මෙහෙම නොවීයන් කිසිදාක!

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය පිළිබඳව පසුගිය සතියේත් මෙම තීරුව තුළින්ම අපි සාකච්ඡා කළෙමු. අභාග්‍යයක මහත බලනු මැනවි.· අදත් අපට ඒ පිළිබඳවම ලිවීමට සිදුවී තිබේ. එකම මැයක්‌ යටතේ එක දිගටම ලිවීම අපටද ප්‍රිය දෙයක්‌ නොවේ. එහෙත් මේ මොහොත වන විටත් ෙ€දනීය ලෙස නොවිසඳී තිබෙන්නා වූද, රටේ ප්‍රමුඛතම හා වැදගත්ම මාතෘකාව බවට පත්ව තිබෙන්නා වූද, එම සරසවි ආචාර්ය අර්බුදය මගහැර වෙනත් දෙයක්‌ පිළිබඳ ලිවීමට සිත අපට ඉඩ නොදෙයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරු ෂයිලොක්‌ න්‍යාය අනුව මස්‌ රාත්තලම ඉල්ලා සිටිතියි චෝදනාවක්‌ ද තිබේ. මේ මස්‌ රාත්තල යනු අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට හයක්‌ වෙන් කරන ලෙස ඉල්ලා සිටීමය. මෙම ඉල්ලීම පිළිබඳව දැනටමත් බොහෝ දේ ලියෑවී ද කියෑවීද තිබේ. එය සැබැවින්ම ආකර්ෂණීය වූද කිසිවකුට නොමැනවැයි ප්‍රතික්‌ෂේප කළ නොහැකි වූද, විශිෂ්ට අදහසක්‌ බව අපි ඉඳුරා කියමු. එහෙත් එයට එරෙහිව දක්‌වන කරුණු ද තිබේ.

කෙසේ හෝ රජයේ පාර්ශ්වයේ මෙන්ම සරසවි ආචාර්යවරුන් අතර ද මෙම සියයට හයේ යෝජනාව ප්‍රායෝගික නොවන හා එය ව්‍යාජ ඉල්ලීමක්‌ බව කියන අයද සිටිති. අපි මොහොතකට ඒ තර්ක පසෙක තබමු. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරන පරිදි සරසවි ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලින් ඉතා වැඩි ප්‍රමාණයක්‌ ලබාදී තිබේ නම් ඔවුන්ට මෙහිදී පියවරක්‌ පස්‌සට ගත නොහැකි ඇයි යන ප්‍රශ්නය ද සාධාරණ වේ.

මෙම ආචාර්ය සටන පසු පස රජය අස්‌ථාවර කිරීමේ දුෂ්ට අරමුණක්‌ තිබෙන බවට රජය කරන චෝදනාවක්‌ ද තිබේ. අපට එය ප්‍රතික්‌ෂේප කිරීමට හෝ අනුමත කිරීමට කරුණු නැත. එහෙත් මේ රජය සමඟ බටහිර බලවතුන් මෙන්ම දෙමළ ඩයස්‌පෝරාවද බලවත් සේ බිඳී සිටින බවත් මහින්ද රාජපක්‍ෂ සමඟ බටහිරට බේරා ගැනීමට ගනුදෙනුවක්‌ තිබෙන බවත් අපි හො¹කාරවම දනිමු. බටහිරයෝ අපගේ සංස්‌කෘතික ආධ්‍යාත්මය වැනසීමට ප්‍රසිද්ධියේ ද අප්‍රසිද්ධියේද පෙනී සිටින සතුරෝ බව නම් අපි ඉඳුරා දනිමු.

කෙසේ හෝ වේවා මෙම වර්ජනය අප තුළ නම් අතිශය සංවේදී ධාරණාවන් මතු කරයි. සත්තකින්ම මේ වර්ජනය අපගේ අධ්‍යාපනය බිඳ වැටීමේ සංඥාවක්‌ දැයි විටෙක අපට සිතේ. අපගේ නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලද, රටේ ඉහළම බුද්ධිමය සම්පත වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම රජය ද මේ රටේ වත්මන් හා අනාගත සිසු පරපුරේ ඉරණම පිළිබඳව මීට වඩා හෘදයංගමව ප්‍රතිචාර දැක්‌වීමට වග බලා ගත යුතු නොවෙත්ද?

මෙම අර්බුදයේ අතුරු ඵල ලෙස උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පමාවීම මෙන්ම දැනට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට බලා සිටින විද්‍යාර්ථීන් අපේක්‌ෂා භංගත්වයට පත්වීමද සිදුවිය හැකිය. වර්ජනයකදී සාදාචාර නීති රීති වලංගු නැතැයි මුග්ධ තර්ක ද දමා ගසනු පෙනේ. එහෙත් වර්ජනයකදී සියල්ල විනාශවීමට ඉඩදීම අපට අනුමත කළ නොහැක.

මෙම වර්ජනයේදී ඇතැම් සරසවි ආචාර්යවරුන්ට තර්ජනය කිරීම, පෞද්ගලික අවලාද, චරිත ඝාතනය වැනි බාල සහ අධම ක්‍රියාකාරකම්ද සාදාචාර විරෝධී බව කීමටද අපි මැලි නොවෙමු. එහෙත් රටක ජාතියක ඉරණම තීන්දු කරනු ලබන ක්‍රියාදාමයකදී බුද්ධිමත්ව හා වගකීමකින් සියල්ලෝම ක්‍රියා කළ යුතු වෙති. සරසවි වර්ජනයක්‌ යනු බස්‌ වර්ජනයක්‌ නැතහොත් වෛද්‍යවරුන්ගේ හෝ රෝහල් වර්ජනයක්‌ මෙන් එකවර රටට දැනෙන දෙයක්‌ නොවේ. එහෙත් මේ වර්ජනයේ විපාක ගණන් බලන හෙට දවසේදී එහි බිහිසුණු බවද සාහසික විලාසය ද දැකබලා ගත හැකිවනු නිසැකය.

වර්ජනයක්‌ යනු වෘත්තීය සටනක්‌ ලෙස ඇරැඹි අවසානයේදී දේශපාලන සටනක්‌ හෝ ආණ්‌ඩු පෙරළන බලවේගයක්‌ බවට පත්විය හැකි දෙයකි. මල් වට්‌ටියට අත ගසන ආකාරයෙන් වර්ජනවලට හොට දමන දේශපාලන පක්‍ෂද වෙති. එසේම වෙනත් බලවේග ද වෙති. මේ හැම දෙයක්‌ම වර්ජකයන්ගේ වෘත්තීය විලාසයට බාධා පමුණුවන බවද අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අපගේ මහනාහිමිවරුන්ගේ මැදිහත්වීම නම් අපි ගෞරවයෙන් ඉවසන්නෙමු.

මේ වනවිට මේ රටේ අධ්‍යාපන ක්‍රියාවලියම දුර්දාන්ත, අශිෂ්ට ප්‍රවණතාවන්ගෙන් පිරී පවතින බව ද කිව යුතුය. විද්‍යාලෝකයේ අමන හැසිරීම කළ පිරිස්‌ මෙහි දුෂ්ට ප්‍රකාශනයකි. මේ නීච ප්‍රයත්නය එම විද්‍යාලයට මතු නොව සමස්‌ත පාසල් අධ්‍යාපනය මත පැහැරීමක්‌ වැන්න. මේ ක්‍රියාදාමයට වගකිව යුතු අයට දඬුවම් දෙන බවට නගන අඬහැරය දෙස අපිදු බලා සිටිමු.

කෙසේ හෝ අධ්‍යාපනය යනු විනය, සංවරය හා බුද්ධිමය සංකලනය තුළින් විශිෂ්ටයකු බිහිකිරීමකි. සමාජ විරෝධී ජඩ මානසිකත්වය වෙනුවට ඵලදායී හා යහපත් මිනිසුන් නිෂ්පාදනය කිරීම සඳහා අනුබල දීමක්‌ හා මඟපෙන්වීමකි. එහෙත් ඒ අධ්‍යාපනය තුළ විද්‍යාලෝක වර්ගයේ යක්‌ෂයන් නිර්මාණය වීමද සිදුවිය හැකිය. එතැනදී නම් අධ්‍යාපනය, ගුරුවරු එයට වෙන් කරන ජනතා මුදල් කුමටදැයි අධ්‍යාපන බලධාරීන්ගෙන්ම ඇසිය යුතුවේ. බර්ට්‍රොaල් බ්‍රෙෂ්ට්‌ වරක්‌ කී පරිදිම මිනිහා වෙනස්‌ නොකරන අධ්‍යාපනය රටට බරක්‌මැයි.

ඉතින් අපගේ ගෞරවණීය සරසවි ආචාර්යවරුනි, ආණ්‌ඩුවේ බලධාරිනි, තවත් මේ අර්බුදය දික්‌ ගස්‌සමුද? මීට වඩා කාරුණිකව අප දෙසත්, අපගේ දරුවන් දෙසත් බලනු මැනවි!.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.