තාත්තත් අපිත් අතර තිබුණේ දැඩි බැඳීමක්‌!
සරත් ෆොන්සේකාගේ දියණිය අප්සරා කියයි


තිස්‌ වසරක එල්ටීටීඊ ව්‍යසනයෙන් මේ බිම නිදහස්‌ කෙරුණු විජයග්‍රාහී සටනේදී අසහාය යුද සෙන්පතියා වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විජයග්‍රහණයෙන් මාස කිහිපයකට පසු මේ බිමේම සිරගත මිනිසකු බවට පත් වූයේ කිසිවකුත් නොසිතූ පරිද්දෙනි.

වසර දෙකහාමාරකට ආසන්න කාලයක්‌ වැලිකඩ බන්ධනාගාරයේ ගත කළ එකී සිරගත ජීවිතයෙන් පසුගියදා ඔහු නිදහස්‌ව ගියේය. එය සිදු වූයේද කිසිවකුත් නොසිතූ අයුරිනි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 34.1 වගන්තියට අනුව විධායක ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට එකී නිදහස දෙනු ලැබීය.

ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා නම් කැඩෙට්‌ නිලධාරියා ලෙසින් මීට විසිපස්‌ වසරකට පමණ ඉහත ශ්‍රී ලංකා යුද හමුදාවට එක්‌වූ ඔහු එල්ටීටීඊයට එරෙහි ඉකුත් විජයග්‍රහී සටනේදී රටම හඳුනාගෙන සිටියේ යුද හමුදාවට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා ලෙසින්ය.

එකී යුද හමුදා ජීවිතය තුළ සහ යුද හමුදාවට නායකත්වය දුන් කාලය තුළ උපන් රටත් ජාතියත් වෙනුවෙන් කළ අමිල මෙහෙවර උදෙසා සරත් ෆොන්සේකා මහතා සොල්දාදුවකු ලෙස දිනාගත් දේ බොහෝ වී තිබිණ.

එහෙත් අවසානයේ එසේ තමන්ට උරුම වූ සියල්ල අහිමිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ලෙසින් හේ පෙරේදා (21 වැනිදා) වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස්‌ව ගියේ ඉහත ක්‍රියාදාමයට අනුවය.

සරත් ෆොන්සේකා මහතා රට දිනූ විජයග්‍රාහී සටනේදී අභීත සෙන්පතියකු ලෙස සිය ලේ, කඳුළු, දහදිය උපන් බිම වෙනුවෙන් හෙළමින් කළ කී දේ බොහෝ විය. එසේම හේ සිරගත වීමේ සිට මෙසේ නිදහස්‌ව යැම දක්‌වා වූ කාලය තුළ සිදුවූ දේද බොහෝමයකි.

සරත් ෆොන්සේකා මහතාට නිදහස හිමිවී ප්‍රථම දිනය ගෙවී යමින් තිබියදී ඊයේ (22 වැනිදා) අප හා දුරකථනයෙන් සම්බන්ධවූ ඒ මහතාගේ වැඩිමහල් දියණිය වන අප්සරා ෆොන්සේකා තිලකරත්න මහත්මිය අප සමග ඒ අතීතය මෙසේ ආවර්ජනය කරන්නට වූවාය.

කොළඹ යුද හමුදා මූලස්‌ථානයේදී එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකින් සරත් ෆොන්සේකා මහතා මාරාන්තික ලෙස තුවාල ලැබුවේ එල්ටීටීඊයට එරෙහි යුද මෙහෙයුම් විජයග්‍රාහීව සිදුවෙමින් තිබියදී විය.

"ඔව් එදා මමයි, අම්මයි, නංගියි අපි තුන් දෙනාම මහා හයියෙන් හඬා වැටුණා. අපේ තාත්තට වුණු දේ අහලා. අපිට දරා ගන්න බැරි තත්ත්වයක්‌ වුණා ඒ සිදුවීම. සොල්දාදුවෙක්‌ විදිහට තාත්තා අපිත් එක්‌ක නිතර ළඟින් නොහිටියට අපේ තාත්තත් අපිත් අතර තිබුණේ ඒ තරම්ම දැඩි බැඳීමක්‌.

මට මතකයි ඒ දවස්‌වල තාත්තා අපෙන් ඈත් වෙලා යාපනයට හරි වෙන කොහෙ හරි දුරකට ගියහම අනිවාර්යයෙන්ම දවසට දෙපාරක්‌ දුරකථනයෙන් අපිට කතා කරලා දුක සැප බලනවා. කොයිතරම් කාර්යබහුල වුණත් කවදාවත් තාත්තා ඒක අතපසු කළේ නැහැ.

තාත්තා අපිට ඒ තරමටම ආදරේ සෙනෙහස දුන්නා. ඒ දවස්‌වල අපිට තිබුණ එකම සතුටත් තාත්තගේ ඒ ආදරේ විතරමයි.. මොකද ඒ දවස්‌වල අපි හිටියේ ගෙදර වුණාට ඒ ගෙදර තිබුණේ හමුදා මූලස්‌ථානය ඇතුළේ.

ඒක අධිආරක්‍ෂිත කලාපයක්‌. ආරක්‍ෂාව නිසා ඒ දවස්‌වල අපිට ගෙදරින් එළියට යැමකුත් නැහැ. ඒ නිසා ඒ කාලේ ඉඳන්ම අපිට සාමාන්‍ය ජීවිතයක්‌ තිබුණෙත් නැහැ. අපේ ජීවිතේ වුණේ තාත්තා. ඒත් එදා ඒටීටීඊයට පුළුවන් වුණේ නැහැ අපේ තාත්තව අපෙන් ඈත් කරන්න.

අප්සරා ෆොන්සේකා මහත්මිය කියන පරිදිම වේලුපිල්ලේ ප්‍රභාකරන් සිහින දුටු අයුරින් එදා සරත් ෆොන්සේකා මහතා බිලි ගැනීමට එල්ටීටීඊයේ මරාගෙන මැරෙන බෝම්බකාරියට නොහැකි වූවාය.

බරපතල තුවාල ලැබූ සරත් ෆොන්සේකා මහතා අසාධ්‍ය තත්ත්වයේ සිට වසරක පමණ ප්‍රතිකාරවලින් පසු යළි නැගී සිටියේය. එය එල්ටීටීඊය කිසිසේaත් බලාපොරොත්තු නොවුණක්‌ද වී තිබිණ.

එම කොටි ප්‍රහාරය හමුවේ සරත්a පොන්සේකා මහතාගේ රුධිරයෙන් මේ බිම තෙත් වෙද්දී එදා ඔහු එල්ටීටීඊයේ සිහින සුණු විසුණු කරමින් දැඩි චිත්ත ධෛර්යයෙන් යුතු ව යළි නැගී සිටියේ සිය බිරිඳ හා දරුවන්ගේ ආදරයට සහ රටේ බලාපොරොත්තුවලටද යළි පණ දෙමිනි.

1998 වසරේ අගභාගය යනු එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට එරෙහි විජයග්‍රාහී සටනේ නිමාව රටට පෙනෙමින් තිබූ හැරවුම සටහන් කෙරුණු කාලය ලෙස හැඳින්වුවහොත් එය නිවැරදි වන්නේය. සටනේ නිරත විරෝදාර රණවිරුවෝ සතුරාට එරෙහි නොනැවතී පහර දෙමින් අභීතව පෙරටම යමින් සිටියහ.

එල්ටීටීඊයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දිවි බේරාගෙන යළි නැගී සිටි සරත් ෆොන්සේකා මහතා තමන් විසින්ම පවත්වන සුපුරුදු වාර්ෂික මාධය සුහද හමුවට එක්‌වෙමින් ප්‍රථම වරට දෙස්‌ විදෙස්‌ මාධවේදීන් ඉදිරියට පැමිණියේ එසේ එල්ටීටීඊයේ අවසානය සනිටුහන් වෙමින් තිබූ 1998 වසරේ දෙසැම්බර් මාසයේදී විය.

එදා සුපුරුදු ලෙස මාධ්‍යවේදීන් සමග එක්‌ව විනෝදයෙන් කාලය ගත කරන අතරේ සරත් ෆොන්සේකා මහතා පැමිණ සිටි සියල්ලන් අමතා එක්‌තරා වටිනා ප්‍රකාශයක්‌ද කරනු ලැබීය. "මම මගේ ධුර කාලයේදීම එල්ටීටීඊයේ අවසානය සටහන් කරනවා.. එය යළි කිසිසේත්ම මීළඟ හමුදාපතිවරයාට භාර දෙන්නේ නැහැ.."

එදා සරත් පොන්සේකා මහතා මාධ්‍යවේදීන් ඉදිරියේ කළ ප්‍රකාශය එය විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රජයේ නිවැරදි දේශපාලන දැක්‌ම තුළ යුද හමුදාවට ලැබුණු ශක්‌තිය හමුවේ ඔහු කළ එම ප්‍රකාශය යථාර්ථයක්‌ වන අයුරු ඒ වන විට මුළු රටටම දැනෙමින් තිබිණ.

"මගේ තාත්තා මේ රටටත් ජනතාවටත් ගොඩක්‌ ආදරය කළා. ඒ වගේම තාත්තට රට වෙනුවෙන් සටන් කරන සොල්දාදුවන් පිළිබඳවත් ලොකු හැඟීමක්‌ තිබුණා. ඒක තාත්තගේ ළඟින්ම හිටිය අපි හොඳටම දැක්‌කා. තාත්තට ඒ දවස්‌වල හරිහැටි නින්දක්‌වත් තිබුණේ නැහැ.

රෑ දවල් දෙකේම තාත්තා හිටියේ යුද්දේ පිළිබඳ දැඩි අවධානයෙන්. සමහර දවස්‌වලට සටන් දරුණු වෙනකොට තාත්තා එළිවෙනකල් යුදබිමත් එක්‌ක සම්බන්ධ වෙලා හිටියා. අප්සරා ෆොන්සේකා මහත්මිය ඒ මතකය එසේ අවධි කළේ එසේය.

එදා කොළඹ බෞද්ධාලෝක මාවතේ යුද හමුදාපති නිල නිවසේ පැවැති මාධ්‍යවේදී සුහද හමුවේදී සරත් ෆොන්සේකා මහතා කී දේ සැබෑවක්‌ කෙරෙමින් මේ බිම වැනසූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පණ සුන් සිරුර නන්දිකඩාල් කලපුවේ වැටී තිබියදී රණවිරුවන් විසින් සොයාගනු ලැබුවේ ඊට හරියටම මාස පහකට පමණ පසු 1999 වසරේ මැයි මස 19 වැනිදා විය.

එය මුළු රටම අමන්දානන්දයට පත් කරවන්නක්‌ වී තිබිණ. රට පුරා ජනතාව ප්‍රීති උත්සව පවත්වමින් යක්‍ෂයාගේ නික්‌ම යැම සමරන්නට වූහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එදා කොළඹ අරලියගහ මන්දිරයේදීද විජයග්‍රහණය සමරා උත්සවයක්‌ පැවැත්විණි. ඒ උත්සවයේදී එක්‌තරා අපූරු සිදුවීමක්‌ද සිදුව තිබිණ.

විජයග්‍රහණයත් සමග මෙරට යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ජෙනරාල් නිලයෙන් පිදුම් ලැබූ හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා සහ ගුවන්, නාවික හමුදාපතිවරුන් ඇතුළු ප්‍රභූන් රැසක්‌ ඊට සහභාගි වී සිටියහ.

මේ උත්සවයෙදී එදා විජයග්‍රහණය සමරා කේක්‌ ගෙඩියක්‌ කපන අවස්‌ථාව උදා වෙමින් තිබිණ. එහිදී ජනාධිපතිවරයා එක්‌වරම සරත් ෆොන්සේකා මහතා අමතමින් ඔහුට කේක්‌ ගෙඩිය කපන ලෙස සඳන් කර ඇත්තේ ඊට නියම සුදුස්‌සා සරත් ෆොන්සේකා මහතා බවට තීරණය කරමිනි. එහෙත් එතැන් පටන් සියලු හැලහැපAපීම් කරලියට එන්නට වූයේ අනපේක්‍ෂිත අයුරිනි.

ගත වූයේ සති දෙක තුනක කාලයකි. සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධුරයෙන් ඉවත් කර ඒකාබද්ධ මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට පත් කරන්නට රජය පියවර ගනු ලැබුවේ මේ අතරතුරය.

මේකෙන් අපේ තාත්තා දැඩි කලකිරීමකට පත් වුණා.. මොකද තාත්තට ලොකු හැඟීමක්‌ තිබුණා යුද්දෙදී සටන් කළ සොල්දාදුවන් පිළිබඳව.

තාත්තට වුවමනාවක්‌ තිබුණා ඔවුන්ගේ මානසිකත්වය සාමාන්‍ය විදහට පත්කරලා ඔවුනට මානසික සහනයක්‌ ගෙන දෙන්න. මොකද ඔවුන් හුරු වෙලා හිටියේ යුද්ධ කරන්න. තාත්තා ඒක වටහාගෙන හිටියා.

ලෝකයේ අනෙක්‌ රටවල යුද්ධයකින් පසුව ඒ විදිහට යුද්ධ කරපු සෙබළුන්ව මානසික පරිවර්තනයකට ලක්‌ කරනවා. තාත්තටත් ඕන වුණා ඒ තත්ත්වයට අපේ සෙබළුන්වත් පත් කරන්න. එදා ඒක ඒ විදිහට සිද්ධ වුණා නම් අද රටේ තියෙන අපරාධ යම් මට්‌ටමකට අඩු වෙන්නත් ඉඩ තිබුණා.

අප්සරා ෆොන්සේකා මහත්මිය එදා සිදුවූ සරත් ෆොන්සේකා මහතාගේ කලකිරීම දියණියක ලෙස වටහා ගනිමින් ඒ පිළිබඳ කියා සිටියේ එවැන්නකි.

සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට අවතීර්ණ වීමේ කතාව ඇරඹෙන්නේ රජය මගින් ඔහුව මෙසේ හමුදාපති ධුරයෙන් ඉවත් කර ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධාන ධුරයට පත් කිරීමත් සමගිනි.

එකී ආගමනය සිදු වූයේ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස වැඩ භාර ගනිමින් සරත් ෆොන්සේකා මහතා විසින්ම "දේශපාලනයට පැමිණ තමන් මෙතක්‌ සොල්දාදුවකු ලෙස ගොඩනගාගත් කීර්ති නාමය විනාශ කර නොගන්නේ යෑයි" මාධ්‍ය ඉදිරියේ පවසා සිටියදී වීමද විශේෂත්වයකි.

"තාත්තා දේශපාලනයට එන්න හදනකොට අපි තාත්තාට කිව්වා රට වෙනුවෙන් ගොඩාක්‌ දේවල් කළානේ ඒ නිසා අපි ගැන පවුල ගැන හිතලා දැන් අපිත් එක්‌ක ඉන්න කියලා.

ඒත් එදා තාත්තා අපිව ළඟට අරගෙන හුඟක්‌ ආදරෙන් කිව්වා යුද්දෙට ගිය සොල්දාදුවෝ විශාල පිරිසක්‌ නැති වුණා. ඒ සොල්දාදුවන්නේ දරුවෝ බිරිඳ නිකම් හරි කිව්වා නම් යුද්දෙට යන්න එපා කියලා අද රටට මොකද වෙන්නේ කියලා.

තාත්තා අපිට තේරුම් කරලා දුන්නා තමන් යුද්ධ කරල මිය නොගිය සොල්දාදුවෙක්‌ විදිහට රටට කෙරෙන්න තවත් දෙයක්‌ ඉතුරු වෙලා තියෙනවා නම් ඒ ටිකත් කරන්න ඕනේ කියලා. තාත්තා එහෙම තේරුම් කරලා අපිට කියනකොට පස්‌සේ අපිත් තාත්තාගේ අදහසට එකඟ වුණා.

ඉකුත් 2010 වසරේ ජනාධිපතිවරණයට සරත් පොන්සේකා මහතා ඉදිරිපත් වූයේ එකී දේශපාලන ආගමනයත් සමගිනි. ඔහුගේ ඉදිරිපත් වීමත් සමග එක්‌සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂයද ඔහු වටා එක්‌ වූයේ සරත් ෆොන්සේකා මහතා ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස හඳුන්වමිනි.

එම මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා මනාප ඡන්ද හතළිස්‌ එක්‌ලක්‍ෂ හැත්තෑතුන්දහස්‌ අසූපහක්‌ ලබා ගත්තද ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවීය. සියලු බේද කෙරීම් අතරේ සරත් පොන්සේකා මහතාගේ සිරගත ජිවිතයේ ආරම්භ සිදු වන්නේ මෙම මැතිවරණ අවසානයත් සමගිනි.

යුදහමුදා සේවයේ සිටියදී සිදු කළ සිද්ධීන් කිහිපියක්‌ මුල් කර ගමින් සරත් ෆොන්සේකා මහතා ඉකුත් 2011 වසරේ පෙබරවාරි මස 8 වැනිදා යුද හමුදා අත්අඩංගුවට පත් වන්නේ මේ අතරතුරය.

"ඇත්තෙන්ම දිනන පැරදෙන එක සාමාන්‍ය දෙයක්‌. තාත්තා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට අපි ජය පරාජයට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියේ. ඒත් එදා තාත්තව අත්අඩංගුවට ගන්න එකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා හිටියේ නැහැ.

අපිට ඒක දරා ගන්න බැරුව ගියා. මගේ තාත්තා හැමදාම යුද හමුදාවේ පැත්ත ගත්ත කෙනෙක්‌. එදා හමුදාව තාත්තව අත්අඩංගුවට ගත්තා කියලා ආරංචි වුණහම මම ගොඩක්‌ කළකිරීමට පත්වුණා. මට හිතා ගන්න බැරි වුණා අපේ තාත්තට ඇයි හමුදාව මෙහෙම කළේ කියලා.

පස්‌සේ අම්මා අපිට තේරුම් කරලා දුන්නා මේක හමුදාවේ වැඩක්‌ නෙමේ තාත්තත් එක්‌ක තරහෙන් හිටපු හමුදාවේ ඉහළ අයගේ වැඩක්‌ බව.

සරත් ෆොන්සේකා මහතාගේ සිරගත ජීවිතයේ ආරම්භය පිළිබඳ ඇය අප හා පැවැසුවේ එවන් කතාවකි. මේ සිරගත ජීවිතයේ ආරම්භයෙන් පසු සරත් පොන්සේකා මහතාට විශේෂ ජනාධිපති සමාවක්‌ හිමි වූයේ ඒ මහතාට එරෙහිව යුද අධිකරණයක්‌ මගින් ලබා දුන් වසර දෙකහාමාරක සිරදඬුවමක්‌ විඳිමින් සිටියදී සහ මහාධිකරණය මගින් සුදු කොඩි නඩුවට ලබා දුන් තෙවසරක සිරදඬුවමක්‌ ඉදිරියේ විය.

ජනාධිපතිවරයා ගනු ලැබූ එකී තීරණය පිළිබඳ කතාව කරලියට පැමිණියේ මීට සති දෙකක පමණ ඉහතදී සිට වේ.

"ඇත්තෙන්ම ඒ කතාව ආරංචි වුණහම අපි හරියට සතුටු වුණා. තාත්තට මේ නිදහස ලැබුණේ අවුරුදු දෙකකට විතර පස්‌සේ. ඒ අවුරුදු දෙකේම අපි හිටියේ ඇඬූ කඳුළින්. අපේ එකම ඉලක්‌කය වෙලා තිබුණේ තාත්තව කොහොම හරි නිදහස්‌ කරගන්න එක පිළිබඳව.

දැන් අපිට හරිම සතුටුයි. ආයෙත් තාත්තත් එක්‌ක පවුලක්‌ විදිහට අපිට එකතු වෙන්න ලැබුණා. තාත්තා ගෙදර ආපු පෙරේදා දවස අපේ ගෙදර තිබුණේ පුදුමාකාර සතුටක්‌. ඇත්තෙන්ම ඒක වචන කරන්න බැහැ.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කෙරුණු දිනයේ ජනතාව අමතා කළ ප්‍රකාශ මගින් ඉඟි කෙරුණේ ඒ මහතා නැවතත් දේශපාලනයේ යෙදෙන්නට අදහස්‌ කර ඇති බවකි. වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙමින් තමන් වෙනුවෙන් පෙනී සිටි ජනතාව දිවිහිමියෙන් අමතක නොකරන්නේ යෑයි සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයෙන් ම එය ගම්‍ය වේ.

"ඔව් මගේ තාත්තා ආයෙත් දේශපාලනයට එයි. අපේ තාත්තා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක්‌. මේ රටේ දේශපාලනඥයෝ වගේ අපේ තාත්තා ජනතාවට බොරු කරන කෙනෙක්‌ නෙමේ. ඒ නිසා තාත්තා කරන හැම දෙයක්‌ පසුපසම අපි ඉන්නවා. අපේ තාත්තා අපිට වගේම මේ රටටත් ආදරෙයි. ඒකයි ඇත්ත.

සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.