"වෛද්‍ය ලේකම් පියවරක්‌ පස්‌සට"
දොස්‌තරලා වර්ජනය අත්හිටුවයි

ඒමන්ති මාරඹේ

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් විසින් ඊයේ (05 දා) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ එක්‌දින සංකේත වැඩවර්¨ජනය අත්හිටුවූ බව ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු "දිවයින" ට පැවැසීය. ස්‌ථාන මාරුවීම් නියෝග ලැබී ඇති සියලු රජයේ රෝහල් වෛද්‍යවරුන් ඔක්‌තෝබර් මාසය ඇතුළතදී රෝහල්වලින් මුදාහැරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණි.

වෛද්‍යවරුන්ගේ විරෝධයට පාත්‍ර වූ එම චක්‍ර්‍රලේඛය සංශෝධනය කර නැවත අලුතින් චක්‍රලේඛයක්‌ නිකුත් කරන බවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටු වූ බව එම වෛද්‍ය නිලධාරිවරයා කීවේය.

අදාළ පොරොන්දුව ඉටු නොකරන්නේ නම් ජාතික රෝහලේ වෛද්‍යවරුන් ලබන බදාදා (10 දා) රැස්‌වී ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් පිළිබඳව තීරණයක්‌ ගන්නා බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.