මිනිසා මෙන්ම කිඹුලාත් රැකගෙන
විසඳුම් සොයමු


ඈත අතීතයේ සිට නිල්වලා ගංගාවේ පහළ නිම්නය කිඹුලන්ගේ නිජ භූමියකි. නාවිමයින, බන්ඩත්තර, වෙරගම්පිට, හුංගංගොඩ, දියගහ, නාදුගල, වටගෙදර, අත්තුඩාව හා කිරලකැලේ ආශ්‍රිත ගඟ දෙපස කඩොලාන පරිසරය කිඹුලන්ගේ ජීවිත පැවැත්මට අවශ්‍ය අගනා පරිසරයක්‌ නිර්මාණය වී තිබීම එසේ වීමට බලපෑ ප්‍රධාන ස්‌වභාවික සාධකය වේ. මේ ස්‌වභාවික සාධක මත නිල්වලා ගංගාවේ පහළ නිම්නය විවිධ ජලජ පැළෑටිවලට හා ජලජ ජීවීන්ට සුවදායක පරිසරයක්‌ ගොඩ නඟා තිබිණි.

නිල්වලා ගඟ දෙපස පමණක්‌ නොව වෙනත් ගංගා ආශ්‍රිතව ඉඳහිට කිඹුලෙක්‌ මිනිසකු හෝ සිවුපාවකු මරා දැම්මේය. අලියෙක්‌ ඉඳහිට මිනිසකු මරා දැම්මේය. වඳුරන්, රිළවුන් හා අනෙකුත් සියලු සතුන් විසින් කෘෂි කාර්මික බෝගවලට හානි සිදු කරන ලදී. සංවර්ධනයේ නාමයෙන් ස්‌වාභාවික පරිසරය මිනිසාගේ පරිහරණය සඳහා යොදා ගැනීමත් සමග පරිසරයේ ජීවත් වන වන සත්තු ගම්බිම් ආක්‍රමණය කළහ. මේ නිසා සත්තු දෑසට ලක්‌වන සෑම මිනිසකුටම අනුකම්පා විරහිත ලෙස පහර දුන්හ. මේ නිසා දිනපතා අපට අහිමි වන මිනිස්‌ ජීවිත සංඛ්‍යාව අති විශාලය.

නිල්වලා ගංගාවේ කිඹුල්ලු දැන් පහළ නිම්නයේදී පමණක්‌ නොව ඉහළ නිම්නයේදීද මිනිසුන් ඩැහැගෙන යති. මෙවැනි තත්ත්වයක්‌ දින දින වර්ධනය වූයේ කෙසේද?

1970 කිඹුලන්ගේ ජනාවාස ප්‍රදේශයක්‌ වූ කිරලකැලේ වගුරු බිම අක්‌කරය බැගින් දේශපාලන හිතවතුන්ට බෙදාදුනි. අගනා ගස කොළ කපාගෙන කඩොලාන පරිසරයට ගිනි තැබූ දේශපාලුවෝ රූස්‌ස ගස්‌ කපාගෙන තම අතමිට බර කර ගත්තෝය. 1983 නිල්වලා ගඟ ව්‍යාපාරය නමින් නිල්වලා ගංගාවේ ගඟ දෙපස හා ඇළ මාර්ග දෙපස වේල් බැඳ රක්‍ෂිත ප්‍රදේශවල ඇළ පද්ධතිය ගැඹුරු කළේය. විශාල වගුරු බිම් ප්‍රදේශයේ සැරිසැරූ කිඹුලන් ගංගාව දිගේ ඉහළට ගමන් කරන්නට විය. නිල්වලා ගං මෝයේ සිට අකුරැස්‌ස දක්‌වා ගං පත්ල මුහුදු මට්‌ටමට වඩා පහළ යැමත්, ගංගාව දෙස හෙ( 2800 ක්‌ වගා බිම් අනාරක්‍ෂිත ප්‍රදේශ වීම නිසා කිඹුලන්ට ගංගාව දිගේ ඉහළට යැමට නව මාර්ග විවෘත විය. මේ නිසා කිරල කැලේ හා කඩවද්දුව ව්‍යාපාරය තුළ ගැඹුරු ඇළ පද්ධතිය හා ගඟ දෙපස කිඹුලන්ගේ ජනාවාස බවට පත් වී ඇත. දැන් අකුරැස්‌සෙන් පහළ ගඟ දෙපස පුරන් වූ කුඹුරු කිඹුලන්ගේ වාසභූමි වී ඇත. මාලිම්බඩ, කත්දුව, කරගොඩ, උයන්ගොඩ නාරංගල, අතුරලිය, තිහගොඩ, බණ්‌ඩත්තර මෙසේ කිඹුලන් වර්ධනය වී ඇති ප්‍රදේශ වේ.

වසර 26 ක්‌ පැරණි නිල්වලා ගඟ ව්‍යාපාරයෙන් ගොවි ජනතාවට සිදු වූයේ තමා ජීවත් කළ සරුසාර භූමි ප්‍රදේශ කිඹුලන්ට හා විවිධ පක්‍ෂීන්ගේ ජනාවාස බවට පත්වීමට ඉඩහැරීමකි. පරිසරයේ මිනිසාට හිතකර බොහෝ සතුන් අපට අහිමි විය. මිනිසාට විනාශය ගෙන දෙන සතුන් වර්ධනය විය. සතුන්ගේ නිජබිම් අහිමි වීමෙන් සිදුවන මේ විනාශය වළක්‌වා ගත හැක්‌කේ මිනිසාට සතා සර්පයාට හිතකර පරිසරයක්‌ ගොඩ නැගීමෙනි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් කිඹුල් කොටු ගොඩ නැඟීමෙන් පමණක්‌ කිඹුල මිනිස්‌ ගැටුම අවම කළ නොහැකිය. මිනිසාට මෙන්ම කිඹුලාටද ආරක්‍ෂාවක්‌ ලබා දිය යුතුය. සියලු කිඹුලන් මෙහෙයුමකින් මරා දැමිය නොහැකිය. කිඹුලන් අල්ලා ජීවත් විය හැකි පරිසරයකට කොටු කළ යුතුය. මෙය ලෙහෙසි පහසු දෙයක්‌ නොවේ. හේතුව කිඹුලා ගොඩ සහ දියේ ගමන් කරන සතකු වීම නිසාය. මේ සඳහා ඉතාම සුදුසු ප්‍රදේශ දෙකක්‌ වන්නේ නිල්වලා ගංගාවේ අධි අනාරක්‍ෂිත කලාපය සහ කිරල කැලේ අක්‌කර 750 ක වගුරු බිමකි. කිඹුලා මිනිසාට මෙන්ම විශාල ගවයකුට වුවද පහරදිය හැකි බියකරු සතෙක්‌ වුවද අපේ පරිසරයෙන් ඌ සදහටම වූ ඉවත් කළ යුතු නොවේ. අවශ්‍ය වන්නේ ඌට අවශ්‍ය පරිසරයක්‌ වෙන්කර ජීවත් වීමට ඉඩ සැලසීමයි. මෙවැනි කිඹුල් කලාපයකින් වාර්ෂිකව විශාල මුදලක්‌ ඉපයීමට පුළුවන. තායිලන්තය, බංගලා දේශය වැනි රටවල් මේ කිඹුල් කලාප තුළ කිඹුල් මස්‌ පිණිසද ඇති කරති. කිඹුල් හම් කර්මාන්තයද ඒ සමග ගොඩ නැගී ඇත. වනජීවී හා පරිසර අමාත්‍යාංශවල මැදිහත් වීමක්‌ සිදු වුවහොත් නිල්වලා නිම්නයේ මිනීමරු කිඹුලන් බැලීමට පින්නවල අලි අනාථාගාරය බලන්නට එන සංඛ්‍යාවට වඩා වැඩි වීමට ඉඩ ඇත. ඔවුන්ගෙන් ලැබෙන ආදායම කිඹුල් කලාප නඩත්තුවට පමණක්‌ නොව නිල්වලා ගඟ ව්‍යාපාරය නිවැරැදි කිරීමට වුවද යෙදිය හැකිය.

ජයතිස්‌ස කුලතුංග
ලේකම්,
නිල්වලා නිම්න ගොවි සංවිධානය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.