භික්‌ෂු දේශපාලනය පිළිබඳ හදිසි අනුකම්පාව

රළුවේ පද්මසිරි හිමි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා විසින් පෞද්ගලික යෝජනාවක්‌ සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආගමික නායකයන්, පූජකයන්, පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා ආදී පක්‍ෂ දේශපාලනයේ සක්‍රීයව නිරතවීම වැළැක්‌වීමේ සැබෑ අරමුණින් ගෙන ආවේ යෑයි පවසන පෞද්ගලික පනත් කෙටුම්පත පිළිබඳ විවිධ කියවීම් අසන්නට ලැබේ. එම කෙටුම්පතෙහි අන්තර්ගතය පිළිබඳ විධිමත් දැනුවත් කිරීමක්‌ සිදුකර නොමැති අතර එබැවින් ඒ පිළිබඳ විධිමත් සාකච්ඡාවක්‌ සිදුකළ නොහැකියි. එහෙත් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා සිදුකර ඇති දැනුවත් කිරීම සහ විජයදාස රාජපක්‍ෂ මහතාගේම විද්යුත් මාධ්‍ය පැහැදිලි කිරීම්වලට සවන් දුන් විට මතු වන ගැටලු කිහිපයක්‌ පිළිබඳ පමණක්‌ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ. මෙහිදීත් සාකච්ඡා කරන්නේ මෙම පනත මගින් බෞද්ධ භික්‌ෂු ජීවිතයට සිදු කළ හැකි බලපෑම පිළිබඳ පමණකි.

පූජක පිරිස්‌ හෝ ආගමික නායකයන් ප්‍රායෝගික දේශපාලනයෙහි සක්‍රීයව නිරතවීම වර්තමානයේ ලාංකේය සමාජයේ ඇති සංකීර්ණම හා බරපතළම ගැටලුව සේ සලකා මෙම පනත් කෙටුම්පතෙහි ස්‌වභාවයෙන් හා එය හඳුන්වා දෙන ලද අවස්‌ථාව අනුව පැහැදිලි වේ. රාජපක්‍ෂ මහතාගේ මුවින් මේ පිළිබඳ පිටවන වචන පිළිබඳ විමසීමේදී පැහැදිලි වන කරුණු කිහිපයකි. ඔහු බුදු දහමට අතිශයින් ශ්‍රද්ධාවන්ත බැවින් භික්‌ෂූන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීම හෝ වෙනත් සක්‍රීය දේශපාලනයක නිරතවීම නිසා ඇතිවන මහා ශාසනික සෝදාපාලුවෙන් බුදු දහම බේරා ගැනීම මෙම කෙටුම්පත ගෙන ඒමේ එකම පිරිසිදු අදහස බව ඔහු ප්‍රකාශ කරයි. ඔහුගේ නිර්ව්‍යාජ අරමුණ වර්තමානේ බුදුදහම සුරක්‌ෂිත කොට මීළඟ පරපුරට උරුම කිරීම නම් මෙම අනුකරුණට වඩා බරපතළ, අතිශයින් සංකීර්ණ වූ හා වහ වහා පිළිතුරු සොයා ගත යුතු ශාසනික ගැටලු තිබෙන බව ඔහුට නොපෙනේද? උතුර - නැගෙනහිර නැසීයන බෞද්ධ උරුමය ආරක්‌ෂා කිරීමට මේ මහතාගේ මහා ඥාන සම්භාරය භාවිත කළ නොහැකිද? එතුමා දැන දැනම වළපල්ලට යෑවීමට සැලසුම් කරන ජාතික හෙළ උරුමයෙහි භික්‌ෂුන් විසින් ඉදිරිපත් කළ අන්‍යාගමික පනත සම්මත කිරීමට එතුමා මැදිහත් වී එක්‌සත් ජාතික පක්‍ෂයේ ද සහයෝගය ලබා නොදුන්නේ මන්ද? මෑතකදී සිදුවූ බෞද්ධ උරුමයන් පිළිබඳ ගැටලුකාරී අවස්‌ථාවන්හිදී මුස්‌ලිම් කොංග්‍රසය ඇතුළු බොහෝ මුස්‌ලිම් මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආගමික අයිතිවාසිකම් පිළිබඳ විවෘතව සාකච්ඡා කරද්දී, අභියෝග කරද්දීත් මුනිවත රැකීමට මේ මහතාව පෙළඹ වූයේ කවර හේතු සාධකද? වලස්‌මුල්ල වැනි පිටිසර ගම්මානයක ඉපිද අතීත ශ්‍රී ලාංකික භික්‌ෂූන්ගේ ද යම් යම් කැප කිරීම් තුළින් නිර්මාණය කරදුන් නිදහස්‌ අධ්‍යාපනයෙන් උපකාර ගෙන උගතකු බවට පත් රාජපක්‍ෂ මහතා භික්‌ෂුවගේ සක්‍රීය දේශපාලනය කල්පාන්තය තෙක්‌ තහනම් කිරීමට තරම් කාරුණික වීම කෙතරම් දුරට කෘතඥ පූර්වක එළඹුමක්‌ද? ඉහත සඳහන් කිසිදු අවස්‌ථාවක දී ඒවාට සක්‍රීයව සහභාගි නොවූ මේ මහතාගේ මහා ශ්‍රද්ධාව හිටි හැටියේම පැන නැග්ගේ කෙසේද? මහා ශාසනික සංශෝධනයක ආරම්භය සඳහා භික්‌ෂුව සක්‍රීය දේශපාලනයේ යෙදීම නමැති ක්‍ෂුද්‍ර සමාජ සාධකය තෝරා ගන්නේ කුමන අරමුණක්‌ සහිතවද? ආදී ප්‍රශ්න රැසක්‌ මේ පිළිබඳව අප සිත් තුළ පැන නැඟේ.

විජයදාස රාජපක්‍ෂ මහතාගේ මෙම ක්‍ෂණික ව්‍යාපෘතිය සැක කිරීම සැබැවින්ම සහේතුකය. ඉන් පළමු පැනය වන්නේ මෙම යෝජනාව සැබවින්ම ඔහුගේ සිතෙහි සත්භාවයෙන් ජනිත වූවක්‌ද යන්නයි. මන්ත්‍රීවරයකු ලෙස එතුමාගේ විෂයය වන්නේ බුදු දහම හෝ ආගම් අධ්‍යයනය නොවන බව ශ්‍රී ලාංකිකයෝ දනිති. එවැනි පසුබිමක්‌ තුළ මෙවැනි යෝජනාවක්‌ ගෙන ඒම සඳහා බලපෑ අප්‍රකට හේතු තිබිය යුතුය. ප්‍රකට හා අප්‍රකට හේතු මත පක්‍ෂ මාරු කරන දේශපාලකයන්ගේ අදහස්‌ කලින් කල විතැන්වීම කිසිවෙකුට අරුමයක්‌ නොවේ. එවැනි ඉතිහාසයක්‌ සහිත දේශපාලකයකුට සක්‍රීය දේශපාලනයේ නිරත වීමට භික්‌ෂුවක්‌ සතු නෛතික හිමිකම අවසන් කරන්නට සිතෙන්නේ අහේතුවක්‌ද? එසේ නොමැති නම් අප්‍රකට පුද්ගලයකුගේ, පක්‍ෂයක, ආයතනයක හෝ වෙනත් ආගමික අවශතාවක්‌ මත මෙවැනි ෙච්තනාවක්‌ එතුමාට පහළ වූයේද? එසේ නොවී මෙම පනත් කෙටුම්පත පිsරිසිදු අදහසින්ම ගෙන ආ බව තහවුරු කිරීමට සාක්‌ෂි ඔහු සතුද? යන පළමු ප්‍රශ්නයට අදාළව නැගෙන අනුප්‍රශ්න කිහිපයක්‌ පමණි.

දෙවැනි ප්‍රශ්නය වන්නේ ලංකා සමාජයේ මේ වනවිට පවතින ගැටලු ප්‍රමුඛතා ලැයිස්‌තුවක්‌ සකස්‌ කළහොත් ඉන් ප්‍රධාන ගැටලුව වන්නේ භික්‌ෂුව සක්‍රීය දේශපාලනයේ නිරතවීමද? අනෙක්‌ සමාජ ආයතන පසෙක තිබියේවා· මේ මොහොතේ සිදුවන පුරාවස්‌තු සංහාරය පිළිබඳ විධිමත් අධ්‍යයනයක්‌ කොට එය වැළැක්‌වීමට වැඩපිළිවෙළක්‌ මෙසේ කඩිනමින් සකස්‌ කළ නොහැක්‌කේ මන්ද?

මෙවැනි යෝජනාවලියක්‌ සැකසීමේ එකම පිරිසිදු අදහස වන්නේ බුදුසසුන පරිහානියෙන් වළක්‌වාලීම යෑයි අපි මොහොතකට සිතමු. භික්‌ෂුන් සක්‍රීය දේශපාලනයේ නිරත වීම මෙම පනතේ උපකාරයෙන් වැළැක්‌වූ වාම යෑයි සිතමු. මෙසේ අපහසුවෙන් නිර්මාණය කරගත් නව තත්ත්වයන් හමුවේ බුදුසසුන සම්පූර්ණයෙන්ම පිරිසිදු වන බවට සහතිකයක්‌ ලබා දීමට රාජපක්‍ෂ මහතාට හැකිද? විවිධ ගැටලු නිසා සිවුරු හැර යන භික්‌ෂුන්ගේ ප්‍රතිශතය මෙමගින් විසඳීම කෙසේ වෙතත් එම ප්‍රතිශතයේ අවම වීමක්‌වත් සිදුවේද? වැසීයන විහාරස්‌ථානවලට අවශ්‍ය කරන භික්‌ෂූන් වහන්සේ මේ සමඟ නිර්මාණය වේද? නිකාය භේදය හා ඒ ආශ්‍රිත දේශපාලන ක්‍රියාකාරකම් මෙමගින් නවතීද? රාජපක්‍ෂ මහතා අපේක්‌ෂා කරන ආකාරයේ පූර්ණ පරිවර්තනයකට භික්‌ෂූන් වහන්සේ සූදානම්ද? මෙම කෙටුම්පත නිසා එක දවසකින් දෙකකින් හෝ අවුරුද්දකින් සියලු පිරිහීම්කාරකවලින් බුදු සසුන නිදහස්‌ වේද?

මෙහි තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ මේ නිහඬ කරන්නට යන්නේ ලාංකේය භික්‌ෂුවගේ අදීනත්වයේ උරුමයයි. හෙට දවසේ මෙම යෝජනාව සම්මත වුවහොත් තවත් මසකින් මීට ඇමුණුම් එකතු විය හැකිය. එසේ නැතහොත් ඊට සම්බන්ධකොට හෝ නොකොට නව පනත් කෙටුම්පත් ඉදිරිපත් විය හැකිය. එවැනි තවත් නව පනත් කෙටුම්පතකින් භික්‌ෂුවගේ ඡන්ද අයිතිය අහිමි කිරීම පහසුවෙන් සිදුකළ හැකිය. මෙවැනි යෝජනාවක්‌ ගෙනෙන රාජපක්‍ෂ මහතා එවැනි ක්‍රියාවක්‌ නොකරතැයි සැක කිරීමට කිසිදු හේතුවක්‌ නැත. එවැනි දෑ සාධාරණීකරණය කිරීම පිණිස එතුමා පවසනු ඇත්තේ ඡන්දය අගතියක්‌ බවයි. භික්‌ෂුව ඡන්දය පාවිච්චි කරන විට ගම බෙදෙන බවයි. සියල්ලන්ටම පොදුවේ මෛත්‍රී කරන්නට ඡන්දය දෙන භික්‌ෂුවට නොහැකි බවය. ධර්මය එහි මූලික ස්‌වභාවයන් හා සංඝ සමාජයේ වර්තමාන අභියෝග ආදී සියල්ල මිශ්‍ර කරගෙන වචන හරඹ සිදුකොට එමගින් පමණක්‌ භික්‌ෂුන් පෞද්ගලිකවත්, පොදුවේත් එසේම රටක්‌ ලෙස පොදුවේත් මුහුණ දී ඇති ගැටලු විසඳිය හැකි යෑයි උපකල්පනය කිරීම දිවා සිහින මන්දිරයක තනිවීමක්‌ නොවෙන්නේ කුමන අර්ථයකින්ද?

පාර්ලිමේන්තුව මෙම කෙටුම්පතට සහයෝගය දැක්‌වූයේ යෑයි අපි සිතමු. එවිට සිදුවන්නේ සැබැවින්ම අනාගතයේදී අත්‍යවශ්‍ය අවස්‌ථාවක හෝ සක්‍රීය දේශපාලනයක නිරතවීමට භික්‌ෂුව සතු අවස්‌ථාව සදහටම නිහඬ කිරීමයි. එවැනි තත්ත්වයක්‌ හමුවේ තුනෙන් දෙකේ බලයකින් එම නීතිය වෙනස්‌ කරන තෙක්‌ නැවත වරක්‌ භික්‌ෂුවට මේ අවස්‌ථාව ලබා නොගත හැකිවීම අනිවාර්යය. ලංකාවේ ජන අනුපාතයේ හා ආගමික අනුපාතයේ විවිධ වෙනස්‌කම් සීග්‍රව සිදුවෙමින් පවතින බව ඇස්‌, කන් ඇති ඕනෑම කෙනෙක්‌ දනිති. එවැනි තත්ත්වයන් හමුවේ යම් හෙයකින් සක්‍රීය දේශපාලනයේ නිරතවීමට අවශ්‍යතාවක්‌ උදාවූ විට තමන්ගේ ජීවිතය හැර වෙනත් හිමිකමක්‌ නොමැති භික්‌ෂුවකට ඊට මැදිහත්වීමට හා ව්‍යවස්‌ථාදායක සභාවේ සිටීමට ඇති අවස්‌ථාව මින් සදහටම අහෝසි කෙරේ. එවිට එවැනි අවස්‌ථාවක්‌ උදා වුවහොත් ඒ අවස්‌ථාව නැවත තමන් මැදිහත්වී ලබා දෙන බවට හෝ තමන්ගේ පක්‍ෂය ඒ සඳහා ක්‍රියා කරන බවට තහවුරුවක්‌ ලබා දීමට මේ මහතාට කළ හැකිද? මෙවැනි තත්ත්වයකට කදිම නිදර්ශනයක්‌ සේ මෑත කාලයේ දඹුල්ලේ ඇතිවූ ආගමික සිදුවීම හා ඒ ආශ්‍රිතව විවිධ ආගම් නියෝජනය කරන දේශපාලකයන්ගේ භාවිතය කෙසේ සිදුවූයේද යන කරුණ විග්‍රහ කළ හැකිය. එහිදී සිදුවූ සිද්ධියේ ස්‌වභාවය ඊට භික්‌ෂුන් වහන්සේ මැදිහත්වූ ආකාරය පිළිබඳ අප ද එකඟ නැත. එහෙත් ඒ සමඟ මුස්‌ලිම් මන්ත්‍රීවරු හා ඇමැතිවරු බහුතරයක්‌ තම ආගමික අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුහු බෞද්ධයන්ගේ හිත් රිදෙන සේ දේශපාලන නායකයන් බව අමතක කොට විවිධ ප්‍රකාශ නිකුත් කළහ.

වර්තමාන රාජ්‍ය නායකයා විසින්ද මෙවැනි කෙටුම්පත් පිළිබඳ කරුණු කිහිපයක්‌ නිසා සැළකිලිමත් විය යුතුව ඇත. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රථම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණ කළේ 50.29% වැනි අවම ඡන්ද ප්‍රතිශතයකිනි. එය ලබා ගැනීමේදී ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්‌ති පෙරමුණ සිදු කළ මෙහෙය කිසිසේත් ලඝූකොට සැළකිය නොහැකිය. තමන්ට පැවැත්මක්‌ නැති බව වටහාගත් විපක්‍ෂ මන්ත්‍රීවරුන් ආණ්‌ඩුවට සේන්දුවීමට පෙර එතෙක්‌ පැවැති ආණ්‌ඩුවේ සැළකිය යුතු වැඩකොටසක්‌ ජාතික හෙළ උරුමයේ භික්‌ෂුන් විසින් සිදු කළ බව හෘද සාක්‌ෂිය සහිත කිසිවකුට අමතක කළ නොහැකිය. එසේම වර්තමාන ආණ්‌ඩුවේ බෞද්ධ පදනම ආරක්‌ෂාවීමට ජාතික හෙළ උරුමය වැදගත් වූ තරම් හා තවදුරටත් එය කොතෙක්‌ දුරට වැදගත් වන්නේ ද යන කරුණ ආණ්‌ඩුව දැන සිටිය යුතුය. මෙවැනි කෙටුම්පත් හදිසියේ ගෙන ඒමේ සැඟවුණු අරමුණු විය හැක්‌කේ මෙම බලවේගය නිහඬ කොට ආණ්‌ඩුව සතු එම බෞද්ධ ජන පදනම වැනසීම යෑයි සිතීමට අවශ්‍ය තරම් කරුණු ඇත. එවැනි විනාශ වීමක්‌ සිදු වුවහොත් මෙවැනි කෙටුම්පත් සඳහා අදහස්‌, උපකාර, වරදාන සපයන සියල්ලෝ සිය අරමුණු ඉතා පහසුවෙන් සාධනය කරගනු ඇත.

භික්‌ෂුව සක්‍රීය දේශපාලනයෙහි නිරතවීම සම්බුද්ධ ශාසනය පිරිහීමේ එකම හේතුව ලෙස ඌණනය කිරිම සෑම අතින්ම අන්තගාමී හා පදනම් විරහිත වූවකි. මේ කරුණ තවත් සරළව ප්‍රකාශ කරන්නේ නම් සංඛ්‍යාත්මක ව ගත්විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වූයේ භික්‌ෂුන් වහන්සේ නව දෙනෙක්‌ වැනි අතළොස්‌සකි. එයිනුත් කිහිප දෙනෙක්‌ම අවස්‌ථා කිහිපයකදීම එම තනතුරුවලින් ඉවත්විය. මෙම සක්‍රීය දේශපාලනයේ යෙදෙනු භික්‌ෂුන් සහ ඒ සමඟ සෘජුව සම්බන්ධව ක්‍රියා කළ භික්‌ෂුන් කිහිප දෙනෙකු හැරුණුවිට අනෙක්‌ සියලුම භික්‌ෂුන් සුපුරුදු සේවාවන්හි නිරතවූහ. එනම් මේ පිරිස දේශපාලනයේ නිරත වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වන සියම්, අමරපුර, රාමඤ්ඤ යන තුන් නිකායේම මහ නායක හිමිවරු ප්‍රමුඛ භික්‌ෂූන් වහන්සේලා සියල්ලම සක්‍රීය දේශපාලනයේ නිරත නොවී තම ශාසනික, සංස්‌කෘතික හා සමාජ මෙහෙවර අඛණ්‌ඩව සිදු කළහ. එවැනි කරුණු සහිත තත්ත්වයක්‌ හොඳින් දැන දැනම භික්‌ෂුන් කිහිප නමක්‌ මන්ත්‍රීවරුන් බවට පත්වූ නිසා බුදු සසුන විනාශ වන්නේ යෑයි පැවසීම අතිශයින් අමනෝඥය. ප්‍රායෝගිකව ගත් කල හැම නිකායකම ප්‍රධාන නිලයන් දරන භික්‌ෂූන් වහන්සේලා සහ නිකායයන්හි නිලලත් වෙනත් භික්‌ෂූන්ගෙන් සුසැදි සියලු විහාරස්‌ථාන ස්‌වකීය සීමාවන් තුළ සිටිමින් සෑම විටම තම ආගමික කාර්යයන්හි නිරත වූහ. සක්‍රීය දේශපාලනයේ නිරත කිසිදු භික්‌ෂුවක්‌ දේශපාලනය නිසාම, පරිහානියට පතAවූයේ යෑයි උපකල්පනය කිරීමට ඉඩ ඇති මුත් මෙම උපකල්පනය කරුණු ඇසුරින් තහවුරු කිරීමට කිසිවකු අසමත්ය. එසේ මෙවැනි දේශපාලනයක්‌ නිරත කිසියම් වූ හෝ භික්‌ෂුවක්‌ ප්‍රධාන නිකායන්හි ප්‍රඥප්තීන් ඉක්‌මවා යමින්, ආත්මාර්ථකාමී ලෙස පෞද්ගලික ක්‍රියා කළ බව තහවුරු කිරිමට තරම් සාක්‌ෂි ද නැත. සත්‍ය තත්ත්වය මෙය බැවින් භික්‌ෂූන්ගේ දේශපාලනය පිළිබඳ කිඹුල් කඳුලු හැලීම පිටුපස සිටින අදිසි හස්‌තය අප නැවත නැවතත් විමසා බැලිය යුතුව ඇත.
ෙත්‍රෙයනිකායික මහනාහිමිවරුන් සහ අදාළ කාරක සභා හා වෙනත් විද්වත් සභාවන්හි දීර්ඝ සංවාදයකින් පසු කරුණු සහිතව භික්‌ෂුන් වහන්සේ සක්‍රීය දේශපාලනයේ නිරතවීම හෝ නිරත නොවීමට ශාසනික වශයෙන් තීරණයක්‌ ගන්නේ නම් ඒ පිළිබඳ කිසිවෙකු විරුද්ධ නොවනු ඇත. ජාතික හෙළ උරුමයේ භික්‌ෂුන් වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වීමට පෙර පූජ්‍ය බද්දේගම සමිති හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කළ බව සිහි ඇති මිනිසුන්ට මතකය. මෙවැනි ශාසනික ප්‍රඥප්තියක්‌ සිදු කළ යුතු කාර්යයක්‌ රටේ නීතිය හරහා සිදු කිරීම අතිශයින්ම සංකීර්ණ ප්‍රතිඵල කෙටි කාලීනව මෙන්ම දිගුකාලීනව ද අනිවාර්යයෙන්ම ගෙන එන බව පැහැදිලිය. එසේම මෙම පියවරෙහි වාසිය අනාගතයෙහිදි ලබා ගනු ඇත්තේ කවුරුන්ද යන්න යම්තම් හෝ ලාංකිය ආගමික ඉතිහාසය දන්නාවූ ඕනෑම කෙනකුට වැටහෙනු ඇත. තායිලන්තයේදී තමන් ලැබූ අත්දැකීමක්‌ හෝ දෙකක්‌ පදනම් කරගෙන ලංකාවේ වර්තමාන භික්‌ෂුවගේ ක්‍රියා පිළිබඳ තීරණ ගැනීම ගැටලු ගැඹුරින් විමසා බලා පිළිතුරු යෝජනා කිරීම පසෙක දමා දැන දැන සිදු කරනු ලබන වංචාවකි. තායිලන්තය හා ලංකාව යන රාජ්‍යයන් දෙකම බෞද්ධ රටවල් බව සැබෑ නමුත් ඒ ඒ සංස්‌කෘතීන්හි පවතින වෙනස්‌ රටා හා බල ව්‍යqහ පිළිබඳ එකම ආකාරයෙන් සිතා ක්‍රියා කිරීම ඥාන ගෝචර නොවේ. මෙහිදී අවධානයට ලක්‌විය යුතු තවත් වැදගත් කරුණක්‌ වන්නේ වෙනස්‌ රටක භික්‌ෂු සංස්‌ථාවේ සිදු වීමක්‌ දෙකක්‌ දැක ඉන් සතුටින් ඉපිලගොස්‌ ලංකාවේ භික්‌ෂු සංස්‌ථාව ඒ අනුව සකස්‌ කිරීමට වෙර දැරීම පටු අවබෝධයක්‌ සහිතව කරන ක්‍රියාවක්‌ බවයි. තායිලන්ත භික්‌ෂුවගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි කිරීම හරහා ජාතික, ආගමික හා සංස්‌කෘතික වශයෙන් ශක්‌තිමත්ව නැඟී සිටීමට එම භික්‌ෂුවට තිබෙන අවස්‌ථාව අහිමි කිරීමේ කණගාටුදායක කතාවද මෙහිදී සිහියට ගත යුතුය. මෙම සිද්ධාන්තයට අනුව වාරියපොල සුමංගල හිම, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි ආදීන්ද ඉතිහාසයේ සිදු කළ ක්‍රියා අගය කළ නොහැකි වනු ඇත. ඔවුන් රාජපක්‍ෂ මහතා ගෙන එන ප්‍රඥප්තියට අනුව සැබෑ භික්‌ෂූන් නොවේ යෑයි කෙනකුට පහසුවෙන් හැඟී යා හැකිවීම එසේ කීමේ හේතුවයි. භික්‌ෂුව අචල වස්‌තුවක්‌ හෝ කුමන සංසිද්ධීන් වෙනස්‌ වුවත් වෙනස්‌ නොවිය යුතු ස්‌ථාවරයේ ආදර්ශයක්‌ විය යුතු බවට ඇතැමුන් තුළ ඇති පුහු සාම්ප්‍රදායික තර්කයට පමණක්‌ මෙමගින් ප්‍රාණය ලැබෙනු ඇත. එහෙත් එය බුදුරදුන්ගේ ප්‍රධාන ඉගැන්වීම් වන ත්‍රිලක්‌ෂණ ඉගැන්වීමට හා ප්‍රත්‍ය සම්බන්ධතාව පිළිබඳ ඉගැන්වීමට ද විරුද්ධය.

මහින්දාගමනයේ සිට අද දක්‌වා ලාංකීය භික්‌ෂුහු විවිධ ආකාරවලින් දේශපාලනයේ නිරතවූ බව ප්‍රායෝගික සත්‍යයකි. එම දේශපාලනයේ හැඩය, ආකෘතිය හා අරමුණු තීරණය වූයේ කාලය, සිදුවීම් හා ඒ ඒ භික්‌ෂු චරිත සතු වූ අවබෝධයට සාපේක්‌ෂවය. ලංකාවේ සෑම දේශපාලන පක්‍ෂයක්‌ම තම මතවාද සමාජගත කිරීමට භික්‌ෂුවගේ උපකාර විවිධ ප්‍රමාණවලින් ලබාගෙන ඇත. සෑම පක්‍ෂයකම විරෝධතා ව්‍යාපාරයන්හි පළමුවට ගමන් කරවන්නේ භික්‌ෂුන් වහන්සේය. කන්න අවශ්‍ය විට කබරගොයා තලගොයා කරගෙන තලුමරමින් බුදීමට දන්නා වූ දේශපාලකයන්ට භික්‌ෂුව තම හිතුවක්‌කාරී දේශපාලනයට අභියෝගයක්‌ වන විට ඔවුන් ඉන් ඉවත් කිරීමේ සිතුවිලි පහළවීම අතිශයින් ස්‌වාභාවිකය. දේශපාලනයට සැබැවින්ම අවශ්‍ය වන්නේ තමන්ට එහෙයි කියා නිහඬ වන දේශපාලනික කොඳු නාරටියක්‌ රහිත භික්‌ෂු පිරිසකි. එවිට ඔවුන්ට ඉතා පහසුවෙන් භික්‌ෂුව යනු පඩික්‌කම් පිරවීමට පමණක්‌ දන්නා වූත් ප්‍රායෝගික දේශපාලන සමාජ තත්ත්ව පිළිබඳ පැහැදිලි වැටහීමක්‌ නැත්තා වූ පිරිසක්‌ ලෙසත් පහසුවෙන් ලේබල් කළ හැකිවනු ඇත.

අප මෙහිදී විරුද්ධ වන්නේ භික්‌ෂුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීම නුසුදුසුය යන ශ්‍රද්ධාවන්ත බෞද්ධ හැඟීමට නොවේ. අප විරුද්ධ වන්නේ දැන දැනම කාගේ හෝ කුමන්ත්‍රණයක කොටස්‌කරුවන් බවට පත්වී එම වංචනිකයන්ගේ න්‍යාය පත්‍ර අනු භික්‌ෂුව මෙහෙයවීමට නෛතික රාමු සකස්‌ කිරීමට ලහි ලහියේ පිඹුරු පත් සකසන දේශපාලන කුමන්ත්‍රණකරුවන්ට හා ඔවුන්ගේ පටු අරමුණු සහිත ක්‍රියාදාමයන්ටයි. භික්‌ෂුව පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ මෙම කෙටුම්පත සම්මත වුවද එමගින් සිදු නොවන දේ බොහෝය. මින් සිදු කළ හැකි එකම දෙය සක්‍රීය දේශපාලනයක නිරතවීමට භික්‌ෂුවට සතු නෙතික හිමිකම් අහෝසි කිරීම පමණකි. ඉන් පසු නැවතත් උදාවන්නේ කුහක දේශපාලකයන් විසින් භික්‌ෂුව සිල්ලර භාණ්‌ඩයක්‌ සේ සිය වෙළෙ¹මට භාවිත කිරීමයි. භික්‌ෂූන් වහන්සේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවල ඉත්තන් බවට පමණක්‌ නැවත පත්වනු ඇත.

න්‍යායාත්මකව මෙහිදී මතුවන තවත් එක්‌ වැදගත් ගැටලුවක්‌ වන්නේ මෙහිදී සිදු කරන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයේ විවෘතව නිරතවීමට භික්‌ෂුවට ඇති හිමිකම අහෝසිකොට හැංගිs හොරා දේශපාලනය කිරීමටත් ප්‍රධාන පක්‍ෂවලට කඩේ යැමටත් මෙමගින් ධෛර්යමත් නොකරන්නේ ද යන්නයි. විවෘත ප්‍රතිපත්ති නොමැතිව භික්‌ෂුව දේශපාලනයේ නිරත වන විට ඉතා පහසුවෙන් භික්‌ෂුව තම දේශපාලනික ව්‍යාපෘති තුළ සිදු කළ හැකිය. මෙම කෙටුම්පත සම්මත වූ දා සිට ලාංකීය භික්‌ෂුව අවස්‌ථාවාදී දේශපාලකයන් විසින් සිය අරමුණු මුදුන්පත් කරගනු වස්‌ භාවිත නොකරන බවට මෙහි නිර්මාතෘවරුන්ට වග විය හැකිද යන කරුණක්‌ අප නැවත විමසා බැලිය යුතුය.

තවදුරටත් වටහාගත යුතු වන්නේ භික්‌ෂුවගේ දේශපාලන ක්‍රියාවලියයි. එහි රටාව තීරණය කළ යුත්තේ භික්‌ෂුව විසින් මිස එකිනෙකාගේ න්‍යාය පත්‍ර අනුව කලින් කල පාට වෙනස්‌ කරන කටුසු දේශපාලකයින්ගේ න්‍යාය පත්‍ර අනුව නොවන බවයි. භික්‌ෂුවගේ දේශපාලන අයිතිය සම්බන්ධ කරුණු භික්‌ෂුව කරගනිද්දී විපක්‍ෂයේ කාර්යය නිවැරදිව සිදු කිරීමට විජයදාස රාජපක්‍ෂ මහතා මනා සිහියේ පිහිටන්නේ නම් මැනවි. තමන් ජාතික වගකීම ඉටුකරන වීරයෙක්‌ වීමේ අරමුණෙන් අදාළ නොවන ක්‌ෂේත්‍රවලට පැන පිහිනුම් ශූරයන් වීමට වෙර දරන විට මේ සඳහා කොන්ත්‍රාත් දුන් අය කවුරුන්ද? ඒ සඳහා ලැබුණු වරප්‍රසාද මොනවාද යන්න කල් නොයවාම රටට ප්‍රදර්ශනය වනු නිසැකයි. එබැවින් මේ ව්‍යාපෘතියේ සැඟවුණු අනාගත බිය පිළිබඳවත්, වර්තමාන අනතුරු පිළිබඳවත් තම දේශපාලන අනන්‍යතාව, අදීනත්වය හා ස්‌වාධීනත්වය පිළිබඳ සිතන සියලුම භික්‌ෂූන් වහන්සේ විසිනුත්, භික්‌ෂු දේශපාලනයේ ගැඹුර තේරුම් ගත් ගිහි භවතුනුත් පක්‍ෂ භේදයෙන් තොරව කල්පනා කළ යුතුය. මෙම නිහඬ කිරීම සිදු වුවහොත් එම බිමෙහි බීජ වැපිරීමට බොහෝ පිරිස්‌ මග බලමින් සිටින බව ලංකා පොළොවේ ජීවත්වන මිනිසුන් දනී. එසේ බීජ වපුරන විට ඒ සඳහා කෙත සකස්‌ කළ අයට ඇති පදම් පඬුරු පාක්‌කුඩම් ලැබෙන ආකාරය දුර ඉඳ සිට වුවද දැකිය හැකි වනු ඇත. මෙම අනතුර වටහා නොගෙන වෙස්‌ වළාගෙන මේ පැමිණෙන්නේ බුදුදහම බේරා ගැනීමේ මහා දියසෙන් කුමරා යෑයි යමෙකුට හැඟී යයි නම් ඔහු සිදුකරන්නේ ට්‍රොaජන් අශ්වයකු තමන් විසින්ම ගෙනැවිත් නිදිපැදුරේ දීම තමනුත් තමන්ගේ සංස්‌කෘතියත් ඝාතනය කිරීමට ආගමික හා අන්‍යාගමික අවස්‌ථාවාදීන්ට ඉඩ ලබාදීමකි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.