ඖෂධ හලක්‌ පරීක්‍ෂාවට ගිය
ව්‍යාජ දොස්‌තර අත්අඩංගුවට


සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර නගරයේ ඖෂධ අලෙවි සලක කොරෙක්‌ස්‌ සිරප් පරීක්‍ෂා කිරීමට ගිය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු මහනුවර දිසා හා අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (11 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

ඖෂධ අලෙවි සලේ හිමිකරුවන් විසින් ලබාදුන් තොරතුරක්‌ අනුව පොලිස්‌ කණ්‌ඩායමක්‌ සැකකරු අත්අඩංගවට ගැනීමට සමත්වී තිබේ.

ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ජාඇල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයක සහ මහනුවර පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයක ද කටයුතු කළ බවයි.

වෙද නලාවක්‌, ජාඇල වෛද්‍යවරයකුගේ නිල මුද්‍රdවක්‌, මහනුවර පේරාදෙණිය පාරේ වෛද්‍යවරියකගේ නිල මුද්‍රdවක්‌, සහතික ලත් වෛද්‍යවරයකුගේ හඳුනා ගැනීමේ කාඩ්පත් දෙකක්‌ සැකකරු සන්තකයේ තිබී පොලිසිය සොයා ගෙන තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල, නියෝජ්‍ය පොලිස්‌පති ජී. බී. පෙරමුණේ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ගනේගම සහ පොලිස්‌ අධිකාරි ආනන්ද සේරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ප්‍ර.පො.ප. ආර්. එච්. එම්. ගුණරත්න බණ්‌ඩා, පො.ප. බී. එම්. යූ. ඩබ්ලිව්. චන්ද්‍රසේකර, පො.සැ. රත්නායක (22595) සහ පො.සැ. ගාමිණී (17917) යන මහත්වරු වැඩිදුර විමර්ශන කරති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.