ධර්මය තුළ අන්තවාදයට ඉඩක්‌ නැත

බංග්ලාදේශ බෞද්ධ සිද්ධස්‌ථාන හා බෞද්ධ ජනතාවට එරෙහිව එරට මුස්‌ලිම් අන්තවාදීන් එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පෑමට රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවටත්, බුදු දහම ප්‍රතිපදාවක්‌ ලෙස පිළිපදින බෞද්ධ ප්‍රජාවටත් ඇති අයිතිය අපි කිසිසේත් අවතක්‌සේරු නොකරමු. එහෙත් එකම කලාපයේ මිත්‍ර රටවල් දෙකක්‌ අතර ඇති වූ මේ සිද්ධියේදී එම විරෝධය දඩමීමා කරගෙන කිසියම් පටු අරමුණක්‌ ඉටුකර ගැනීමට යමකු හෝ යම් පිරිසක්‌ පෙරේදා (04) පැවැති බොදු බළ සේනා විරෝධතා ව්‍යාපාරයේදී උත්සාහ කළ බව අපි දුටුවෙමු. බොදු බළ සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමියන් සහ තවත් හිමි නමක්‌ එම විරෝධතා ව්‍යාපාරය අතරතුර සංදේශයක්‌ බාර දීම සඳහා බංගලාදේශ තානාපති කාර්යාලය තුළට ගිය අවස්‌ථාවේදී ගල් ප්‍රහාරයක්‌ එල්ල කිරීම කිසියම් සැලසුම් සහගත උත්සාහයක්‌ බවට පැහැදිලි කෙරෙයි. අඩුම තරමින් විරෝධතාකරුවන්ට බංග්ලාදේශ මහ කොමසාරිස්‌ කාර්යාලය අසලට යැමටවත් නොදී බාධා එල්ල විණි නම් මෙබඳු ක්‍රියාවකට විරෝධතාකරුවන් පෙළඹිණි යෑයි සිතිය හැක. එහෙයින් මේ ක්‍රියාව සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක්‌ සිදුකර රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට යම් අපකීර්තියක්‌ විණි නම් එය නිවැරැදි කිරීම ආරක්‍ෂක අංශවල වගකීමකි.

මුස්‌ලිම් අන්තවාදය යනු මුස්‌ලිම් ප්‍රජාව නො වන බව අපි හොඳින්ම දනිමු. ලෝකය පුරා යුද ගිනි දැල් කළ කෝලාහල වෙත්නම් ඒ බොහෝමයකට මූල බීජය මුස්‌ලිම් අන්තවාදය බව ද අපි දනිමු. ශ්‍රී ලංකාව තුළ එබඳු අන්තවාදී ක්‍රියාවකට මුස්‌ලිම් ප්‍රජාව පෙළඹී ඇති බවට අපට කිසිදු සාධකයක්‌ නැත. බංග්ලාදේශයේ චිතගොන් බෞද්ධ විහාරස්‌ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කිරීමට මෙරට මුස්‌ලිම් ආගමික නායකයන් විසින් පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූ අයුරු ද පුවත්පත් වාර්තාවලින් අපි දුටිමු.

එහෙත් මුස්‌ලිම් අන්තවාදය හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් බොහෝමයක බෞද්ධයන්ට සිදුවන හිරිහැර වැඩි වී තිබේ. ඉන්දුනීසියාවේ, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මෙන්ම බුරුමයේ බෞද්ධයන්ට ද මුස්‌ලිම් අන්තවාදය හේතුවෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වන බව විදෙස්‌ ප්‍රවෘත්ති වාර්තා කරයි. තායිලන්තයේ පමණක්‌ මේ වන විට බෞද්ධ භික්‍ෂුන් ඇතුළු බෞද්ධාගමිකයන් 6000 ක්‌ පමණ ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

බංග්ලාදේශය තුළ මේ ආගමික අන්තවාදය ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාව තරම්ම බෞද්ධාගමික ඉතිහාසයක්‌ ඇති බංග්ලාදේශයේ බොහෝ වෙහෙර විහාරස්‌ථාන වසර 500 කට වඩා පැරැණිය. එහෙත් අන්තවාදී මුස්‌ලිම් ආක්‍රමණ හේතුවෙන් අද බෞද්ධයන්ට සිදුවී ඇත්තේ චිතගොන් කඳුකර ප්‍රදේශයේ දුකසේ දිවි ගෙවමින් තම සංස්‌කෘතික අනන්‍යතාවන් ආරක්‍ෂා කර ගැනීමටය. එසේ දුක්‌ පීඩා විඳ දරා ගත නොහැකි බොහෝ දෙනෙක්‌ එක්‌කෝ බංග්ලාදේශය අතහැර යයි. බංග්ලාදේශ රජයටත් මේ අන්තවාදය පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ ලෝකය පුරා ඉතාමත් දරුණු ලෙස ක්‍රියාත්මක වන මූලධර්මවාදී මුස්‌ලිම් ව්‍යාපාරයකින් පෝෂණය වන හෙයිනි. ඇෆ්ගනිස්‌ථානයේ ඓතිහාසික බාමියන් බුදු පිළිම ඩයිනමයිට්‌ දමා සුණු විසුණු කර දැමුවේ මේ අන්තවාදය විසිනි. ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට ප්‍රහාර එල්ල කර තුන්දහසකට අධික අහිංසක ජීවිත ගණනක්‌ විනාශ කළේ මේ අන්තවාදය විසිනි. එහෙත් ඉස්‌ලාම් ආගමික නායකතුමන්ට අපහාස වන ආකාරයේ චිත්‍රපටයක්‌ ප්‍රචාරය වීමත් සමඟ ඔවුන් මුළු ලෝකයටම දැනෙන ලෙස ඊට විරෝධය පෑවේ ය.

කිසිදු ආගමික අන්තවාදයක්‌ හෝ ආගමකට එරෙහි අපහාස ක්‍රියාවක්‌ අනුමත නොකරන අපි පුවත්පතක්‌ ලෙස ඒ මොහොතේ මුස්‌ලිම් ප්‍රජාවට කතුවැකියකින් ම සහයෝගය පළ කළෙමු.

කෙසේ වුවත් ආගමක්‌ යනු පුද්ගලයා හික්‌මවන, ඔහුට හෝ ඇයට යහපත් මාර්ගය කියා දෙන කිසියම් සහජීවන දර්ශනයකි. ඒ තුළ අන්තවාදී වුවමනාවන්ට ඉඩක්‌ පැවැතිය නොහැක. නබි නායකතුමන්ගේ දේශනාවන්ගෙන් යුතු ඉස්‌ලාම් ධර්මය ද එබඳු දහමක්‌ බව අපි විශ්වාස කරමු. "ධම්මො හවේ රක්‌ඛති ධම්මචාරීZ හෙවත් ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇතැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත. එය ඉස්‌ලාම් දර්ශනය තුළ ද පොදු ධර්මතාවක්‌ ලෙස දකින්නට අපි නොපැකිළෙමු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.