පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ  උපරිමය

බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් රජුගේ පාලන කාලයේ (1272 - 1307) ලොව පළමුවන වතාවට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ආරම්භ වූ හැටි කියෑවෙන වැදගත් ලිපියක්‌ ඊයේ (8 වැනිදා) දිවයිනේ "දේශපාලනයේ මෙතක්‌ කතාව" පිටුවේ පළවී ඇත. රටේ සැබෑ බලකාරයා රජුද නොඑසේනම් පාර්ලිමේන්තුවද යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා පාර්ශ්ව දෙක ප්‍රසිද්ධියේත් අප්‍රසිද්ධියේත් ගුටි ඇන ගත්හ. 1869 දී මේ ගුටිකෙලිය අවසන් කරමින් රජුගේ බලය මෙසේය. පාර්ලිමේන්තුවේ බලය මෙසේය යන අර්ථකථනයක්‌ බිහි විය. එදා සිට අද දක්‌වා ගතවූ කාලය අවුරුදු 400 කි. සුද්දා අප ආක්‍රමණය කළේද මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය හරහා සම්මත කරගත් අණපනත් හරහාය. සුද්දා අප සූරා කන්නේද මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හරහාය. ඔහු කඩුගන්නාවේ ගල විදින්නේද රේල් පාර හදන්නේද, ලංකාවට මහා මාර්ග පද්ධතියක්‌ ලබා දෙන්නේද, ආසියාවේ යටත් විජිතයකට එතෙක්‌ දුන් හොඳම පරිපාලන ක්‍රමය අපට ලබාදෙන්නේද මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යටතේමය. එසේම විනිසුරු සරත් අඹේපිටිය මැරුම් කන්නේද මේ ක්‍රමය තුළය. මහනුවර අධ්‍යාපන කාර්යාලයේ ගසාකෑම් පරීක්‍ෂා කරන්නට ගිය විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ලලිත් අඹන්වෙල ඇසිඩ් පහර කන්නේද සදාකාලික ඔත්පලභාවයට පත් වන්නේද මේ ක්‍රමය තුළය. භයානක අයි. ආර්. සී. කාරයකු වන බැද්දගානේ සංජීව නමැති මිනීමරුවා පොලිස්‌ දෙපාර්තමේන්තුවට ගෙන ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්‍ෂක අංශයට අනුයුක්‌ත කරන්නේ ද මේ ක්‍රමය තුළමය. ඡේ. ආර්. ගේ කාලයේදී විනිසුරුවන්ට හූ කීම හෝ ප්‍රේමදාසගේ කාලයේදී රජයේ නිලධාරීන් සත පනහට වැටීම ගැන මෙහිදී සාකච්ඡා නොකරන්නේ ඒවා යටගිය පරණ කතා නිසාත් නිතර කීම නිසා මිනිසුන්ට එපාවී ඇති නිසාත්ය.

මේ අපූර්ව ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ ගුටිකෑ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න හඬ හඬා පාරේ වැතිර සිටියදී පාරේ ගිය අය විසින් රෝහලට භාරදීම ගැන ඊයේ (8 දා) අපට දැන ගන්නට ලැබිණි. තිලකරත්නට පහරදීමෙන් කවුරු නමුත් zzනියම ආණ්‌ඩු විරෝධී නාඩියZZ අල්ලා ඇත. තිලකරත්න සේවය කරන අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ආණ්‌ඩුව අතර මේ දිනවල කඹඇදිල්ලක්‌ තිබේ. කිසියම් සාකච්ඡාවක්‌ සඳහා අරලියගහ මන්දිරයට එන්නැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විනිසුරන්ට ලිපියක්‌ යෑවීය. එසේ පැමිණීම ප්‍රතික්‍ෂේප කරමින් අධිකරණ සේවා කොමිසම ජනාධිපති ලේකම්ට ලිපියක්‌ යෑවීය. රටේ විධායකය අඬ ගසන කල අධිකරණය "බෑ කීම" ප්‍රශ්නයකි. ඒ අනුව මේ රටේ විවිධ සිවිල් සංවිධාන ඇතැම් පුවත්පත් සහ ඉලෙක්‌ට්‍රොනික්‌ මාධ්‍ය කියන්නේ ආණ්‌ඩුව සහ අධිකරණ සේවා කොමිසම අතර විශාල කඹ ඇදිල්ලක්‌ පවතින බවය. විශාල කඹයද නැත්නම් ඇදිල්ලද යන්නට අර්ථකථනයක්‌ සපයා නැත. අපි මේ ගැන වැඩිදුර නොලියමු. මන්ද අධිකරණ සේවා කොමිසමේ හෝ එහි නිලධාරියකුගේ නිල ක්‍රියාකලාපය විවේචනය කරන අයට හිරේ විලංගුවේ යැමට සිදුවන බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින්ම කියා ඇති නිසාය. මේවා ගැන කතා කර දඩ ගෙවීමට අපට සල්ලිත් නැතá හිරේ යැමට කාලයකුත් නැත.á උසාවි යැමට බස්‌ ගාස්‌තුත් නැත. එහෙත් මේ කිසිවකට සම්බන්ධයක්‌ නැති නිදැල්ලේ හිතට ආ කතාවක්‌ කියමු. විධායකය සමග කඹ අදින විට අපටත් නොදැනීම කඹය කොට වන්නට පටන් ගනී. එක්‌ අවස්‌ථාවක බලන විට කඹය කොතරම් කොටවී ඇද්ද යත් විධායකය අපගේ මුහුණ ඉදිරියට පැමිණ මුහුණට මුහුණ බලාගෙන සිටී.·

මංජුල තිලකරත්න ගුටි කන්නේ මේ පසුබිම තුළය. එයින් අප අදහස්‌ කරන්නේ ආණ්‌ඩුව ඔහුට පහරදුන් බව නොවේ. සාමාන්‍යයෙන් ආණ්‌ඩුවක්‌ සහ ආයතනයක්‌ හෝ සිවිල් පුද්ගලයකු අතර ගැටුමක්‌ හටගෙන තිබෙන විට එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගැනීමට තුන්වන පාර්ශ්වයකට පුළුවන. තිලකරත්නට පහර දෙන ලද්දේ වෑන් රියකින් පැමිණි පිරිසකි. වෑන් රියේ පාට ගැන සඳහනක්‌ නොවීම ලොකු අඩුපාඩුවකි. සාමාන්‍යයෙන් ආණ්‌ඩුවේ දාමරිකයන් ප්‍රතිපත්තියක්‌ වශයෙන් එන්නේ සුදු වෑන්වලය. ඒ තමන් ආණ්‌ඩුවේ අය බව හඳුන්වාදීම පිණිසය. කෙසේ වුවද ඡේ. ආර්. ගේ කාලයේදීත් ප්‍රේමදාසගේ කාලයේදීත් චන්ද්‍රිකාගේ කාලයේදීත් සිදුවූ නරක දේ මහින්ද රාජපක්‍ෂගේ කාලයේදීත් සිදු වන්නේ නම් එය නරක තත්ත්වයක්‌ බව තේරුම් ගත යුතුය. තිලකරත්න අපට නම් කිසිදු වරදක්‌ කර නැත. එබැවින් ඔහුට පහරදීමේ අවශ්‍යතාවක්‌ අපට නම් නැත. අවසානයේදී අපට කරන්නට සිදුව ඇත්තේ මේ පහරදීම හෙළාදැකීම පමණි. මෙබඳු හෙළාදැකීම් කොච්චරවත් නම් පසුගිය කාලයේදී අප කරන්නට ඇද්ද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.