හෙට දවසේ ආර්ථික අපේක්ෂා!

රටක ආර්ථික ප්‍රගතිය මනින ප්‍රමාණාත්මක මිනුම් අතර ප්‍රධානතම තැනක්‌ ගන්නේ ආර්ථික වර්ධන වේගයයි. ආර්ථික වර්ධන වේගය යනු දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයයි. කිසියම් වර්ෂයක ආර්ථික වර්ධනය මැනීමේදී එම වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතය, ඊට පෙර වසරට සාපේක්‍ෂව කෙතරම් ප්‍රතිශතයකින් වෙනස්‌ වී ඇති ද යන්න මනිනු ලබයි. රටේ විවිධ නිෂ්පාදන අංශවල නිෂ්පාදිත වටිනාකම්වල එකතුවෙන් දළ දේශීය නිෂ්පාදිතය සමන්විත වේ. මෙකී දළ දේශීය නිෂ්පාදිතය වාර්ෂිකව මෙන්ම කාර්තුමය වශයෙන් ද මනිනු ලබය. මේ වසරේ (2012) දෙවැනි කාර්තුවට අදාළ දළ දේශීය නිෂ්පාදිත දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දැන් නිකුත් කර තිබේ. ඒ අනුව මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ මේ වසරේ (2012) දෙවැනි කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ රටේ ඉදිරි ආර්ථික අපේක්‍ෂා පිළිබඳවයි.

ආර්ථික වර්ධනය

ගිය වසරේ (2011) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8.3 කින් වර්ධනය විය. එය මෙතෙක්‌ වාර්තාගත ඉහළම ආර්ථික වර්ධනය වන අතර මෙය ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්‌ඩව වසර දෙකක්‌ සියයට 8 ඉක්‌මවා වර්ධනය වූ ප්‍රථම අවස්‌ථාවද වේ. කෙසේ වෙතත් මේ වසරේ ආර්ථික වර්ධන වේගය මුලින් අපේක්‍ෂා කළ සියයට 8 සිට සියයට 7.2 දක්‌වා අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව දැන්a අපේක්‍ෂා කරයි. මෙයට හේතුව වූයේ දේශීය සහ විදේශීය පරිසරයේ ඇති වූ වෙනස්‌කම් සැලකිල්ලට ගනිමින් 2012 පෙබරවාරි සිට රජයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන්, රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය අඩු කිරීම සඳහා ඇති කරනු ලබන බලපෑමයි.

දෙවැනි කාර්තුව

මේ වසරේ (2012) දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 6.4 කිනි. ගිය වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථිකය සියයට 8.1 ක වර්ධනයක්‌ වාර්තා කර තිබිණි. මේ වසරේ (2012) පළමු කාර්තුවේදී සියයට 7.9 ක ආර්ථික වර්ධනයක්‌ වාර්තා කර තිබූ අතර මේ අනුව ආර්ථික වර්ධනය අඩුවෙමින් තිබෙන බව අපට පැහැදිලි වෙයි. එනම් මේ වසරේ (2012) දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය, ගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්‍ෂව මෙන්ම මේ වසරේ පළමු කාර්තුවට සාපේක්‍ෂව ද අඩුවී ඇත. වසරේ පළමු භාගය (පළමු මාස හය) ගත් විට දැනටම ආර්ථික වර්ධනය සියයට 7.2 ටත් වඩා අඩු මට්‌ටමට පහත වැටී තිබේ. මේ අනුව මහ බැංකුව විසින් පහළ දමන ලද සියයට 7.2 ක ආර්ථික වර්ධන වේගය ළඟා කර ගැනීමද අභියෝගාත්මක ඉලක්‌කයක්‌ වන අතර බොහෝ දුරට මේ වසරේ සමස්‌ත ආර්ථික වර්ධනය සියයට 7.2 ට ද අඩු වනු ඇත.

කෘෂිකර්ම අංශය

ගිය වසරේ (2011) දෙවැනි කාර්තුවේදී කෘෂි අංශය වර්ධනය වූයේ සියයට 1.8 කිනි. එම වර්ධනය මේ වසරේ (2012) දෙවැනි කාර්තුවේදී සියයට 9.1 ක්‌ දක්‌වා වර්ධනය වී තිබේ. දෙවැනි කාර්තුවේදී වී නිෂ්පාදනය සියයට 36.4 කින් ද, රබර් නිෂ්පාදනය සියයට 7 කින් සහ පොල් නිෂ්පාදනය සියයට 6 කින් ද, වර්ධනය වී ඇත. කවරක්‌ නමුත් තේ නිෂ්පාදනය සියයට 3.5 කින් සහ සුළු අපනයන බෝග නිෂ්පාදනය සියයට 17.6 කින් පහත වැටී තිබේ. සාම්ප්‍රදායිකව විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයක්‌ වන අපේ තේ කර්මාන්තය මේ වනවිට අභියෝග රැසකට මුහුණ දී සිටී. මහ බැංකුව පෙන්වා දෙන පරිදි පසෙහි සාරවත් බව අඩු වීම, තේ ගස්‌ බොහෝ පැරැණි ඒවා වීම හා තේ නැවත වගාව ප්‍රමාද වීම හේතුවෙන් ලෝක තේ වෙළෙඳපොළේ අනෙකුත් තරගකරුවන්ට සාපේක්‍ෂව අප පසුගාමී තත්ත්වයට පත්ව ඇත. එසේම එම තරගකරුවන් සමග බලන විට අපේ තේ කර්මාන්තයේ සාමාන්‍ය ඵලදායිතාව ද පවතින්නේ අඩු මට්‌ටමකය. මෙය ඉදිරියේදී අපගේ අපනයන ආදායමටද අහිතකර ලෙස බලපානු ඇත.

කර්මාන්ත අංශය

මේ වසරේ (2012) කර්මාන්ත අංශය සියයට 9.5 කින් වර්ධනය වී ඇති අතර ගිය වසරේÊ(2011) දෙවැනි කාර්තුවේදී ද කර්මාන්ත අංශය වාර්තා කළේ සියයට 9.5 ක වර්ධනයකි. කර්මාන්ත අංශය තුළ ඇති පතල් හා කැණීම් අංශය 13. 7 කින්ද, නිෂ්පාදන කර්මාන්ත අංශය සියයට 6.2 කින් සහ ඉදිකිරීම් අංශය සියයට 18.3 කින්ද වර්ධනය වෙමින්, මෙම කර්මාන්ත අංශයේ සමස්‌ත වර්ධනයට දායක වී තිබේ. මේ අතර විදුලිය, ගෑස්‌ හා ජල අංශයේ වර්ධනය සියයට 12.3 සිට සියයට 4.5 දක්‌වා අඩු වී තිබේ.

සේවා අංශය

කර්මාන්ත අංශයේ වර්ධනය නොවෙනස්‌ව තිබුණ ද දෙවැනි කාර්තුවේදී සේවා අංශයේ වර්ධනය සියයට 8.8 සිට සියයට 4.5 දක්‌වා සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. මේ අනුව සේවා අංශය තුළ තොග සහ සිල්ලර වෙළෙ¹මේ වර්ධනය සියයට 11.4 සිට සියයට 3.5 දක්‌වා ද, හෝටල් සහ ආපනශාලා අංශයේ වර්ධනය සියයට 33.2 සිට 23.2 දක්‌වාද, ප්‍රවාහන හා සන්නිවේදන අංශයේ වර්ධනය සියයට 11.4 සිට සියයට 6.6 දක්‌වා ද, රාජ්‍ය සේවා අංශයේ වර්ධනය සියයට 2.1 සිට සියයට 1.4 දක්‌වා සහ පෞද්ගලික සේවා අංශයේ වර්ධනය සියයට 8.3 සිට සියයට 4.3 දක්‌වා අඩු වී තිබේ. සේවා අංශයේ සමස්‌ත වර්ධනය අඩුවී ඇත්තේ මෙසේ එම අංශයේ උප අංශ රැසක වර්ධනය අඩුවී ඇති නිසාය.

අපේ රටේ පමණක්‌ නොව ලෝකයේ වෙනත් රටවලද ආර්ථික වර්ධනය අඩු වී තිබේ. ඒ නිසා ගෝලීය ආර්ථිකයේ අඳුරු සෙවණැලි ද අපේ ආර්ථික අපේක්‍ෂාවන්ට අහිතකර ලෙස බලපා ඇති බව රහසක්‌ නොවේ. ඒ නිසා ගෝලීය වශයෙන් පැන නගින විවිධ අවදානම් කළමනාකරණය කර ගැනීම, 2012 වසරේදී ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රධාන අභියෝගය යෑයි මහ බැංකුව අවධාරණය කරයි. මේ ගැන මහ බැංකුව මෙසේද සඳහන් කරයි.

''ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ සලකුණු මෙතෙක්‌ දක්‌නට නොලැබෙන අතර සමහර ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල පවතින භූ දේශපාලනමය නොසන්සුන්තාව, අහිතකර කාලගුණික තත්ත්වයන් සහ නැඟී එන ආර්ථිකයන්ගෙන් ඇතිවන ඉල්ලුම ඉහළ යැම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉන්ධන සහ අනෙකුත් පාරිභෝගික භාණ්‌ඩවල මිල ගණන් ඉහළ මට්‌ටමක පවතිනු ඇත.''

ජාත්‍යන්තර පරිසරයේ අපට අහිතකර තත්ත්වයන් අපට පාලනය කළ නොහැකි වුවද ඒවාට මුහුණදීමේ ශක්‌තිය අපට වර්ධනය කරගත හැකිය. එහිදී ශක්‌තිමත් අපනයන ආර්ථිකයක්‌ ඇති කර ගැනීමද ප්‍රමුඛ අවශ්‍යතාවකි. ඒ සඳහා දැනට පවතින සාම්ප්‍රදායික අපනයන භාණ්‌ඩ හා අපනයන වෙළෙඳපොළ වෙනුවට නව අපනයන භාණ්‌ඩ (අපනයන භාණ්‌ඩ විවිධාංගීකරණය) සහ අපනයනය කරන රටවල් (අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය) වෙත යොමු වීමද අත්‍යවශ්‍යය. පාරවල් සහ යටිතල පහසුකම් සංවර්ධනය කරන අතරම රජය ආර්ථිකයේ සෑම අංශයකම පාහේ පවතින ගැටලුවලට අවධානය යොමු කරමින්, විසඳුම් ක්‍රියාමාර්ගවලට යොමුවීම අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් එවැනි ක්‍රියාකාරී යොමු වීමක්‌ රජයේ පැත්තෙන් අපට දක්‌නට නොලැබේ. උදාහරණයක්‌ ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයාට එල්ලවූ බලපෑම් හේතුවෙන් ඔහු ඉල්ලා අස්‌වීමෙන් පසු රජය කළේ එම කොමිසම විසින් විමර්ශනයට භාජන වන සමාගම්වලටම සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්‌ එ ම කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කිරීමයි. රජයේ මෙවැනි තීරණ හරහා කොටස්‌ වෙළෙඳපොළේ හෙට දවසට මෙන්ම සමස්‌ත ආයෝජක විශ්වසනීයත්වයට හානි සිදුවීම වැළැක්‌විය නොහැකිය. අවසාන වශයෙන් සටහන් කළ යුතුව ඇත්තේ යුද ජයග්‍රහණයෙන් පසු අපගේ ආර්ථික යුද්ධය ජය ගැනීමට ලැබුණු මහඟු= ඉඩ ප්‍රස්‌ථාව (විභවතාව) සමග රජය පන්දු කෙළිමින් සිටීම කනගාටුවට කරුණක්‌ බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.