මෙරට ජනගහනයෙන් 11% ක්‌ විශාදයෙන් පෙළෙනවා
මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය කියයි

ඒමන්ති මාරඹේ

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 11 ක්‌ විශාදය (ඩිප්‍රෙෂන්) නමැති මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති අතර ඔවුනගෙන් සියයට 15 ත් 20 ත් අතර වූ සංඛ්‍යාවක්‌ සියදිවි නසා ගැනීමට පෙළැඹෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

එම කාර්යාලය සතු දත්ත අනුව මෙරට කල් පවතින රෝගවලින් පෙළෙන්නන්ගෙන් වැඩි දෙනකු විශාදය රෝගයට ගොදුරු වන අතර දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ගෙන් 50% කටම එම රෝගය පවතින බව අනාවරණය වී තිබේ.

ප්‍රසව මවුවරුන්ගෙන් සියයට 15 කට පමණ දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසව විශාදය වැළඳිය හැකි බවත් එම තත්ත්වය හරහා එම මවුවරුන් ප්‍රසූත කරන ළදරුවන්ගේ වර්ධනය අඩාල වී ඔවුන් මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානමක්‌ පවතින බවත් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 350 ක්‌ පමණ දෙනා විශාදයෙන් පෙළෙන අතර පසුගිය වසරේ දත්තයන්ට අනුව සෑම පුද්ගලයන් 20 දෙනකුගෙන් එක්‌ අයෙකුටම විශාද තත්ත්වය වැළඳී තිබෙන බව හෙළි වී තිබේ.

ඕනෑම වයස්‌ කාණ්‌ඩයක අයකුට වැළඳිය හැකි සුලබ මානසික රෝගී තත්ත්වයක්‌ වන මෙම රෝගය සුව කිරීම සඳහා ප්‍රබල ප්‍රතිකාර ක්‍රම වර්තමානයේ පැවැතීම නිසා එයට ගොදුරු වන්නන් අනිසි බියකින් පසු වීම අනවශ්‍ය බව මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

සිතෙහි දිගුකාලීනව පවතින දුක/ කලකිරීම, දෛනික වැඩ කිරීමට ඇති උනන්දුව හා උෙද්‍යාaගය අඩු වීම, එපා වීම, නොසන්සුන්කම විශාදය රෝගයේ ප්‍රධාන රෝග ලක්‍ෂණයන් වේ. එම රෝග තත්ත්වයට ගොදුරු වන්නන් හිසරදය, කෑම අරුචිය, ඇඟපත දැවිල්ල, හිස හිරිවැටීම, නින්ද නොයැම, තෙහෙට්‌ටුව වැනි රෝග ලක්‍ෂණයන් පිළිබඳව වැඩි වශයෙන් පැමිණිලි කරන බව පෙන්වා දෙන වෛද්‍යවරු එම රෝග ලක්‍ෂණ යටින් පවතින ප්‍රධාන රෝගය විශාදය බව හඳුනා නොගැනීම නිසා රෝගය උග්‍ර වන බව සඳහන් කර සිටිති. ඊයේ (10 දා) යෙදී තිබුණු ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්aතර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රධාන උත්සවයේදී මෙම කරුණු අනාවරණය විය. වෛද්‍ය ලක්‍ෂ්මී සෝමතුංග, වෛද්‍ය පාලිත මහීපාල, මහාචාර්ය නාලක මෙන්ඩිස්‌, සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන යන මහත්ම මහත්මීහු මෙම උත්සවය අමතා කතා කළහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.