මුඛ පිළිකා හා පෙනහළු පිළිකා රූප දුම්වැටි පැකට්‌වල අනිවාර්ය කෙරේ

චමින්ද සිල්වා

දුම්වැටිවල සහ දුම්වැටි පැකට්‌වල මින් ඉදිරියට "මුඛ පිළිකා" සහ "පෙනහලු පිළිකා" රූප සටහන් අනිවාර්යයෙන් ඇතුළත් කළයුතු බවට වන ගැසට්‌ පත්‍රයට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුමැතිය ලබාදී තිබේ.

දුම්වැටි පනත යටතේ මෙයට අනුමැතිය ලබාදීම කාලයක සිට සිරවී තිබෙන බවට සෞඛ්‍ය ඇමැතිවරයා දැනුවත් වීමෙන් පසු පෙරේදා (29 වැනිදා) එයට ඇමැතිවරයා අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මෙරට මුඛ පිළිකා හා පෙනහලු පිළිකා ඉහළ යැමට ප්‍රධාන හේතුව දුම්පානය බවට හෙළිවීම නිසා ඇමැතිවරයා මෙම ගැසට්‌ පත්‍රයට අත්සන් කළ බවත් මේ සතිය ඇතුළත ප්‍රකාශ කිරීමට නියමිත බවත් හෙතෙම කීය.

දුම්වැටි ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී ද එම ප්‍රචාරක දැන්වීම් තුළ මුඛ පිළිකා හා පෙනහලු පිළිකා රූප සටහන් ඇතුළත් කළ යුතු බවට ගැසට්‌ පත්‍රය මගින් ඇමැතිවරයා උපදෙස්‌ දී තිබෙන බව ද මෙම පනත කඩකරන දුම්වැටි සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස්‌ දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.