ඉන්දු - ලංකා ධීවර ප්‍රශ්නය: ඇත්ත කතාව

හලාවතින් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනෙක්‌ මඟ වැරදී හෝ අන් කාරණයක්‌ නිසා හෝ ඉන්දියාවේ අන්ද්‍රd ප්‍රදේශයේ මුහුදු සීමාව උල්ලංඝනය කර ඉන්දියානු පොලිසියේ අත්අඩංගුවට පත්වී යෑයි දැනගන්නට තිබේ. මේ පුවත දුටු සැනින් අපට සිහිපත් වූයේ මීට මාසයකට පමණ පෙර ප්‍රකාශයට පත්කෙරුණු චන්ද්‍රිකා ඡායාරූපයකි. මධ්‍යම රාත්‍රියේදී ගන්නා ලද මෙම ඡායාරූපයෙහි කුඩා තිත් දහස්‌ ගණනක්‌ විය. ඒ තිත් දහස්‌ ගණනම, එක රැයක්‌ තුළ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර මසුන් අල්ලන්නට එන ඉන්දියානු ධීවර බෝට්‌ටුය. වෙන රටවල ධීවරයන්ට ඇති ප්‍රශ්නය මාළු ය. එනම්, තමන්ගේ මුහුදු සීමාවෙහි ඇති තරම් මාළු නොතිබීම ය. එහෙත් ලංකාවේ ධීවරයන්ට ඇති ප්‍රශ්නය ඉන්දියාව හා සෝමාලියාව ය. පේදුරුතුඩුවෙන් මුහුදු යන ධීවරයා යාන්තම් සැතපුම් දෙක තුනක්‌ උතුරට ගිය විට ඉන්දියානු වෙරළාරක්‍ෂක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබේ. මන්නාරමෙන් හෝ ත්‍රිකුණාමලයෙන් මුහුදු යන ධීවරයා බස්‌නාහිර පැත්තට සැතපුම් කිහිපයක්‌ ගිය වහාම සෝමාලියානු මුහුදු කොල්ලකාරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබේ. මෙකී දෙවන පාර්ශ්වය පළමුවන පාර්ශ්වය වූ ඉන්දීය ආණ්‌ඩුවට වඩා අත්‍යන්තයෙන්ම භයානක ය. මන්ද, ඔවුන් ඉල්ලන්නේ ඩොලර් කෝටිය, කෝටි දෙක යනාදී වශයෙන් වූ කප්පම් නිසාය. රුපියල් 250 ක දඩය ගෙවා ගන්නට බැරිව රිමාන්ඩ් සිරගෙදර අවුරුදු දහය දොළහ ගතකරන මිනිසුන් සිටින ලංකාව වැනි රටක මසුන් මරන්නකු බේරා ගැනීමට ඩොලර් කෝටියක්‌ ගෙවන්නේ කවුද?

තම මුහුදු සීමාව උල්ලංඝනය කළැයි ඉන්දියාව ලාංකිකයන් අත්අඩංගුවට ගත්තාම මේ ප්‍රශ්නයෙන් ඇත්තටම දුකට පත්ව සිටින්නා ශ්‍රී ලංකාවය. මෙයට අවුරුදු 50 කට පෙරත් මේ ප්‍රශ්නය මෙසේම අපට තිබිණ. එකල එක්‌ පැත්තකින් "තෙප්පම්" නමැති කුඩා යාත්‍රා විශේෂයෙහි නැගී ඉන්දියානු හොර වැසියෝ දහස්‌ ගණන් ලංකාවට ගොඩ බැස්‌සාහ. තෙප්පම යනු එක්‌ පුද්ගලයකුට පමණක්‌ ගමන් කළ හැකි කුඩා ලෑල්ලකි. මේ ලෑල්ල සමඟ හබලත් අතට ගන්නා නිර්භීත ඉන්දියානු දෙමළ මිනිස්‌සු දවස්‌ දෙකක පමණ නිරාහාර දුෂ්කර ගමනකින් පසු වැල්වැටිතුරේට හෝ පේදුරුතුඩුවට ගොඩ බැස්‌සාහ. එදා, කල්ලතෝනි නමැති මෙකී ඉන්දියානු හොර වැසියන් ලංකාවට ආවේ අද අප රැකියා පතා යුරෝපයට හෝ කොරියාවට යන්නාක්‌ මෙනි. ඊට අමතරව හොර බඩු ජාවාරම්කාරයන් ද නීති විරෝධී මසුන් මරන්නන් ද දහස්‌ ගණන් දිනපතා ශ්‍රී ලංකාවට පැමිණියහ. 1977 දී ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව විසින් හොර බඩු ජාවාරමට තිත තබන ලදී. 1983 දී පටන් ගත් යුද්ධය මගින් හොර වැසියන් ජාවාරමට තිත තබන ලදී. ඒ අතර කොයි පැත්තෙන් හෝ වෙඩි කන්නට සිදුවන නිසා ඉන්දියානුවෝත් ධීවරයෝත් "මාළු රස්‌සාවෙන්" වැළකී සිටියෝය.

ලංකාව මොන තරම් නරක කේන්දරයක්‌ ඇති රටක්‌ද යත්, යුද්ධය නිම වී අවුරුද්දක්‌ යන්නටත් පෙර ඉන්දියානු මාළු ජාවාරම පටන් ගත්තේය. ඒ අනුව දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට අයත් මාළු මුදලාලිට හිමි යෝධ ට්‍රොaලර් යාත්‍රා දහස්‌ ගණන් මෙහි පැමිණ මාළු කොල්ලකන්නට පටන් ගත්හ. ඒ කොල්ලය කළේත් කරන්නේත් "බොටම් ට්‍රොaලර්" යන ක්‍රමයටය. ඒ අනුව ට්‍රොaලර් යාත්‍රා පැමිණ අපේ සාගර පතුළ කළඹනු ලැබේ. එවිට ආත බූත වන මාළු උඩ එති. ඉන් පසු දැල්වලින් වටකර උන් අල්ලා ගනු ලැබේ. මේ ට්‍රොaලර් අයිතිකාරයෝ තමිල්නාඩුවේ මුහුදුබඩ සිටින දේශපාලනඥයන් වෙනුවෙන් මුදල් වැය කරති. එයට හිලව්වට, මේ ට්‍රොaලරයක්‌ අප අත්අඩංගුවට ගත් සැනින් පෙර කී ඉන්දියානු දේශපාලනඥයෝ රෙදි කරේ තබාගෙන නටන්නට පටන් ගනී. එම නැටුමේ කම්පනය ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුවට අඩුපාඩුවක්‌ නැතිව දැනෙයි. එවිට මධ්‍යම ආණ්‌ඩුවේ නියෝජිත පිරිසක්‌ මෙහි දිව එති. අප විසින් එක ඉන්දීය ධීවර යාත්‍රාවක්‌ අත්අඩංගුවට ගනු ලබන කල්හි ඊට හිලව් පිණිස අපේ ධීවර යාත්‍රා දුසිම් දෙකක්‌ පමණ අත්අඩංගුවට ගනු ලැබේ. ඉන්දියන් ධීවර ප්‍රශ්නයේ ඇත්ත කතාව ඒකය. මේ ඇත්තට පිටුපෑමෙන් වළකින ලෙස ඉන්දියාවෙන් ඉල්ලමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.