දේශපාලනිකව පිරිහුණු පිරිස්‌ මගේ
ප්‍රතිරූපය විනාශ කරන්න හදනවා

- පවිත්‍රා වන්නිආරච්චි

දේශපාලන ප්‍රතිරූපය විනාශ කරගත් පිරිසක්‌ තමාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට වෙර දරන බව තාක්‍ෂණ හා පර්යේෂණ කටයුතු පිළිබඳ ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනය මෙසේය.

මාගේ දේශපාලන ප්‍රතිරූපයට හානිදායක වන අයුරින් සංවිධානාත්මක පිරිසක්‌ විසින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ජනතාව නොමග යවමින් ලිපි යෑවීම පිළිබඳ කරුණු දැක්‌වීමට මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කරමි.

මා නිවැරදි දේශපාලන සදාචාරයක්‌ හා විනයක්‌ අනුගමනය කරමින් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ දේශපාලනයේ නියෑලෙන බව රුවන්පුර ජනතාව මැනවින් දැනුවත් අතර ස්‌වකීය දේශපාලන ප්‍රතිරූපය විනාශ කරගත් සමහරුන් මාගේ දේශපාලන ප්‍රතිරූපය ද ඔවුන් හා සමාන කරවීම සඳහා මෙවැනි පහත් ක්‍රියාවල යෙදේ.

එලෙසම ඔවුන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරගත් වස්‌තු විෂබීජම මා වෙත නිකරුනේ එල්ල කිරීමට තරම් නින්දිත වීම කනගාටුදායකය.

ධර්මදාස වන්නිආරච්චි මහතා සදාචාරාත්මක දේශපාලන උරුමයක්‌ මා හට ලබාදුන් අතර රුවන්පුර ජනතාව වෙනුවෙන් මා එය නොකිලිටිව හා නොකැලැල්ව මේ දක්‌වා ආරක්‍ෂා කර ඇත.

අද දින රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සදාචාරාත්මක දේශපාලන භාවිතයක අවශ්‍යතාවය පසුගිය වකවානුවේ සිදුවූ සිද්ධි බොහොමයක්‌ මගින් පෙන්වා දී ඇත.

රුවන්පුර සංවර්ධනයට සෞඛ්‍ය, මහා මාර්ග, සමාජ සේවා, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සමෘද්ධි හා දිළිඳුකම පිටුදැකීම, තරුණ සේවා, සංස්‌කෘතික හා ජාතික උරුමයන් තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යංශ මගින් මගේ උපරිම ශක්‌තියෙන් උරදුන් අතර, කිසිදු අවස්‌ථාවකදී රුවන්පුර සාමාන්‍ය ජනයා මා වෙත දූෂණ, චෝදනාවක්‌ හෝ ඉදිරිපත් කළේවත් නැත.

ජනතාවාදී වන සත්‍ය ගරුක දේශපාලන ප්‍රතිපත්තීන් හා බද්ධ වී ස්‌වකීය දේශපාලන ප්‍රතිරූපය නැවත ජනතාව අතර ගොඩනගා ගන්නවා විනා අනෙක්‌ අයගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමේ උපාය මගින් තම දේශපාලන තත්ත්වය රැකගැනීමට නොහැකි බව මෙවැනි සංවිධානාත්මක පිරිස්‌ වෙත කාරුණිකව සිහිපත් කරමි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.