ප්‍රතිජීවක එන්නත් විෂ වී
මිය ගිය දැරියගේ  සිරුරේ කොටස්‌ පරීක්‍ෂාවට


ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

සෙෆ්ටි්‍ර ඇක්‌සෝන් නමැති ප්‍රතිජීවක ඖෂධය එන්නත් කිරීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවක්‌ නිසා මියගිය නව හැවිරිදි පාසල් දැරියගේ සිරුරේ කොටස්‌ හා ලේ සාම්පල් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු අදාළ පර්යේෂණ ආයතන වෙත යොමු කළ බැව් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකී වරුෂාහැන්නදි මහත්මිය පවසයි.

මියගිය කවීෂා හංසනී දැරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වනු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ජානකී වරුෂා හැන්නදි මහත්මිය විසිනි.

මේ පිළිබඳ වාර්තාව ලැබීමට සති දෙක තුනක්‌ පමණ ගතවිය හැකි බවත්, එම වාර්තාව ලැබීමෙන් පසු මරණයට හේතුව නිශ්චිතවම සඳහන් කළ හැකි බවත් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය සඳහන් කළාය.

දැරියගේ හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්වූ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය බී. ජී. එන්. කරුණාතිලක මහතා මරණය සම්බන්ධ විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කළේය.

මේ අතර මෙකී ප්‍රතිජීවක එන්නතේ එක්‌ කාණ්‌ඩයක්‌ පාවිච්චියට නොගන්නා ලෙස දිවයිනේ සියලුම රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් උපදෙස්‌ ලබා දී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.