ශාසනය රැකගන්න අපි දිවි හිමියෙන් කැපවෙනවා
බුදු දහමට වින කරන මිත්‍යාදෘෂ්ටිකයන් නවත්වන්න වහා නීති ගෙන ආ යුතුයි

ආචාර්ය කිරම විමලජෝති හිමි

වඳුරඹ මිත්‍යාදෘෂ්ටිකයාගේ ආරාමයේ සිටි අන්‍ය ජාතිකයෙක්‌ හිමි නමකට පොල්ලකින් ගැහුවා
ගලගොඩඅත්තේ ඤණසාර හිමි

සිරිමන්ත රත්නසේකර

බුදු දහම විනාශ කරමින් මිත්‍යාදෘෂ්ඨික මත වපුරන මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ ක්‍රියා කලාපය නතර කිරීමට අවශ්‍ය නීති රීති වහා සම්පාදනය කිරීමට ආණ්‌ඩුව ක්‍රියා කළ යුතු යෑයි බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ බොදු බලසේනා සංවිධානයේ ප්‍රධානි ආචාර්ය කිරම විමලජෝති හිමියෝ අවධාරණය කළහ.

බුදු දහම ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් මිදීමට ආණ්‌ඩුවට නොහැකි යෑයිද අවධාරණය කළ උන්වහන්සේ බුදු දහම ආරක්‍ෂා කිරීම ආණ්‌ඩුවේ යුතුකමක්‌ සහ වගකීමක්‌ බවත් පැවැසූහ. ආචාර්ය කිරම විමලජෝති හිමියන් එම අදහස්‌ පළ කළේ පසුගිය (26 වැනිදා) තිඹිරිගස්‌යාය සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කිරම විමලජෝති හිමියෝ මෙසේද පැවැසූහ.

බොදු බල සේනා සංවිධානය සිව්වනක්‌ පිරිසගේ එකමුතුවෙන් ගොඩනගා තිබෙන්නේ දැයේ සසුනේ ආරක්‍ෂාව සහතික කිරීමටයි. බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව උදෙසා අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට කැපවී සිටිනවා. අප බොදු බල සේනා සංවිධානයේ අරමුණ බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම මිස අන් යමක්‌ නොවෙයි.

වඳුරඹ ප්‍රදේශයේ මිත්‍යාදෘෂ්ඨිකයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව එම ප්‍රදේශයේ ස්‌වාමින් වහන්සේලා අපව දැනුවත් කර එය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම් කළා. ඒ නිසා බෞද්ධ ධර්මය විකෘති කරන එම මිත්‍යාදෘෂ්ඨිකයන් පිළිබඳ තීරණයක්‌ ගැනීමට අපට සිදුවුණා. ඒ නිසයි අප ගරුතර ස්‌වාමින් වහන්සේලා ඇතුළු උපාසක උපාසිකාවෝ එම ප්‍රදේශයේ බෞද්ධ රැස්‌වීමක්‌ පැවැත්වීමට කටයුතු කළේ. ඒ සඳහා ස්‌වාමින් වහන්සේලා එකසිය පනහකට වැඩි පිරිසක්‌ සහ උපාසක උපාසිකාවෝ පන්දහසකට අධික පිරිසක්‌ එක්‌වුණා.

අපට අවශ්‍ය වුණේ වඳුරඹ ප්‍රදේශයේ සිටින මිත්‍යාදෘෂ්ඨික සිරිවර්ධන නමැත්තා විසින් බුදුදහමට කරන විනාශය පිළිබඳ පැහැදිලි කර ඔහුව ඒ පිළිබඳව දැනුවත් කර ඔහු කරන විනාශයෙන් බුදු දහම බේරා ගැනීමටයි. නමුත් අපගේ බෞද්ධ රැස්‌වීම කඩාකප්පල් කිරීමට සිරිවර්ධන නමැත්තා සූක්‍ෂමව කටයුතු කර තිබුණා. ඒ පිළිබඳ අපට මුලදීම කරුණු දැනගැනීමට හැකියාවක්‌ ලැබුණා. අපගේ ස්‌වාමින්වහන්සේලා ඉතාමත් කල්පනාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කළා.

මෛත්‍රී බුදුන් යෑයි කියාගන්නා සිරිවර්ධන නමැති මිත්‍යාදෘෂ්ඨිකයා වටා එක්‌වී සිටින්නේ අහිංසක බෞද්ධයන් පිරිසක්‌ සහ බුදු දහම විනාශ කරන්න කුමන්ත්‍රණ කරන පිරිසක්‌ බව අප දැනගෙන සිටියා. අපට අවශ්‍ය වූයේ ඔවුනට සත්‍ය පැහැදිලි කර දීමටයි. ඒ සඳහා අප සිරිවර්ධන නමැත්තාගේ ආරාමය ආසන්නයට යනවිට අපගේ ගමන නතර කිරීමට කැරලි මර්දන ඒකකය අදාළ ස්‌ථානයට කැඳවා තිබුණා. අපි පොලිසියට කරුණු පැහැදිලි කළා. ගැටුමක්‌ නිර්මාණය කිරීමට කටයුතු කළේ මිත්‍යාදෘෂ්ඨිකයන් යොදවා සිටි සංවිධානාත්මක පිරිසක්‌. මේ හෙයින් ස්‌වාමින්වහන්සේලා පොලිස්‌ නිලධාරින් ඇතුළු කිහිප දෙනකුට තුවාල සිදු වුණා. ඒ පිළිබඳ අප බොහෝ කනගාටු වෙනවා.

බුදු දහම ආරක්‍ෂා කරන්න සිටින බලධාරීන්ගේ උදාසීනභාවය නිසයි මෙහෙම සිද්ධීන් වන්නේ. ඔවුන් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටුකරන්නේ නැහැ. පැවැති රජයන් මෙන්ම වත්මන් රජයත් බුදුදහම ආරක්‍ෂා කිරීමට කටයුතු කරන්නේ නැහැ. මෙවැනි මිත්‍යාදෘෂ්ඨිකයන් සිටින්නේ වඳුරඹ පමණක්‌ නොවෙයි. මෙවැනි පුද්ගලයන් විස්‌සක්‌-තිහක්‌ පමණ පිරිසක්‌ ගැන අපට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ගෙන් බුද්ධ ශාසනයට වන හානිය වළක්‌වා ගැනීමට අප දිවි පරදුවට තබා කටයුතු කරනවා.

බුද්ධ ශාසනය විනාශ කරන මෙවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔවුන්ට එරෙහිව ක්‍රියාකරන්න නීතිරීති ප්‍රමාණවත් නැතිනම් අලුතින් නීති සම්පාදනය කිරීම රජයේ යුතුකමක්‌ සහ වගකීමක්‌. බුදු දහම ආරක්‍ෂා කිරීමට ආණ්‌ඩුව බැඳී සිටිනවා. බුදුදහම පිළිබඳ විකෘතිතා ඇති කිරීමට ඉඩදිය නොහැකියි.

බුදුදහම විකෘති කරන මිත්‍යාදෘෂ්ඨිකයකු වන සිරිවර්ධන නමැත්තා වෙත මිලියන ගණන් මුදල් එන්නේ අනවසර කටයුතු සිදුකරන්නේ කෙසේද යන්න රජය සොයා බැලිය යුතුයි. එය රජයේ වගකීමක්‌. මෙවැනි පුද්ගලයන්ට තවදුරටත් කටයුතු කිරීමට ඉඩදිය යුතු නැහැ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඤණසාර ස්‌වාමින් වහන්සේ මෙසේ පැවැසූහ.

බුද්ධ ශාසනයට එරෙහිව ඇති සියලු බලවේග පරාජය කිරීමට භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගෙන ක්‍රියාකළ යුතු බව 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති සංවත්සර ජනාධිපති කමිටු 13 වැනි යෝජනාවේ සඳහන්. බුද්ධ ශාසනයට එරෙහිව යමක්‌ සිදුවෙනවා නම් භික්‍ෂුන් පෙරට ආ යුතුමයි.

ශාසනයට හානියක්‌ වන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඇති ආයතනය නිද්‍රdශීලී නම් අපි කුමක්‌ කරන්නේද? බුද්ධ ශාසන අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ශාසනය ආරක්‍ෂා කිරීමට නිසි ලෙස කටයුතු කරන්නේ නැහැ. පොලිසියත් තමන්ට කළ හැකි දේ කරන්නේ නැහැ. බුද්ධ ශාසනය රැකගන්න ඉදිරිපත්වන පිරිස භික්‍ෂුන් පමණක්‌ වී තිබෙනවා. අපට ඇති අයිතිය අනුව අපට කළ හැකිදේ ක්‍රියාවට නංවනවා. වඳුරඹ සිදුවීමත් එලෙසමයි.

වඳුරඹ මිත්‍යාදෘෂ්ඨිකයාගේ ආරාමය වෙත භික්‍ෂුන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් පාගමනින් ගිය අවස්‌ථාවේදී ආරාමයේ සිටි අන්‍ය ජාතිකයෙක්‌ අපගේ ස්‌වාමින්වහන්සේ නමකට පොල්ලකින් පහර දුන්නා. එම සිදුවීම අපගේ අනෙකුත් භික්‍ෂුන් වහන්සේලා සහ පිරිස දුටුවා. උපාසක උපාසිකාවෝ ප්‍රකෝප වුණේ ඉන් පසුවයි. නමුත් අප ගැටුමකට ගියේ නැහැ.

ගමේ පන්සල ආරක්‍ෂා කරන්නත් කවුරුත් නැහැ. නමුත් මිත්‍යාදෘෂ්ඨික ආරාමයට පොලිස්‌ ආරක්‍ෂාව හිමිව තිබෙනවා.

මෙම අවස්‌ථාවට විතාරන්දෙනියේ නන්ද හිමි මගටිනව පÆරතන හිමි ඇතුළු භික්‍ෂුන්වහන්සේ කිහිප නමක්‌ එක්‌වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.