සංස්‌කරණය : නාරද නිශ්ශංක

වේදිකාවෙන් ලද අවබෝධය
මගේ කලා දිවියේ ඉදිරියට ශක්‌තියක්‌

- අශාන් ෆොන්සේකා



අශාන් සිය ලොකු නැන්දනිය වන නිළි රැජන
මාලනී ෆොන්සේකා සමග..

කලා ලොව හැකියාවන් සහ දක්‍ෂතාවන් එළි දක්‌වන බොහෝ ශිල්පීන්ට ඒ සඳහා තිඹිරිගෙය වූයේ පාසල් වේදිකාවය. අද 'දිවයින සිනමා කලා' ඔස්‌සේ ඔබට හඳුන්වාදෙන මේ හැඩකාර නව යොවුන් තරුණයා ද පාසල් වේදිකාවේ දී නර්තනයට, රංගනයට දක්‍ෂතා දැක්‌වූවෙකි. වර්තමානයේදී රංගන ශිල්පියකු, නිවේදකයකු සහ නිරූපණ ශිල්පියකු ලෙස ද දක්‍ෂතා දක්‌වමින් කලා ලොවේ දිගු ගමනකට පෙරුම් පුරන ඔහු කලාවට ළඟින්ම නෑකම් කියන පරපුරකින් පැවත එන්නෙකි. අසහාය නිළි රැජන, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා අප කතා නායකයාගේ ලොකු නැන්දනිය වන අතර, ජනප්‍රිය රංගන ශිල්පිනියක සහ අධ්‍යක්‍ෂවරියක වන දමයන්ති ෆොන්සේකා ඔහුගේ චූටි නැන්දනිය ය. බොලිවුඩ් පුරයේ ජනප්‍රිය රංගන තරුවක්‌ වූ රන්ධීර් කපුර්ගේ ප්‍රියමනාප හුරුබුහුටි පෙනුමට සමානකම් දක්‌වන ඔහු අපේ රටේ අශාන් ෆොන්සේකා ය. මේ ඔහුගේ කලා දිවියෙහි ඉදිරි බලාපොරොත්තු පිළිබඳව අප සමඟ පැවසූ තොරතුරු බිඳකි.

ඔබේ පාසල් සමයත් කලාවට පිවිසි ආකාරයත් සඳහන් කරමින් මේ කතා බහට ප්‍රවේශයක්‌ ගතහොත්....?

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය මගේ විදුහල් මාතාවයි. පාසලේදී මා කලාවට විශාල ඇල්මක්‌ දැක්‌වූවා. නර්තනයට තිබූ කැමැත්ත නිසාම රාජ්‍ය වෙස්‌ නර්තන ශිල්පියකු ලෙස 2005 දී වෙස්‌ බැන්දා. උසස්‌ පෙළට මුහුණ දෙන අවධියේදී රංගනයට පිවිසුණා. එකල කැලණිය කලාපයේ පාසල් අතර පැවැති නාට්‍ය උළෙලක්‌ සඳහා ඉදිරිපත් ව හොඳම රංගන ශිල්පියාට සහ අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානයත් දිනා ගැනීමට මට හැකියාව ලැබුණා.

ඔබ වේදිකාව මතදීත් දක්‍ෂතා දැක්‌වූවකු ලෙස ඒ පිවිසීම පිළිබඳවත් යමක්‌ පැවසුවොත්?

ඔව්. ඒ සඳහා අවස්‌ථාව හිමි වූයේ මගේ පොඩි නැන්දනිය (දමයන්ති ෆොන්සේකා) හරහායි. 'පොපියන උයන' වේදිකා නාට්‍ය නිර්මාණය අධ්‍යක්‍ෂණය කළේ ඇයයි. අනතුරුව, 2004 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වූ 'ආයෙත් එන්නෙ නෑ' (අධ්‍යක්‍ෂණය ජෙරම් ඩී සිල්වා) 2008 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වු 'රැවටිච්චි පොල්කිච්චි' සඳහාත් (අධ්‍යක්‍ෂණය බන්දුල සරත් මඩුතන්ත්‍රි) 'මායා පාලම', 'දියකෙලි' (අධ්‍යක්‍ෂණය පුෂ්පනාත් මල්ලිකාරච්චි) යන වේදිකා නාට්‍ය නිර්මාණ හා එක්‌ව මගේ රංගන දක්‍ෂතා ප්‍රේක්‍ෂක අභිමුවට රැගෙන ආවා. මේ අතුරින් 'ආයෙත් එන්නෙ නෑ' නාට්‍යයට දායක වීම මගේ කලා දිවියේ සුවිශේෂි අවස්‌ථාවක්‌. බොහෝ දෙනෙක්‌ මගේ රංගන හැකියාව දුටුවේ මේ හරහායි. ලැබුණු ප්‍රතිචාර පිළිබඳවත් නිහතමානීව සතුටු වෙනවා.

නිවේදකයකු ලෙස ඉස්‌මතුවන්නට ඔබ ගත් වෑයම මේ වන විට සාර්ථකද?

යම්තාක්‌ දුරකට ඔව් කියන්න පුළුවන්. ඒ අවස්‌ථාව උදා වූයේ සිරස නාලිකාවේ පිරිසක්‌ මා රඟපෑ වේදිකා නාට්‍යයක්‌ නැරඹීමට පැමිණි මොහොතකයි. ඔවුන් මට ආරාධනා කළා. ඒ අනුව 'සිරස සතුටු උයන ළමා සඟරාව' වසර 3 ක පමණ කාලයක්‌ මා විසින් නිවේදක ශිල්පියකු ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.

පුංචි තිරය වෙනුවෙන් ඔබේ මුහුණ කැමරාවේ සටහන් වූයේ කොතනදී දී?

කවදත් මගේ කලා දිවියට ආදරණීයව අනුශාසකත්වය සහ අනුග්‍රහය ලබා දෙන ලොකු නැන්දනිය (මාලනී ෆොන්සේකා) නිසාවෙන් තමයි ඒ සඳහා අවස්‌ථාව හිමිවූයේ. ඇය අධ්‍යක්‍ෂණය කළ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිර්මාණයක්‌ වූ 'දියවර' සඳහා මා මුල්වරට කැමරාවට මුහුණ යොමු කළා. එය ඉතාමත් හොඳ ආරම්භයක්‌. කලාවට සබැඳි බොහෝ කටයුතු තුළ නිරතව සිටින මා ඉදිරියේදීත් හොඳ නිර්මාණ වෙනුවෙන් දායකවීමට සූදානමින් පසුවෙනවා. වේදිකාව වෙනුවෙන් නිපදවුණු නිර්මාණ රැසකට රංගන දායකත්වය ලබා දුන් නිසා සජීවී රංගනයක අත්දැකීම් මා හො¹කාරව අත්විඳ තිබෙනවා. එය පුංචි තිරයටත්, රිදී තිරයටත් ඉදිරියේදී වැඩි වැඩියෙන් ප්‍රයෝජනවත් වෙතැයි උපකල්පනය කරනවා.

එතකොට සිනමාව වෙනුවෙන් රංගනයට තවම අවස්‌ථාවක්‌ ලැබී නැතිද?

ඇත්තෙන්ම ලැබුණා. කොහොමටත් මගේ අනාගත අරමුණ සිනමාවට රංගනයෙන් දායක වී ඉදිරියටම යැම තමයි. ඒ සඳහා ලැබුණු මුල් අවස්‌ථාව මට උදා වූයේ දමයන්ති ෆොන්සේකා චූටි නැන්දනිය හරහායි. 'ද බියුටි' ඈ අධ්‍යක්‍ෂණය කරනු ලබන නවතම චිත්‍රපටයයි. ඉදිරියේදී මේ චිත්‍රපටයෙන් මගේ රංගනයත් දැකිය හැකියි. මීට අමතරව තවත් කලා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී ඇතැයි පවසන්නේ සතුටින්.

දැන් වයස කීයද?

22 යි.

ආදරය ගැන හිතනවාද? ආදරය කරනවාද?

ඇත්තටම මම ආදරය කරලා තිබෙනවා. මේ මොහොතේ විශේෂිත ආදරයක්‌ නැතත්, හොඳින් තේරුම්ගෙන අවංකව, පිරිසිදුව කළ හැකි නම් ඒක දිගු ගමනක්‌. ජීවිතය පුරාවටම යා හැකි.

මේ දිනවල මොනවද කරන්නේ...?

ජනප්‍රිය රංගන සහ නිරූපණ ශිල්පිණියක වන වාසනා දන්තනාරායන මහත්මිය යටතේ 'ආර්. අන්ඩ් වී' ඇකඩමියට එක්‌වී නිරූපණය පිළිබඳව හැදීරීම් සිදු කරමින් සංදර්ශන සඳහාත් එක්‌ව සිටිනවා. ඊට අමතරව සහාය අධ්‍යක්‍ෂණය පිළිබඳව ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ රංජන් ප්‍රසන්න මහතා යටතේ පුරුදු පුහණු වෙමින් 'සිsහින පුරය' ටෙලි නාට්‍ය නිර්මාණය හා සම්බන්ධව සිටිනවා. ඡායාරූප කලාවත්, ඡායාරූප සංස්‌කරණය පිළිබඳවත් හදාරා ඇති නිසා ඒ ගැනත් අවධානයෙන් සිටිනවා. කලාවේ සෑම අංශයක්‌ පිළිබඳවම සිතමින් ඉදිරියට යැමේ අදහසක්‌ තිබුණත්, සිනමාවට ප්‍රමුඛත්වය දී චරිත තෝරා බේරා ගැනීමකින් තොරව ලැබෙන අවස්‌ථා අභියෝගාත්මකව බාර ගැනීමට කැමතියි.

අභියෝග ජය ගැනීම යෞවනයට අභියෝගයක්‌ නොවන බව අපි දනිමු. කලා පවුලකින් පැවත එන ඔහුට නිසැකවම එය කළ හැකිය. මෙතෙක්‌ ආ මඟට ඔහුට සවිය සහ ශක්‌තිය සැපයූ මාලිනී සහ දමයන්තී නැන්දණියන් දෙපළත් , එකළ ජනප්‍රිය කලා ශිල්පිනියක වූ රෝහිණි වික්‍රමාරච්චි සිය මැණියන්ද, ජනප්‍රිය වෘත්තීය ඡායාරූප ශිල්පියකු වන සිය පියා ද ඇතුළු සෑම සියලු දෙනාටත්, දයාබර රසික ජනතාවටත් කෘතවේදීත්වය පුද කෙරුමට මෙය අවස්‌ථාවක්‌ කර ගැනීමට කැමැති බව පැවසූ යොවුන් කලා ශිල්පිS අශාන් ෆොන්සේකාට ඔහුගේ ඉදිරි කලා දිවියට අපි සුබ පතමු.

නො. 65/4, වීරසිංහ මාවත, වරාගොඩ පාර, කැලණිය ඔහුගේ ලිපිනයත්, 0777565129 දුරකථන අංකයත් මෙලෙස සඳහන් කරනුයේ තවත් තොරතුරු හුවමාරු කර ගැනීමේ අවස්‌ථාව ඔබට උදාකර දෙමිනි.

සුජීව තත්සර

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.