ස්‌ථාන මාරුවීම් ලැබූ වෛද්‍යවරුන්
31 දාට පෙර මුදාහැරීමට නියෝග


ඒමන්ති මාරඹේ

වාර්ෂික ස්‌ථාන මාරුවීම් ලැබ සිටින සියලු රජයේ රෝහල් වෛද්‍යවරුන් ඔක්‌තෝබර් 01 වැනිදා සිට 31 වැනිදා දක්‌වා කාලය තුළ රෝහල්වලින් මුදාහරින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් සියලු රෝහල් හා පළාත් සෞඛ්‍ය බලධාරීන්ට චක්‍රලේඛයක්‌ මගින් නියෝග කර තිබේ. එසේ අදාළ කාලසීමාව තුළදී රෝහල්වලින් මුදා නොහරින සියලු ස්‌ථාන මාරුවීම් ලැබූ වෛද්‍යවරුන්ගේ වැටුප් ගෙවීම් ඔක්‌තෝබර් 31 න් පසු එළඹෙන සති දෙකක කාලසීමාව ඇතුළතදී අත්හිටුවන බව එම චක්‍රලේඛයෙහි සඳහන් කර තිබේ.

වාර්ෂිකව ස්‌ථාන මාරුවීම් නියෝග ලබන වෛද්‍යවරුන්ගෙන් ස්‌ථාන මාරුවීම් මත රෝහල්වලින් මුදාහරිනුයේ සියයට 10 ත් 20 ත් අතර සුළු ප්‍රමාණයක්‌ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබූ අධ්‍යයනවලදී හෙළිවීම නිසා මෙම නියෝගය කර තිබේ.

රජයේ රෝහල් වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්‌ථාන මාරු නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රෝහල් තුළ විවිධ අර්බුද හටගෙන ඇති බවත් මේ නිසා ස්‌ථාන මාරු ලබා නිදහස්‌ වීමට සිටින වෛද්‍යවරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් ද දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් චක්‍රලේඛයෙහි සඳහන් වේ.

වසර ගණනාවක සිට ස්‌ථාන මාරුවීම් ලැබ සිටින රජයේ වෛද්‍යවරුන් 6000 කගේ පමණ ස්‌ථාන මාරුවීම් ඇනහිට ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඇතැම් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පවසනුයේ ස්‌ථාන මාරුවීම් ලැබූ වෛද්‍යවරුන් සියලු දෙනා එකවර මුදාහැරීමෙන් එම රෝහල්වල කටයුතුවලට බාධා පැමිණිය හැකි නිසා එය පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ යුතු බවයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.