රැව් පිළි රැව්
සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමතුම


හරය වෙනුවට (කුණු)
රසම සොයන නාගරික ගොසිප් මනස

නූතන සයිබර් අවකාශයට ගොසිප් උගතුන්ගේ ආගමනය

අනූව දශකය වන විටද අන්තර්ජාලය ලොවපුරාද ප්‍රචලිත තොරතුරු හුවමාරු මාධ්‍යක්‌ ලෙස හොඳින් වර්ධනය වී නොතිබිණ. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය කරලියට එන්නේ 2000 වසරෙන් පසු කාලය තුළදීය. වසර 2000 වනවිට සමස්‌ත ජනගහනයෙන් 1% පමණ තිබූ අන්තර්ජාල භාවිතාව 2012 වනවිට 20% පමණ මට්‌ටමකට වර්ධනය වී තිබීමෙන් පෙන්නුම් කරනුයේ අන්තර්ජාලය අප සමාජය හරහා හඹායන වේගයේ ප්‍රමාණයයි.

එයිනුත් වසරක දෙකක පමණ කාලයකදී අන්තර්ජාල භාවිතය පෙර වසරට සාපේක්‌ෂව දෙගුණයකින් පමණ වර්ධනය වන බවට ලැබෙන සංඛ්‍යා ලේඛනවලට අනුව නම් තව අවුරුදු 5 කදී පමණ මෙය (ජංගම දුරකථන මෙන්ම) 100% වන බව තාර්කිකව පෙනේ. නමුත් එලෙස වීමට ඇති ඉඩ අවමය. යම් මට්‌ටමක භාෂාමය හා තාක්‌ෂණික අතේ හුරුවක්‌ අවැසි මාධ්‍යයක්‌ බැවින් මේ වර්ධනය ටික කලකදී සංතෘප්ත මට්‌ටමකට එළඹ වර්ධනයේ වේගය අඩුව නුඇත.

ලංකාව තුළ පෙන්නුම් කරන මෙම අධිවේගී වර්ධනය (අන් රටවලට සාපේක්‌ෂව තවම මුළු ගණනින් අප පහළ තලයක සිටින බව සැබෑය. එසේ වුවත් පෙන්නුම්කරන වර්ධන රැල්ල ඒ සීමා අතික්‍රමණය කරන බවට සැක නැත) 80 දශකයේ ඇරඹි රූපවාහිනී රැල්ල දශකයක්‌ පමණ කාලයකදී ගම්දනව් සිසාරා පැතිර ගියේ කෙසේද, එසේ නැතහොත් 90 දශකයේ අගින් ඇරඹි ජංගම දුරකථන රැල්ල දශකයකදී පමණ ජංගම දුරකතන වලින් පරිපූර්ණ වෙමින් ව්‍යාප්ත වූයේ කෙසේද, එලෙසම ඉදිරි දශකය තුළදී අන්තර්ජාල මෙවලම ප්‍රමුඛම තොරතුරු හුවමාරු මාධ්‍යවීම අනිවාර්යවේ.

කලකට පෙර නාගරික ඉහල ආර්ථික වරප්‍රසාධිතයින්ට සීමාවූ අන්තර්ජාල භාවිතාව කෙමෙන් නාගරික මධ්‍යම තලය හරහා අද වනවිට නාගරික සීමාවෙන් ඔබ්බට යමින් ගම් දනව් කරාද ඇදෙමින් පවතී. ලෝකය පුරාම හඹා යන එම තොරතුරු තාක්‌ෂණ සුනාමි රැලට ආර්ථික වලයේ පරිධිය ආසන්නයේ සිටින අප වැනි රටවල්ද පහසුවෙන් ගොදුරු බවට පත්වීම අනිවාර්ය සාධකයක්‌ වී තිබේ. අන්තර්ජාලය ප්‍රචලිත තොරතුරු හුවමාරු මාධ්‍යක්‌ ලෙස වර්ධනය වීමත් සමග පසුගිය අඩ දශකය තුළදී පමණ මාධ්‍ය ලෝකයද ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතින බව පෙනේ.

අන්තර්ජාල භාවිතය මෙලෙස හැල්මේ දිව්වත් ඒ හා බැඳුනු අත්‍යවශ්‍ය හර පද්ධතියක්‌ ඒ හා සමගම වර්ධනය නොවීම ඉදිරියේ සමාජ ව්‍යසනයකට හේතුවක්‌ වනු ඇතැයි දැනුවතුන් ඉදිරිපත් කරන මතය හුදු ප්‍රලාපයක්‌ම නොවේ. අන්තර්ජාල ව්‍යාප්තියත් සමගම ඒ හා බැඳුණු සමාජ ව්‍යාධීන් රැසක්‌ද කෙමෙන් කෙමෙන් මුල් අදිමින් ඇත්තේ රූපවාහිනිය, ජංගම දුරකථනය ආදිය මගින් ඒවායේ උපයෝගීතාවයට එහා ගිය අනර්ñන් රාශියක්‌ සමාජගත වූවාටත් වඩා භයානක ලෙස අධික වේගයෙනි. සමාජ හරයන් විනාශ කරන නහුතයක්‌ විධි මේ තුළ ඇතත් මෙහිදී කෙටියෙන් නමුත් සටහන් කරනුයේ අන්තර්ජාල භාවිතා කරන්නන් අතරත් zවිදග්ධZ යෑයි හඳුන්වා ගන්නා කුලයට අයත් වූවන් අතර පැතිරෙන ඕපාදූප මාධ්‍ය කලාව ගැනයි.

Gossip යන සාඩම්බර නාමය නැතිව ඕපදූප යන වචනය ඇසෙන විට බොහෝ දෙනාගේ සිතට මුලින්ම එන්නේ එය zවිදග්ධZ එසේ නැතහොත් zප්‍රබුද්ධZ සමාජයට ඈතින් ඇති ප්‍රාථමික ගෝත්‍රික ලක්‌ෂණයක්‌ ලෙසය. නමුත් අද වන විට එම අදහසට හිමිව තිබූ සීමිත වලංගු භාවයද අහිමි වී ඇති බව අප වටහා ගත යුතුය. සමාජ ජාලා නිර්මාණකරුවන් මහත් සේ ලොබබැඳි, සකල ලෝවාසී ජනයා පෙළන ව්‍යාධිය නම් මේ ඕපාදූප හඹා යැමයි. ස්‌වභාවයෙන්ම සියලුම මට්‌ටම්වල පෘථග්ජන මනස්‌ නිරතුරුව ඇදී යන්නේ අර්ථාන්විත හරයන් වෙත නොව ප්‍රාථමික යෑයි හඳුන්වන ඕපාදූප මානසිකත්වයටයි. ෙµස්‌බුක්‌ වැනි සමාජ ජාලාවල පැවැත්ම තහවුරු වෙන්නේ මෙම ගොසිප් හෙවත් ඕපාදුප මානසිකත්ව පාදම ලෙස නිවරදි ලෙසම සකර්බර්ග්ලා විසින් වටහාගෙන ඇති බැවිනි. පූර්ව සමාජ සබඳතාවලින් ගලවා හුදකලා කර ඇති නූතන මිනිසා (එදා පන්සලෙන්, බණමඩුවෙන්, ශ්‍රමදානයෙන්, මරණාධාර සමිතියෙන්, මංගල්ලයෙන් එක්‌ වූවන් අද හුදකලා වී ඇත. කොන්ක්‍රීට්‌ තාප්පයේ සීමාවට කොටුවුණු ජීවිත පෙළන මේ හුදකලාව සමාජ ජාල තුළ ගිලීයාම තර්කානු කූලය.) මේ මාධ්‍යවල ගොදුරු බවට පත්වීම පුදුමයක්‌ නොවේ.

කෙසේ වෙතත් මින් පෙර නොදියුණු යෑයි හැඳින්වූ ග්‍රාමීය සමාජය තුළ ගෝත්‍රික ලක්‌ෂණයක්‌ ලෙස අර්ථ ගැන්වූ ඕපාදූප කලාව (කෙටියෙන් කියන්නේ නම් zළිඳ ළඟ සංගමයZ) සයිබර් අවකාශය හරහා නිවසටම පැමිණ ඇත්තේ ළිඳ අහිමිව නළ දිගේ ජලය පැමිනෙන අයුරින්මය. සමාජ ජාලා  යන සාඩම්බර හැඩගැන්වීමට මුවාවෙමින් එදා නොදියුණු ගෝත්‍රික ප්‍රාථමික ලක්‌ෂණයක්‌ ලෙස අර්ථගැන්වූ ඊනියා දැනුවත් සමාජයද අද වනවිට ඒ නරාවළටම වැටී ඉන් ගොඩ යා ගත නොහැකිව තව තවත් ඒ ගොහොරුවේ එරෙමින් සිටිනු පෙනේ.

සමාජ ජාලා ඇබ්බැහිය එලෙස වෙද්දී පසුගිය දෙවසරක පමණ කාලයක සිට පිළිලයක්‌ සේ වැඩෙන අනෙක්‌ ව්‍යාධිය නම් ඕපාදූප පුවත් හෙවත් (GossipNews) රැල්ලයි. සමාජ හරයන් බින්දුවට දමා අමුතුම ආරක ගමනක්‌ යන මේ ඕපාදූප මාධ්‍ය කලාව අද වන විට වසංගතයක්‌ තරමට වර්ධනය වෙමින් තිබේ. තවමත් වැඩිපුරම නාගරික ඊනියා දැනුවත් සමාජය වෙලාගෙන ඇති මෙම විකෘතිය 80 දශකයේ බිහිවූ ටැබ්ලොයිඩ් පුවත් කලාවේ තාක්‌ෂණික දිගුවක්‌ යෑයි සමහරුන් අර්ථ ගන්වනු පෙනේ. නමුත් ටැබ්ලොයිඩ් පුවත් සතුව පවා පරමාදර්ශී නොවුනත් යම්කිසි ඉලක්‌ක සහගත අරමුණක්‌ තිබූ අතර ඒ පිටුපස සිටි දැනුවත් දැවැන්ත මාධ්‍ය චරිත සමග සැසඳීමේදී අද ඇත්තේ හරයන් කෙතරම් කේඩෑරීවී ගිය පුහු පුවත් කලාවක්‌දැයි වටහා ගත හැක.

එක්‌ සාධු අරමුණක්‌ වෙනුවෙන් පෙළගැසීම හෝ සමාජ අගතීන් පෙන්වා දෙමින් ඒවා නිවරදි කරගැනීමේ ක්‍රියා පිළිවෙළක්‌ වෙනුවට අද ඇත්තේ හුදු ජනප්‍රිය වීමම මුල් කරගනිමින් නිර්මාණය වන අරුත් සුන් වාග් මාලාවක්‌ පමණි. සත්‍ය අසත්‍ය භාවය හෝ සමාජ හරයන්ට ඉන් අවැඩක්‌ සිදුවේද යන්න මේ zඕපාදූප වෙළෙන්දන්ටZ වැදගත් නැත. ජනප්‍රිය වේ නම් ඕනෑම අසූචි ගොඩකට අයිසින් දමා රස අහරක්‌ ලෙස එම රස සොයන්නන්ට බෙදීම ඔවුන්ගේ අරමුණයි. උවමනාවෙන්ම වැර යොදා හුදු විවේචකයකුගේ භූමිකාවට පණ පොවන මේ ඕපාදූප වෙළෙන්දන් අවසානයේ බිහිකරමින් සිටිනුයේ මතුපිටින් අතගා කෙටි නිගමනවලට එළඹෙන බොරු පණ්‌ඩිත මාÎපුස්‌සන් රැලකි. සාහිත්‍යය, කලාව, සෞන්දර්යවැ නිමල් සුවඳ සොයන්නන් වෙණුවට මේ හරහා නිර්මාණය කෙරෙනුයේ අනුන්ගේ ඕපාදූප කුනුගොඩ අවුස්‌සා මනසින් ආස්‌වාදය ලබන හීනමානයෙන් පෙළෙන කබරයින් සදැසි නිවටයින්ය. සරල උදාහරණයකින් කිවහොත් ගීතයක ආස්‌වාදය ලැබීමට වඩා එම ගීතය ගයන ගායකයාගේ හොර අඹුව ගැන කුණු ඇවිස්‌සීමට මේ සයිබර් අබිලිංලා වැඩි මනාපයක්‌ දක්‌වති. අබිං කෑවාක්‌ මෙන් මේ කුණු රසට ඇබ්බැහි වූවන් එයින් මුදා ගැනීම අතිශය දුෂ්කරය. ඕපාදූප වෙළෙන්දන්ගේ වෙළඳ අරමුණුවලට මේ පුස්‌සන් හොඳ උත්ප්‍රේරකයකි. මේ බොහෝ zපඬිවරුන්Z ඉන්පසු මේ දියත අතැඹුලක්‌ සේ දනිතියි සිතූවන් මෙන් රඟමින් සමාජයම මහා විකෘතියක ගිල්වමින් සිටී.

මෙයින් සිදුවන බරපතල අගතිය නම් සමාජීය කරුණු පිළිබඳ හරවත් සංවාදයකට ඇති අවකාශය ඇහිරී යාමයි. පඳුරකට පයින් ගැසූවිට දුසිම් ගණනින් විසිවන zගොසිප් උගතුන්Z බිහිවී ඇති වටපිටාවක ඒ ඒ විෂයන් ගැන ප්‍රාමාණික දැනුමක්‌ ඇති දැනුවත් මිනිසුන් නොසලකා හැරීම සුළුවෙන් තැකිය හැකි ව්‍යසනයක්‌ නොවේ. ගොම රිටිවලට ඉඩදී මැජික්‌ යට යැම නිරෝගී සමාජ පැවැත්මට හිතකර කරුණක්‌ නොවන බව අප වටහා ගත යුතුය. මේ ව්‍යාධියේ තරම කොතෙක්‌දැයි බැලීමට මෑත කාලීන පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා කිහිපයක්‌ පෙරළා බැලීම ම සෑහේ. උගත් දැනුවත් යෑයි සැලකෙන පාර්ලිමේන්තු නියෝජිතයන් පවා තම කතාවලට පදනම ලෙස ගෙන ඇත්තේ මේ 'ඕපාදූප' ආරංචියි. ආර්ථික දර්ශන , සාමාජීය පර්යේෂණ වලට හිමි ඉඩමේ ප්‍රලාප මගින් අතික්‍රමණය කිරීමෙන් පෙන්නුම් කරනුයේ අනාගත පරපුර හරය නොහඳුනන, (කුණු) රසම සොයන පුහු මිනිසුන්ගේ ඒකාධිකාරයට යට වීමේ ව්‍යසනයේ පෙරමග ලකුණු නොවේද?

මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් දැනුවත් සංවාදයක්‌ ගොඩනැගීම අත්‍යවශ්‍ය කරුණක්‌ නමුදු මේ ඕපාදූප වෙළෙන්දන්ගේ අධිකාරී බලයට එරෙහිව එවැන්නක්‌ සිදු කළ හැකිදැයි සැක සහිතය. කෙසේ හෝ කළ යුතුව ඇති එම සංවාදය හරහා නිරෝගී සමාජ අවශ්‍යතාවය සපුරාලීමට නම් විචාරශීලීත්වයට රුකුල් දෙන පුවත් කලාවක්‌ මෙන්ම ඒ සමගම සමාජ හරයන් මෙන්ම එහි වගකීම් හඳුනාගත් දැනුවත් සමාජ ජාලා භාවිතයක්‌ නිර්මාණය කර ගත යුතුය. අද දවසේ සයිබර් අවකාශයේ වගකීම් හඳුනන මිනිසුන් ඉදිරියේ ඇති අභියෝගය එයයි.

කැලුම් නිරංජන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.