බිහිවෙන පොත පත කෙරෙහි පාඨකයන් ඒකරාශීවීම ගැන සතුටට පත් විය හැකියි . ඒ අතර යහපත් පොතපත ගැන පාඨකයන්ට යම් අවබෝධයක්‌ ලබා දීම විචාරකයන්ගේ කාර්යයක්‌. එය නිසි ලෙස සිදුවෙනවාද නැද්ද යන්න පිළිබඳව වෙනම කතා බහ කළ යුතු දෙයක්‌ වුවත් වර්තමානයේ සිදුවෙන්නේ තමන් දන්නා හඳුනන ලේඛකයන්ගේ පොත්පත්වල ඇතුළත් හොඳයි පිටත් හො¹යි කියන විචාර කලාවක්‌ බව බොහෝ දෙනාගේ මතය බව නම් කිව යුතුයි. මැදහත් විචාරකයන් සිටින්නේනම් මේ ගැන ඔවුන් කු=ලප්පු නොවේවායි පතමි.

වර්තමානයේ යම් බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇති බව දකින්නට ලැබෙනවා. ඒ ලංකාව පුරා වරින්වර දේශකයන් වහන්සේලා බණ භාවනා කියාදෙන ප්‍රවෘත්ති අසන්නට දකින්නට ලැබීමෙන්. ඒසේ දකින්නට ලැබීම බෞද්ධ ප්‍රබෝධයමදැයි කෙනකුට සිතෙන්නට පුළුවන්. එසේ සිතීමේ වරදක්‌ නැහැ. බොහෝ විට මේ බෞද්ධ දේශකයන් වහන්සේලා වටා ජනතාව ඒකරාශිවෙන්නේ ඔවුන් කියා දෙන බෞද්ධ බණ දහම් සාමාන්‍ය ජනතාවට තේරෙන ලෙස කියා දීම නිසාය. විශේෂයෙන් තරුණ තරුණියන් පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි වටා මෙන්ම වර්තමානයේ බොහෝ දේශකයන් වහන්සේලා වටා ඒකරාශි වූවේ හා ඒකරාශි වෙන්නේ මේ තේරෙන භාෂාවෙන් බණ දහම් කියා දෙන නිසා බව කවුරුත් පිළි ගන්නා සත්‍යයක්‌ වනු ඇති. මේ බෞද්ධ ප්‍රබෝධය නිසාම බෞද්ධ පොත්පත්ද වැඩිවැඩියෙන් මුද්‍රණය වෙනු දකින්නට ලැබෙනවා. මේ බෞද්ධ ප්‍රබෝධයත් සමඟ පන්සල් හා පුස්‌තකාල රාක්‌කවලට පමණක්‌ම සීමා වී තිබී වර්තමානයේ කල එළි දුටු විශේෂ ග්‍රන්ථයකි පන්සිය පනස්‌ ජාතක පොත.

පන්සිය පනස්‌ ජාතක පොත ලියවී ඇත්තේ සම්භාව්‍ය සිංහලයෙනි. මෙහි ඇති බොහෝ දැ වර්තමාන සමාජයේ ජීවත්වන පාඨකයන්ට කියවා තේරුම් ගත නොහැකි වීම් උභතෝකෝටික ගැටලුවකි. එසේ වීමට හේතුව ලෙස සමහර අය අර්ථ දක්‌වන්නේ තම මව් භාෂාව පිළිබඳව අවබෝධයක්‌ නැතිකමයි. එය සිනාවට කරුණක්‌ නොවේ. සමස්‌ත සමාජයම හඬා වැටීමට කාරණයකි. පන්සිය පනස්‌ ජාතක පොත පමණක්‌ නොව වර්තමානයේ බොහෝ දෙනකුට සම්භාව්‍ය සිංහලය කියවා වටහා ගැනීමට නොහැකිසේය. මේ සඳහා වග කිව යුත්තේ කවුද? මගේ පෞද්ගලික හැඟීම නම් ඒ සඳහා වග කිවයුත්තේ කලින් කලට පත්වෙන අධ්‍යාපන බලධාරීන් බවයි. මීට වඩා වෙනස්‌ මත තිබෙන්නටද පුළුවන. ඒ කොහොම වුණත් වර්තමානයේ සමාජයේ ඇති බෞද්ධ ප්‍රබෝධයත් සමඟ පන්සිය පනස්‌ ජාතක පොත සරල සිංහලයට නගා ඇත. මේ පිළිබඳව සමාජයේ ඇතැම් උගතුන් අතර විවිධ මත ඇති අතර සමහරකුගේ මතය වී ඇත්තේ ඉන් සමස්‌ත බෞද්ධ සමාජයම යම් ගරා වැටීමක සලකුණක්‌ බවයි. ඇත්තටම එසේ විය හැකිද? මගේ මතයනම් එසේ නොවන බවයි. මෙරට මෑත කාලයේ යම් බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇති වුයේ බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා සරල සිංහලෙන් බණ භාවනා කියා දීම නිසාම බව යළියළිත් සිහිපත් කළ යුතුමයිs. පන්සිය පනස්‌ ජාතක පොත කියවා තේරුම් ගත නොහැකි බොහෝ බෞද්ධයන්ට දැන් එය කියවා තේරුම් ගත හැකි අවස්‌ථාවක්‌ ලැබී ඇත. එය අගය කළ යුතුය. සමාජයේ සියලුම දෙනා උගත්තු නොවේ. බණ දහම් දැන කියාගත යුත්තේ, අප බුදුන් වහන්සේගේ පෙර ආත්මයන් දැන කියා ගත යුත්තේ උගතුන් පමණක්‌ නොවේ. සාමාන්‍ය ජනතාවද එය අසා කියා දැන ගත යුතුයි.

බොහෝ බණ දහම් පොත් ඇත්තෙ පාලි භාෂා වෙනි. නැත්නම් සංස්‌කෘත භාෂා වෙනි. සම්භාව්‍ය සිංහලය නොදන්නා පෘථග්ජන ජනයා මේ පාලි හෝ සංස්‌කෘත භාෂාවෙන් ඇති දැ කියවා තේරුම් ගන්නේ කෙසේද? තමන් කට පාඩමෙන් කියන පාලි ගාථා දන්නා සිංහලයෙන් කියවා බුද්ධාලම්බන ප්‍රීතිය වඩවාගෙන කීම තුළින් වඩාත් ශ්‍රද්ධාවක්‌ හා යහපතක්‌ ඇතිවේ යන්න අපගේ මතයයි. වර්තමානය වනවිට බොහෝ පන්සල්වල යම් යම් පිරිත් සූත්‍රද සිංහලයෙන් සඡ්ජායනා කරනවා අසන්නට ලැබෙයි. ඒ මතුද නොවෙයි රත්නමාලි ගාථාරත්නයද සිංහලයෙන් සඡ්ජායනා කරනවා අසන්නට ලැබෙනවා පමණක්‌ නොවෙයි ඒකී ගාථාරත්නය වැඩිවැඩියෙන් පරිහරණය කරනවාද දැකිය හැකියි. එයට හේතුව එහි ඇති දැ මනාව වටහාගෙන කීම නිසයි.

ඒ නිසා සියලුම පිරිත් සුත්‍රද සිංහලයෙන් විශේෂයෙන් සාමාන්‍ය ජනතාව දන්නා සරල සිංහලයෙන් සංගයනාවක්‌ පවත්වා ජනතාව අතරට පත්කරන්නේ නම් වර්තමාන සමාජයේ විශාල සංශෝධනයක්‌ ඇති වේවි යන්න මගේ හැඟීමයි.

ඒ කෙසේ වුවත් පන්සිය පනස්‌ ජාතක පොත සරල සිංහලයට නැගීම පිළිබඳව, ඒ මාහැඟි කාර්ය කළ සංස්‌කාරක මණ්‌ඩලයට ස්‌තුතිවන්ත විය යුතු අතර එය ප්‍රකාශයට පත් කළ කොළඹ මරදාන ගොඩගේ ප්‍රකාශන සමාගමටද ස්‌තුතිවන්ත විය යුතුය. මන්ද පසුගියදාක පාසල් සිසුවකු ගෙන් දෙව්රම් වෙහෙර තිබෙන්නේ කොහේද කියා ප්‍රශ්නයක්‌ ඇසු කළ සිසුවා උත්තර දී තිබුණේ පන්නිපිටියේ බවයි. එහෙත් පන්සිය පනස්‌ ජාතක පොත තමන්ට තේරෙන සිංහලයෙන් කියවා මතකයේ තබා ගත් කළ සිසුන්ට පමණක්‌ නොව සාමාන්‍ය දැනුම වර්ධනය කර ගන්නා අයට ද දෙව්රම් වෙහෙර පමණක්‌ නොව ඡේතවනාරාමය තිබෙන්නේ කොහේදැයි කියා වටහා ගත හැකිය. පන්සිය පනස්‌ ජාතක පොත සරල සිංහලයට නැඟීමෙන් සමාජයට යහපතක්‌ මිස අයහපතක්‌ නොවෙනු ඇත. එය කාලීන අවශ්‍යතාවයක්‌ ඉටු කිරීමක්‌ ලෙසද හැඳින්විය හැකිය. මේ පුණ්‍ය කර්මයට දායක වූවන්ට කලියෙන් විරුද්ධ මතධාරීන් ධර්මය වඩා හොඳින් අවබෝධ කොටගෙන නිවන් මාර්ගයට පැමිණෙත්වා යන්න බෞද්ධයකු ලෙස මම ප්‍රර්ථනා කරමි

සුගත් ශාන්ත මොරගහකුඹුර
පුස්‌සැල්ලාව.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.