අධිකරණයට ශීර්ෂ ප්‍රණාමය !

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය හෙට (28 දා) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමන හා උද්ඝෝෂණය වළක්‌වන නියෝගයක්‌ නිකුත් කරන ලෙස කොළඹ පොලිස්‌ අපරාධ කොට්‌ඨාසය කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කරමින් කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත් කණිෂ්ක රණසිංහ මහතා නිකුත් කළ නියෝගය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌ ආරක්‍ෂා කර දීමට ගත් පියවරක්‌ ලෙස අපි දකිමු.

මන්ද ජනතා කැමැත්තෙන් බලයට පැමිණි මොනයම් හෝ දේශපාලන පක්‍ෂයක්‌ ඒ බලයම දඩමීමා කරගෙන ජනතාව පෙළයි නම් ඊට එරෙහිව ජනතාවට කළ හැකි එකම දෙය පාරට බැස රටට දැනෙන ලෙස විරෝධය පෑමයි. එම විරෝධය ගෙදරට වී කළු කොඩියක්‌ ඔසවාගෙන කළ හැකි යෑයි කොළඹ පොලිස්‌ අපරාධ කොට්‌ඨාසයට සිතී ඇති බව අපට සිතෙයි. එහෙත් තමන්ගේ කාර්යය විය යුත්තේ ජනතා උද්ඝෝෂණ වළක්‌වාලීම නොව ඒවා හේතුවෙන් මහජන සාමය කඩවීමට ඇති ඉඩකඩ වළක්‌වාලීම බව කොළඹ අපරාධ කොට්‌ඨාසය නොදන්නවා යෑයි අපි නොසිතමු. උද්ඝෝෂණය හේතුවෙන් මහජනතාවට පීඩාවක්‌ ඇති වුවහොත් පනත අනුව ක්‍රියා කරන්නැයි මහෙස්‌ත්‍රාත්වරයාද පොලිසියට දන්වා ඇත්තේ මේ නිසාය. එහෙයින් මෙබඳු මොහොතක දී තමන්ට නිර්දේශ ගත හැකි "පොලිස්‌ ආඥ පනත" නම් පනතක්‌ තිබෙන බව නොදන්නවා යෑයි කියා කොළඹ අපරාධ කොට්‌ඨාසය අවතක්‌සේරුවට ලක්‌ කිරීමට අපි උත්සාහ නොකරමු.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය යනු වැඩිහිටි ශිෂ්‍යයන්ගෙන් සැදුම්ලත් ශිෂ්‍ය සංගමයක්‌ මිස පාසලක බාලදක්‍ෂ කණ්‌ඩායමක්‌ බඳු එකක්‌ නොවන බව ග්‍රාමාරක්‍ෂක භටයකු වුවත් නොදනිතැයි අපි සිතන්නේ නැත. එබඳු ශිෂ්‍ය සංගමයකට රටේ ජනතාවට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් සාමූහිකව එක්‌වී අරගල කරන්නට ඇති අයිතිය ලෝකයේ කොයි රටක වුවද එක හා සමාන ලෙස පිළිගැනීමට ලක්‌වනවා ඇත. මේ දිනවල මේ රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින අර්බුදය කිසිවකුටත් රහසක්‌ නොවේ. මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් මාස තුනකට අධික කාලයක්‌ තිස්‌සේ වැඩවර්ජනයක නිරත වෙයි. රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නැයි ඔවුන්ගෙන් යෝජනා කීපයක්‌ ඉදිරිපත් වී තිබෙයි. ඒත් අපි දකින්නේ පාලකයින් විසින් ආචාර්යවරුන් සම්බන්ධයෙන් වැදගත් ලෙස ප්‍රතිචාරයක්‌ දක්‌වා නැති බවයි. රෝහල් සාත්තු සේවකයන්ගේ වැඩවර්ජනයකට දක්‌වන තරමේ ප්‍රතිචාරයක්‌වත් ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධයෙන් නොදැක්‌වීමෙන් බලධාරීන් ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඉතාමත් අවතක්‌සේරුවට ලක්‌ කර ඇති බව අපි දකිමු. පාලකයින්ගේ මෙම අතිශය ග්‍රාම්‍ය හැසිරීම හේතුවෙන් මේ වන විට සමස්‌ත විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයම පවතිනුයේ අක්‍රිය වූ තත්ත්වයක ය. වර්ජනයේ නිරත ආචාර්යවරුන්ගේ මාසික වැටුප් අත්හිටුවීමෙන් මේ අර්බුදයට විසඳුමක්‌ ලැබේ යෑයි වගකිවයුත්තන් කල්පනා කරයි නම් ඒ තරම් මුළාවක්‌ තවත් නැත.

තත්ත්වය මෙසේ දිග්ගැස්‌සීම නිසා පසුගිය 23 වැනිදා සිට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ගාල්ලේ සිට කොළඹට විරෝධතා පා ගමනක්‌ ආරම්භ කළේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද ආචාර්යවරුන්ට සහාය පළ කරමින් පසුගියදා මහනුවරින් ආරම්භ කළ පා ගමන හෙට කොළඹට ළඟා වෙයි. මෙබඳු ජන ගංගා දෙකක්‌ දෙපසකින් අගනුවරට ළඟාවීම තමන්ට පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වේද යන සැකය ඇතැම්විට කොළඹ අපරාධ කොට්‌ඨාසයට ඇති වුණා විය හැක. එහෙත් තමන්ගේ නොහැකියාව නිසා අනුන්ගේ හැකියාවට අකුල් හෙළීම සාධාරණ යෑයි සිතා අධිකරණයේ පිහිට පැතීම එක්‌ අතකින් තරගයට පෙර පරාජය භාරගැනීමක්‌ වැනිය.

කෙසේ වෙතත් පෞද්ගලික විශ්‍රාම වැටුප් පනතට විරෝධය පා කටුනායකදී පැවැති උද්ඝෝෂණයේදී පොලිස්‌ වෙඩි පහරින් මියගිය තරුණයාගේ අවමංගල්‍යයේදීත්, ජූලම්පිටියේ අමරේ ඇතුළු මැර පිරිසකගේ ප්‍රහාරයක්‌ හේතුවෙන් මියගිය බව කියන කටුවන ජවිපෙ සාමාජිකයන්ගේ අවමංගල්‍යවලදීත් ප්‍රාදේශීය අධිකරණ විසින් නිකුත් කළා බඳු ජනතා විරෝධය වළකන නියෝග නිකුත් නොකර ජනතාවාදී වෙමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින නියෝගයක්‌ නිකුත් කළ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට අපි ශීර්ෂ ප්‍රණාමය පුද කරමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.