ක්‍ෂය රෝගය නිට්‌ටාවට සුව කරන වැලිසර ළය රෝහල

ක්‍ෂය රෝගයට ඉස්‌සර කිව්වෙ කාස රෝගය කියලා. කාසෙ හැදිච්ච අයව සමාජයෙන් කොන්කළා. ඒත් දැන් එහෙම නැහැ. ප්‍රතිකාර මගින් නිට්‌ටාවටම සුව කරන්න පුළුවන් නිසා ක්‌ෂය රෝගය හැදිච්ච අයත් සමාජයේ අන් අය සමග ජීවත් වෙනවා. ඒ අතර නිසි ලෙස බෙහෙත් නොගත්ත රෝගීන් ටික දෙනකුත් ඉන්නවා. ඒ වගේ අය ටිකක්‌ භයානකයි. ඔවුන්ගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට ක්‌ෂය රෝගය බෝවෙන්න පුළුවන්. මෙලෙස අන් අයට රෝගය බෝකරන ක්‌ෂය රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳින අයටත් ප්‍රතිකාර කරන්න පහසුකම් දැන් තිබෙනවා. මේ සියලු පහසුකම්වලින් පරිපූර්ණ රජයේ රෝහල පිහිටා තිබෙන්නේ වැලිසර. සාමාන්‍යයෙන් බොහෝ දෙනා පවසන්නේ වැලිසර තියෙන්නේ ක්‌ෂය රෝගය සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහල කියලා.

කොළඹ මීගමුව පාරේ මහබාගේ හන්දියේ සිට මීගමුව දෙසට මීටර් සියයක්‌ පමණ යන විට දකුණු අත පැත්තේ ඇති අක්‌කර 45 ක භූමි භාගයක මෙම රෝහල පිහිටා තිබෙනවා.

ක්‌ෂය රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නා ළය රෝහල කියා ඇතැමුන් පැවසුවත් වර්තමානයේ එය හඳුන්වන්නේ ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල ලෙසයි.

එහෙම හඳුන්වන්න හේතුවක්‌ තිබෙනවාද? අපි ඒ ගැන රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විඡේසූරිය මහතාගෙන් විමසුවෙමු.

ඔව්. ඉස්‌සර මේ රෝහලින් ප්‍රතිකාර ලබා දුන්නේ ක්‌ෂය රෝගීන්ට විතරයි. 1946 වසරේ පටන් ගත්ත මෙම රෝහලින් ප්‍රතිකාර ලබා දුන්නේ වතුකරයේ වැඩට ඉන්දියාවේ සිට ලංකාවට රැගෙන එන ද්‍රවිඩ ජනතාවගෙන් ක්‌ෂය රෝගය ඇති අයටයි.

1950 පමණ කාලයේ දී ක්‌ෂය රෝගවලට අමතරව අනෙකුත් ශ්වසන රෝගවලටත් ප්‍රතිකාර කරන්න පටන්ගෙන තිබෙනවා. නියුමෝනියාව, පෙනහලු ආශ්‍රිත රෝග ලෙස සලකන ඇදුම, බ්‍රොන්කයිටීස්‌, නිධන්ගත පුප්පුශීය රෝග, පෙනහලු පිළිකා, පෙනහලු සැරව ගෙඩි ආදියටත් මෙහි ප්‍රතිකාර ලබාදී තිබෙනවා.

වර්තමානයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත සියලු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සහිතව ළය රෝග විශේෂඥවරුන් තිදෙනෙක්‌ සහ පුරස්‌ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙක්‌ ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් නව දෙනෙක්‌ද සාමාන්‍ය වෛද්‍යවරුන් හැට දෙනෙක්‌ පමණද පන්සියයක්‌ පමණ වූ කාර්ය මණ්‌ඩලයක්‌ද සමග පවත්වාගෙන යනවා. එනිසා දැන් මෙහි ක්‌ෂය රෝග සඳහා පමණක්‌ නෙවෙයි ප්‍රතිකාර කරන්නෙ. සියලුම සෙම් රෝග සම්බන්ධ ප්‍රතිකාර මෙන්ම අනෙකුත් රෝහල්වලින් එවනු ලබන සෙම සාම්පල පරීක්‌ෂාවටත් ලක්‌ කරනවා. ඒ සඳහා විශේෂ පරීක්‌ෂණාගාර පහසුකම් පවා තිබෙනවා.

ශල්‍යාගාර දෙකක්‌, දැඩි සත්කාර ඒකකයක්‌, නේවාසික රෝගීන් සඳහා වාට්‌ටු අටක්‌ බහු ඖෂධ ප්‍රතිරෝධී ක්‌ෂය රෝගීන් ලෙස සලකන ඉතා දරුණු ගණයේ රෝගීන් සඳහා විශේෂ වාට්‌ටුවක්‌ද තිබෙනවා.

අධ්‍යක්‍ෂතුමන් පැවසූ පහසුකම් අපි සියෑසින්ම දැක බලා ගැනීමට රෝහල ඇතුළත සංචාරයක නිරත වූයෙමු.

විශේෂ ප්‍රතිකාර ලබාදිය යුතු දරුණු ගණයේ ක්‌ෂය රෝගීන් සඳහා අති නවීන පහසුකම්වලින් යුක්‌තව විශේෂ වාට්‌ටුවක්‌ ඉදිකර ඇත. මෙම වාට්‌ටුව නිර්මාණය කර ඇත්තේ රෝහල් අධ්‍යක්‌ෂ වෛද්‍ය විඡේසූරිය මහතාගේ උපදෙස්‌වලට අනුවය. එහි නේවාසික රෝගීන් හත් දෙනෙක්‌ පමණ ප්‍රතිකාර ලබති. ඔවුන්ගේ හුස්‌ම මගින් පිටවන විෂබීජ සාමාන්‍ය පරිසරයට මුදාහැරීම වළක්‌වා ඉහළ වාතයට මුදාහැරීම සඳහා අවශ්‍ය පහසුකම් මෙහි සකස්‌ කර ඇත.

අනෙකුත් ක්‌ෂය රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්‌ටු අවට පරිසරය තුළ විවිධ වර්ගයේ ගස්‌ කොළං වවා ඇත. පලතුරු ගස්‌, ඖෂධ පැළෑටි, මල් වර්ග ඉන් කිහිපයකි.

මේ අතර ගොඩනැඟිලි ඉදි නොවන හිස්‌ භූමිය එළවළු වගාවට යොදාගෙන ඇත. කැරට්‌, ගෝවා, මාළු මිරිස්‌, බණ්‌ඩක්‌කා, පතෝල, මඤ්ෙÆක්‌කා, තක්‌කාලි ඇතුළු එළවළු වර්ග රැසක්‌ වගාකොට ඇත.

මං මේ හිස්‌ භූමිය කැලෑවට යන්න නොදී ශුද්ධ පවිත්‍ර කරවාගෙන රෝහල් කාර්ය මණ්‌ඩලය සමග එක්‌ව වගා කටයුතු ආරම්භ කළා.

ඒ සඳහා භූමිය ශුද්ධ පවිත්‍ර කරගැනීමේදී වැලිසර නාවික කඳවුරේ සෙබළුන්ගේ සහ රාගම බන්ධනාගාරයේ සිරකරුවන්ගේ ශ්‍රම දායකත්වය ලැබුණා.

දැන් අපි රෝහල් කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනා එක්‌ව වගා කටයුතු කරනවා. මෙහි ලැබෙන ඵලදාව ඔවුන්ට අඩු මිලට අලෙවි කරනවා.

තමුන්ගේ රාජකාරිය එක්‌ රාමුවකට සීමා කර නොගෙන කටයුතු කරන රෝහල් අධ්‍යක්‌ෂවරයෙක්‌ බව අපට වෛද්‍ය

විඡේසූරිය මහතාගේ මෙවැනි කටයුතු වලින් අවබෝධ විය.

මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝගියෙක්‌ පැමිණෙන්නේ කොහොමද? රෝහලේ ඇති පහසුකම් දැක බලා ගනිද්aදී මම රෝහල් අධ්‍යක්‍ෂතුමන්ගෙන් විමසුවෙමි.

"බාහිර රෝගී අංශය සතියේ දවස්‌ හතම විවෘතයි. එහි සතියේ දිනවල පෙරවරු 8.00 සිට පස්‌වරු 5.00 දක්‌වා රෝගීන් පරික්‌ෂා කර ප්‍රතිකාර ලබාදෙනවා. ඉරිදාට දහවල් 12 දක්‌වා පමණක්‌ ප්‍රතිකාර ලබා දෙනවා.

මෙම රෝහලේ පොරොත්තු ලේඛන නැහැ. ඕනෑම රෝගියෙක්‌ට එදිනම අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දෙනවා. යම් සැත්කමක්‌ කළ යුතු නම් එදිනම කරනවා. ඒ සඳහා ඉදිරි දිනයක්‌ වෙන්කර ගෙන පැමිණිය යුතු නැහැ. ඒක අප රෝහලේ තිබෙන විශේෂ පහසුකමක්‌. ඒ මම විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා කර ඇති කළ පහසුකමක්‌. එනිසා දැන් ඈත දුර බැහැර සිට එන රෝගියෙකුට වුවත් එදිනම සියලු ප්‍රතිකාර ලබාගෙන යන්න පුළුවන්.

යම්කිසි පුද්ගලයෙකු තමුන්ගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව කිසියම් රෝගී තත්ත්වයක්‌ තිබෙන බවට යම් සැකයක්‌ තිබෙනවා නම් සතියේ දිනෙක බාහිර රෝගී අංශයට ඇවිත් ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.

ඒ වගේම සියලුම මහජනතාවට පැවසිය යුතු පණිවුඩය තමයි ඉස්‌සර වගේ ක්‌ෂය රෝගයට ඇදුමට බයවෙලා ලැඡ්ජාවට පත්වෙලා ඉන්න එපා. දැන් අති නවීන පහසුකම් තිබෙනවා. අනෙක මිනිස්‌සුන්ට ලෙඩ රෝග හැදෙනවා. ඒ සඳහා ප්‍රතිකාරත් තිබෙනවා. ආණ්‌ඩුවෙන් මේ වගේ රෝහල් පවත්වාගෙන යන්නේ රෝගී වන අයට නිසි ප්‍රතිකාර ලබාදී නිරෝගී කරන්නයි. නිරෝගී ජනතාවක්‌ සිටියොත් පමණයි රටක්‌ දියුණු වෙන්නෙ." වෛද්‍ය අධිකාරිතුමන් පැවසූ එම පණිවුඩය අප කවුරුත් සිහි තබාගත යුතුය. ලෙඩ රෝග සඟවාගෙන තම පවුලටත් සමාජයටත් රටටත් බරක්‌ වනු වෙනුවට රෝග සුව කරගෙන රටට වැඩදායී පුද්ගලයකු ලෙස ජීවත්වීම අප සතු යුතුකමකි.

උපාලි ද සේරම්
පිංතූර - සමන් රණවීර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.