ආශ්චර්යයේ සහල්!

කිසි දවසක උත්තරයක්‌ ලැබේ යෑයි විශ්වාස කළ නොහැකි ප්‍රශ්න කීපයක්‌ ශ්‍රී ලංකාවේ ඇත. එකක්‌ ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ සෙවීම ය. එකක්‌ අධ්‍යාපන අර්බුදවලට විසඳුම් සෙවීම ය. එකක්‌ ජීවත් වීමේ අර්බුදය ට විසඳුම් සෙවීම ය. එකක්‌ වී ගොවීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ය. මීට අමතරව උත්තර ලැබෙයි කියා විශ්වාස කරනවා තබා ප්‍රශ්නයවත් මතු කරන්න බැරි ප්‍රශ්න මේ රටේ ඕනෑ තරම් තිබේ.

මේ අතරින් වී ගොවීන්ගේ ප්‍රශ්නය මේ රට මේ පෘථිවි තලයේ පවතින තාක්‌ නොවිසඳෙන ප්‍රශ්නයක්‌ බව නම් ස්‌ථිරව කිව හැකි ය. මේ මොහොත වන විටත් ඇළහැර ව්‍යාපාරයේ කුඹුරු අක්‌කර 20,000 ක්‌ වතුර නැතිව පුරන් වෙමින් පවතී. උතුරු මැද පළාතේ වැව් බොහෝ ප්‍රමාණයක වතුර නැති වීමෙන් තවත් ගණනය කළ නොහැකි තරමේ කුඹුරු අක්‌කර ප්‍රමාණයක්‌ පුරන් වී යැමේ තර්ජනයට මුහුණපා ඇත.

මේ අතර මෙරට රතු සහල් "අඩු මිලට" අප්‍රිකානු රටවලට විකුණන්නට යන බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන කීවේ යෑයි ඊයේ (22 දා) "දිවයින" පුවතක සඳහන් වෙයි. මේ ප්‍රවෘත්තිය ඇසූ පමණින් අපට සතුටක්‌ දැනෙන්නේ අපනයනය කිරීමට තරම් සහල් අතිරික්‌තයක්‌ රට තුළ ඇතැයි දැන ගැනීමට ලැබීම නිසාය. එහෙත් අඩු මිලට හෙවත් සහල් මෙටි්‍රක්‌ ටොන් එකක්‌ ඇමරිකානු ඩොලර් 370 කට අලෙවි කරන බව පැවසීම ගැන නම් අපට සතුටු විය නොහැක. එනම් සහල් මෙටි්‍රක්‌ ටොන් එකක්‌ විකුණන්නට යන්නේ රුපියල් 48,000 කට පමණය. එවිට සහල් කිලෝ එකක්‌ මිල වන්නේ රු. 48 ක්‌ පමණය. දේශීය වෙළෙඳපොළේ රතු කැකුළු සහල් කිලෝවක්‌ පවතින්නේත් රුපියල් 50 ත් 55 ත් අතර මිලකය. එවන් තත්ත්වයක්‌ තුළ සහල් කිලෝවක්‌ රුපියල් 48 කට අප්‍රිකාවට අපනයනය කිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්‌ඩුව "ආසියාවේ ආශ්චර්යය" ට ඉක්‌මනින්ම ළඟාවෙන බවය.

අඩු මිලට හාල් අපනයනය කරන බව මාධ්‍ය හමුවක්‌ පවත්වා රටට කීමට තරම් ලඡ්ජාවක්‌ නැති කෘෂිකර්ම ඇමැතිවරයා එහිදී තවදුරටත් කියා ඇත්තේ මෙරට පවතින සහල් අතිරික්‌ත තොගය ඉක්‌මනින් අවසන් කර ගැනීමට අවශ්‍ය නිසා මේ පියවර ගත් බවය. ඇමැතිතුමා මෙසේ කියද්දී ජනතාව හිතන්නේ රටේ වී ගබඩා, සහල් ගබඩා පිරී ඉතිරී ගොස්‌ ඇති බව නොවේද. ඒත් ඇමැතිතුමා නොකියන ඇත්තම කතාව ආණ්‌ඩුවේ වී අලෙවි මණ්‌ඩලයට ඇත්තේ මෙටි්‍රක්‌ ටොන් ලක්‌ෂ දෙකක්‌ පමණ ගබඩා කළ හැකි සුළු ඉඩකඩක්‌ බවයි. එය මෙරට සමස්‌ත වී නිෂ්පාදනයෙන් 10% ක්‌ තරමේ සුළු ප්‍රමාණයකි. ඉතිරි 20% ක්‌ ගොවීන්ගේ පෞද්ගලික පරිභෝජනයට ගත්තත් තවත් 70% ක වී ප්‍රමාණයක්‌ ඉතිරි වෙයි. ගොවීන් විසින් මේ වී ප්‍රමාණය අලෙවි කළ යුත්තේ මුදලාලිලාටය. ගොවීන්ට වහ කන්නට වෙන්නේ මෙතැනදීය. වී කිලෝවකට රුපියල් 28 ක සහතික මිලක්‌ නියම කර සමස්‌ත නිෂ්පාදනයෙන් 10% ක්‌ මිලදී ගෙන ආණ්‌ඩුව අත පිසදා ගනිද්දී ගොවීන්ට සිද්ධ වෙන්නේ රුපියල් 3 - 5 ක්‌ අතර අලාභයක්‌ විඳගෙන මුදලාලිලාට වී විකුණා ඇස්‌ පිසදා ගන්නටය. වී කිලෝවක්‌ සඳහා සහතික මිලක්‌ පැවැතියත් පෞද්ගලික අංශය ගොවීන්ට ගෙවන්නේ කිලෝවකට රුපියල් 25 ක්‌ පමණ ප්‍රමාණයකි. වී කිලෝවක්‌ නිෂ්පාදනය කිරීමට පොහොර, කෘමිනාශක, ප්‍රවාහන ආදී වියදම්වලට (ශ්‍රමයට මිලක්‌ තැබෙන්නේ නැති තරම් ය.) වෙන් කළ පසු ගොවියාට වහ කුප්පියක්‌ මිලදී ගන්නටවත් මුදලක්‌ ඉතිරි වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ගොවියාගේ ප්‍රශ්නය උත්තරයක්‌ නැති ප්‍රශ්නයක්‌ කියා අපි කියන්නේ මේ නිසාය.

කෘෂිකර්ම ඇමැතිතුමා අප්‍රිකාවට සහල් අපනයනය කරන්න යන්නේ සහල් නිෂ්පාදනය වැඩිවුණු නිසාවත්, ගබඩා කළ නොහැකි තරමට වී මිලදී ගත් නිසාවත් නොව වී මිලදීගෙන තබා ගැනීමට තරම් ප්‍රමාණවත් ගබඩා පහසුකම් ආණ්‌ඩුවට නැති නිසාය. මේ රටේ වී ගබඩා සහ සහල් මෝල් කුණු කොල්ලයට මුදලාලිලාට විකුණා දමා වී ගොවියා වහ බී මිය යන තැනට පත් වුණේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩු සමයේදී බව නොකිය යුතු නොවේ. මේ ආණ්‌ඩුව කරන්නේ ඒ මුදලාලිලාට යටවී වී ගොවියා නොමරා මරා දැමීමය. වෙළෙඳපොළේ රුපියල් 30 - 40 ක පමණ මිලක පැවැති සහල් කිලෝවක මිලට අවම මිලක්‌ පනවනවා යෑයි කියා ආණ්‌ඩුව කළේ සහල් කිලෝව රුපියල් 65 කටත් එහා මිලකට තබා මුදලාලිලා තව තවත් සතුටු කිරීමය.

රටේ වී ගොවියාත්, සහල් නිෂ්පාදනයත්, සහල් වෙළෙඳපොළත් මෙබඳු අර්බුදයකට පත්කොට අඩුමිලට සහල් අපනයනය කරන්නට යන ආණ්‌ඩුව 2011 වසරේදී පමණක්‌ ඇමරිකානු ඩොලර් මිලියන 18 ක, එනම් රුපියල් කෝටි 20,000 ක පමණ සහල් ආනයනය කළේ ප්‍රතිඅපනයනය කරන්නට දැයි අප දන්නේ නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.