බස්‌වල යන අපි කරුමක්‌කාරයොද?

1956 ආණ්‌ඩු පෙරළියෙන් පසුව සියලු පෞද්ගලික බස්‌ රථ රජයට පවරා ගෙන ලංකා ගමනාගමන මණ්‌ඩලය පිහිටුවනු ලැබීය. එය එදා ඉතාම කාර්යක්‍ෂම හා සංවිධානාත්මක මණ්‌ඩලයක්‌ බවට පත් වෙමින් වැඩි කලක්‌ ජීවත් වීමේ වාසනාව හිමිකරගනී. එහෙත් නැවත ආණ්‌ඩු පෙරළිවල ප්‍රතිඵලයක්‌ වශයෙන් මණ්‌ඩලය පෞද්ගලික කොම්පැණිවලට හිමිකර දීමක්‌ද දක්‌නට ලැබෙයි. ඒ අනුව කෙටි කලක්‌ තුළදී බස්‌ නියන් කොට උඩ ගිය බවක්‌ දක්‌නට ලැබුණේ පූරුවේ පවකටය.

කාලයාගේ ඇවෑමෙන් යළිත් ආණඩු පෙරළියක්‌ ඇති වූයෙන් මහින්ද චින්තනය අනුව ලංගමය නැවත වරක්‌ පණ ගැටගසා ගැනීමට සමත්වීය. ඒ අනුව පෙර කරුම වල ප්‍රතිඵලයක්‌ වශයෙන් පෞද්ගලික අංශයද දියුණු තත්ත්වයක්‌ දක්‌නට ලැබෙයි. සමිති සමාගම් හා බස්‌ මුදලාලිලා පොකුරු පිටින් බිහිවීමට වැඩි කලක්‌ ගත නොවීය.

අනුමත ගමන් ගාස්‌තුවක්‌ සමගම සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී සේවාවන් රජයෙන්ද පෞද්ගලික අංශයෙන් බිහි විය. සුඛෝපභෝගී බස්‌ රථ වල මගීන් ගන්නේ ආසන ගණනටය. නමුත් ගමනාන්තය වන විට සිටගෙන සිටින මගීන් ගණන ආසන ගණනටත් වැඩි බව එහි ගමන් කරන කවරෙකුට වුවද දැක ගැනීමේ වාසනාව හිමිවෙයි. බස්‌ ගාස්‌තු අය කිරීම සම්බන්ධව රජය විසින් කොතරම් නීති රීති පැනවුවත්, ටිකට්‌ මැෂින් ලබා දුන්නත් තවමත් ටිකට්‌ වලින් යටි මඩිගැසීම නම් අවසන්වී නොමැත. එම මුදල් දෙදෙනාගේ වැටුපට අමතරව කොහේ හෝ ලැගුම් ගනී.

එයද ඉවසා සිටිය හැකිය. බස්‌ නැවතුමක බැසීමට මගියෙකුට අවශ්‍ය වූ විට පසෙකින් බසයක්‌ වන්නේ නම් නැවතුමට දුරින් බසය තිරිංගලයි. මගියාට අවශ්‍ය තැනට යැමට වෙනත් බසයක ආපසු යා. යුතය මගීන් පටවන විට තිබෙන කරුණාව ඔවුන් බැස යන විට නැත. ඉක්‌මනට බසින්න එය කොන්දොස්‌තරගේ අණයි.

පෞද්ගලික බස්‌ හිමියනි, කපුටන් හෝ මාළුවන්ගේ හැසිරීම මෙන් පෙරට පැන රුපියලේ ගසාකෑම් වලින් වැළකී මහජනතාවට තම ගමන් බිමන් යැමට ඔබගේ රථයේ ඉඩ ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. කොන්දොස්‌තර මහතුන්ද මීට වඩා කාරුණික විය යුතුය. මොවුන් අතර ගුණයහපත් ඉතා සුළු පිරිසක්‌ද නැතුවා නොවේ. නමුත් වැඩිදෙනා හිත් පිත් නැති පිරිසකි. සමහර බස්‌ රථවල ගමන් කරනවිට අපට දැනෙන්නේ අප විශාල පව්කාරයන් බවය.

ඊ. එම්. කේ. ඒකනායක නාපාන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.