භද්‍රජී මහින්ද ජයතිලක දැන් "ඉසිවර වෙදෙක්‌"

 

 

 

 

 

"ඔබේ දැසින් ඔබ දකින ලෝකය ඔබගේය. එහෙත් එය අයිතිකර ගැනීමට නොසිතන්න. එහි රසය, සුවය හා සුවඳ පමණක්‌ අත් විඳින්න." ගිටාරය පසෙකින් තබා ඔහු යළිත් අප හා පිළිසඳරේ යෙදෙයි. ඔහු කියන කතා ඔහුගේ ගීත සේම අපේ හදවත් වෙළාගනී. විටෙක හේ රාවණා ගැන කතා කරයි. එසැණින්ම රාවණා ගැන ඔහු ලියූ ගීතයක්‌ ගිටාරය වයමින් ගායනය ද කරයි. තවත් විටෙක පිටසක්‌වලින් ආ ජීවීන් ගැන අපූරු කතා ගොන්නක්‌ම දිග හරියි. ඒ සියල්ලටම වඩා අප මවිත කරවමින් මිනිස්‌ සිරුරේ ඇති චක්‍ර හත මුදාහැරීම තුළින් ගොනු කරගන්නා ශක්‌තිය මෙහෙයවා රෝගි වූවකුට සුවය ළඟාකරදීමේ අසිරියද පෙන්වයි.

මේ සුන්දර මිනිසා අන් කවරකු හෝ නොව 70 දශකයේ සොඳුරු මතකයන් තම හදවතේ රඳවාගෙන සිටින ඕනෑම රසවතකුට නම ඇසූ පමණින්ම සිහියට එන භද්‍රජී මහින්ද ජයතිලක නම් වූ අපූරු මිනිසාය.

සරස්‌වතියගේ බැල්ම නොඅඩුවම ලබාගත් විශ්මිත කලාකරුවාය. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ශාන්ත ඩිමාස්‌ වීදියේ පදිංචි භද්‍රජී මහින්ද ජයතිලක නම් වූ කලාකරුවා සමඟ ඔහුගේ සොයුරියගේ මාදිවෙල නිවසේදී හෝරා කීපයක්‌ ගත කිරීමේ භාග්‍යය පසුගියදා අපට හිමි විය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වූ භද්‍රජීගේ සමකාලීන පාසල් මිතුරන් අතර, රනිල් වික්‍රමසිංහ, අනුර බණ්‌ඩාරනායක, මලික්‌ සමරවික්‍රම වැන්නෝද වූහ. ගීත ලිවීමටත් ඊටම ගැළපෙන චිත්‍රයක්‌ නිර්මාණය කිරීමටත් භද්‍රජී තුළ වූයේ සුවිශේෂී හැකියාවකි.

මේ හැකියාවන් පසුකලෙක තව තවත් ඔප මට්‌ටම් කරගත්තේ සංගීතය හැදැරීම තුළින්ය. උපතින්ම ගෙන ආ කලා කුසලතා ඔහුව අද ඉහළටම ඔසවා තිබේ.

ගීත රචනය, ගායනය, තනු නිර්මාණය, වාදනය, ග්‍රන්ථ රචනය, නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදනය රඟපෑම, චිත්‍ර කලාව ඇතුළු මේ සියලු කලාවන් ප්‍රශස්‌ත මට්‌ටමින් යම් පුද්ගලයකු සතු වී තිබේ නම් හේ කලාකරුවන් අතුරෙන් විශිෂ්ටත්වයට පත් වූවෙක්‌ය. ඒ සියලු කුසලතා අභිබවා යන සැබෑ වූ මිනිස්‌කමද ඒසා වටිනා අපූරු කලාකරුවා හෝ කලාකාරියද සතුවී නම් සැබැවින්ම ඔහු හෝ ඇය විශිෂ්ටත්වයෙන් ශ්‍රේෂ්ඨත්වයට ඔසවා තැබූවෙක්‌ම වෙයි.

භද්‍රජි මහින්ද ජයතිලක නම් වූ සොඳුරු මිනිසා පිළිබඳවද අපට කියන්නට ඇත්තේ ඔහු විශිෂ්ඨත්වයෙන් ශ්‍රෝෂ්ඨත්වයට ළඟා වූ කලාකරුවකු බවය.

"ඔබේ නම ඔබේ ශක්‌තියයි. ඔබේ නමින් මේ විශ්ව ශක්‌තිය මුදාහැරීම අපහසු කරුණක්‌ නොවේ. සෑම මිනිසකු තුළම දෙවියකු සිටී. ඔබ තුළ සිටින දෙවියා සහ මා තුළ සිටින දෙවියා එකට එක්‌වීම වනාහී ආදරය සහ කරුණාව තුළ මිනිසුන් එකිනෙකා කෙරෙහි ඇති කරගන්නා වූ බැඳීම වේ."

ඒ භද්‍රජීගේ කටහඬයි. විසල් නිවසක ආලින්දයේ සැහැල්ලු කමිසයකින් සැරසී නිරන්තරවම මුවග රැඳුණ පියකරු සිනහවෙන් යුතුව රාත්‍රියේ නිහඬ බව බිඳිමින් අප හා පිළිසඳරේ යෙදෙන භද්‍රජී මහින්දයන් සිය දාර්ශනික චින්තනයෙන් අප සැම දැහැන්ගත කළාක්‌ වැන්න.

මහත් වූ සෙනෙහසින් බෙහෙවින්ම ළෙන්ගතුව මා මෙන්ම කීර්තිද ඔහු අපට කියන දේ ඇස පිය නොහෙලා අසා සිටියේය.

"කෝ ඈ කොහිද මගෙ රන් කිරිල්ලී ඇයිද ගියේ ඉගිල්ලී....." කියා මීට දශක තුනකට පමණ පෙර අපව මුසපත් කළ සෙල්ලක්‌කාර ගායකයාද මේ යන ප්‍රශ්නාර්ථයද සමගිනි.

"ඔබට මම ආදරය කෙරුවෙමි

ඔබෙන් මා ආදරය නොපැතුවෙමි

සදාකල් මුදාහළ

හළා හළ සුවඳ දුම

නිදාසිටි මනස මගේ

කැලැඹ වී.........."


ඒ අපූරු ගීතයත් ඔහුගේමය. ගයන්නේද, වයන්නේද ඔහුමය.

ඇමෙරිකාවේ කැලිෆෝනියා පුරවරයේ "මවුන්ට්‌ සේන්ට්‌" විශ්වවිද්‍යාලයේ දිය සායම් චිත්‍ර කලාව පිළිබඳව ආචාර්යවරයා වන මොහු "චිත්‍ර අඳිමු" මැයෙන් ග්‍රන්ථයක්‌ද සම්පාදනය කොට තිබේ.

මිනිසකුගේ ආධ්‍යාත්ම සුවපත් කැරැවීමට ප්‍රතිභාසම්පන්න කලාකරුවකුට ඇති හැකියාව සුළුපටු නොවේ. මිනිසුන් එබඳු කලාකරුවෝ දේවත්වයේ ලා සලකති.

සෑම මිනිසකු තුළම දෙවියකු සිටින්නේ යෑයි භද්‍රජී මුලින්ම අපට කී කතාවේ සත්‍යය මෙයම නොවේද? ඉන්දියානුවෝ "නමස්‌තේ!" කියා දැත් එක්‌කොට එකිනෙකාට ආචාර කරනුයේ ඒ එක්‌ එක්‌ මිනිසාගේ හදවතේ සිටින දෙවියාට කෙරෙන නමස්‌කාරයක්‌ ලෙසින් යෑයි අපට කියා දුන්නේ භද්‍රජී මහින්දයෝය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ කලාකරුවකු වූ හෙතෙම මේ වනවිට තමන් ප්‍රගුණ කොට සිටින විශ්ව ශක්‌තිය මුදාහැරීම තුළින් මිනිසුන්ගේ කායික සේම මානසික ව්‍යාධීන්ද සුවපත් කරන ඉසිවරයකු බවටද අද පත්වී සිටී. ඒ බැව් අපගේ දැසින්ම දැකීමටද මා මෙන්ම කීර්තිද පිං කර තිබූ නිසා භද්‍රජී මහින්ද ජයතිලක නම් මේ අප්‍රමාණ වූ මිනිසා ගැන නොදන්නා වූ සුවිශේෂී දෙයත්, "දිවයින" පාඨකයන් ඔබ වෙතද, මෙසේ ගෙන ඒමට හැකිවිය.

දේදුන්නේ පාට හත සේම අප ශරීරයේ විවිධ කොටස්‌ වටා රශ්මි මාලා විහිදුවයි. මේ රශ්මි මාලා විහිදුවන මධ්‍යස්‌ථාන චක්‍ර වේ. භාවනා ක්‍රම මගින් සිත දියුණු කරගත් යම් වෙත් නම් ඔහු හෝ ඇයට අප ශරීරයේ වූ චක්‍ර සතම විවෘත කරගත හැකි වේ. ඒ මගින් එම ශක්‌තිය අන් අය වෙත පවාරණය කළ හැකිය. එහි බලයෙන් රෝගීන් සුවපත් කළ හැකිය.

පෙර අප දිවයිනේම විසූ දසිර නාරද නම් වූ තෙරුන් වහන්සේ මෙම ශාස්‌ත්‍රයේ ගුරු හිsමියන් වන බවත්, දැනට වියට්‌නාමයේ ජීවත්වන වන්තාඕ නමැති ගුරුවරයකුගෙන් මෙම මානසික බලය තමන් ප්‍රගුණ කරගත් බවත් මේ දැනුම අහිංසක මිනිසුන්ගේ යහපත පිණිස යෙදවීමට කැමැති ඕනෑම අයකුට එය උගැන්වීමට තමන් ඉතා කැමැත්තෙන් සිටිනා බවත් භද්‍රජී අප සමඟ මෙදින පවසා සිටියේය.

1. මූලාධර චක්‍රය - රතු

2. ස්‌වාධිස්‌ථාන චක්‍රය - තැඹිලි

3. මනිපුර චක්‍රය - කහ

4. අනහත චක්‍රය - කොළ පැහැය

5. විසුද්ධ චක්‍රය - නිල් පැහැය

6. ආග්‍රා (අඡ්න) චක්‍රය - ඉන්ඩිගෝ

7. සහශ්‍රර චක්‍රය - සුදු හෝ දම්පාට


පිළිවෙළින් මිනිසකුගේ හිස මුදුන, නළල, උගුර, හෘදය, නාභිය අවට උදරය, ලිංගේන්ද්‍රිය සහ අධෝමාර්ගය යන ස්‌ථාන සත අවට මෙම විශ්ව ශක්‌ති මුදා හැරෙන චක්‍ර සත පිහිටා ඇති බවත් එම රැස්‌මාලා පිටවීම නැවතුනදා මිනිසාගේ ආයුෂ අවසාන වන බවත් භද්‍රජී අප වෙත පවසා සිටියේ විවිධ වූ උදාහරණද සහිතවය.

මිනිසකු ජීවත්ව සිටින කෙටි කාලය තුල තවත් මිනිසකුගේ සිත සුව පිණිස කොපමණ දේ කළ හැකිද, මිනිසකු රිදවීමට, හැඬවීමට හෝ විනාශ කර දැමීමට ඔබ සතු ශක්‌තිය, ශ්‍රමය කාලය නිකරුණේ වැයකරගෙන මිනිසත්භාවයෙන් තිරිසන් භාවයකට හෝ ඊටත් අන්ත ආත්ම භවයකට යනවාට වඩා අපට කොයිතරම් දේනම් කළ හැකිද? භද්‍රජී මහින්ද ජයතිලක නම් වූ මේ සුන්දර මිනිසා අපට පවසන කතාවේ යථාර්ථය එයම නොවේද?

මේ සුන්දර යථාර්ථය ඔහුගේම වචනවලින් ලියා තබා මෙම සටහන මා නිමා කරනුයේ ශ්‍රී ලංකා මාතාවට අභිමානයක්‌ ගෙන ආ අපේ කාලයේ ආඩම්බරය මේ මිනිසා යෑයි මට හැඟෙන නිසාය.

"මේ තාවකාලික පැවැත්මේ අපට කළ හැකි දෙය නම් අනුන්ට සේවය කිරීමයි. මමත්වයෙන් තොරව අනුන්ට සේවය කිරීමයි. එයින්ම සතුට උපදියි. දුක තුනී වෙයි. එයින්ම කර්මය ගෙවීම සිදුවෙයි. එයින්ම අප ලබනා උගැන්මෙන් අවබෝධය ඇතිවෙයි. අවබෝධය ඇති තැන බුද්ධිය ඇතිවෙයි. බුද්ධියෙන්ම නිවන යනු කුමක්‌ දැයි මනසට පෙනී යයි. නිවීම එතැනය."

භද්‍රජී මහින්ද ජයතිලකගේ ගී තිස්‌ වසරක තෝරාගත් ගී එකතුව ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.

ජයන්ත විඡේසිංහ
ඡායාරූප කීර්ති අමරසේකර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.