ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත ජනාධිපති ලේකම් කාර්යාලයේ

සමන් ගමගේ

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් යොමු කරනු ලැබූ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත සම්බන්ධයෙන් නිසි පියවර ගෙන මේ වනවිට එය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර අවසන් බව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහාම නිලධාරීන් පිරිසක්‌ යොදවා එහි කටයුතු නිම කිරීමෙන් පසු මෙලෙස ජනාධිපති ලේකම්වරයාට යොමු කෙරුණු බව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක්‌ බැවින් අදාළ පනත් කෙටුම්පත මෙලෙස ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ බව ද හෙතෙම පැවැසීය.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ලෙස නම් කරමින් රජය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණු අතර මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ පනත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේදී අතුරුදන් වී ඇතැයි පසුගියදා පැවැසීය.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ තිස්‌පස්‌ වැනි ගුණ සමරුව නිමිත්තෙන් පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව අවධාරණය කරනු ලැබීය.

ඇමැතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳ කළ විමසීමකදී එකී පනත සම්බන්ධයෙන් වූ සියලු කටයුතු අවසන් කර මෙසේ එය ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ බවද නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

මේ පිළිබඳ දැන ගැනීම සඳහා ඊයේ (9 දා) අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරිනිය ඇමැතීමට උත්සාහ දැරුවද ඇය රැස්‌වීමකට සහභාගි වී සිටි නිසා එම උත්සාහය ව්‍යර්ථ විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.