මෙත් සෙවණේ අළුගෝසුවන්ගේ
හිස්‌ ගසා දැමිය යුත්තේ ඇයි?


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කිට්‌ටුව පිහිටි රජයේ නිවර්තන නිවාස සමූහයට අයත් මෙත් සෙවණ නිවාසයේ සිටි ගැහැනු දරුවන් හයදෙනකු නිවාසයේ වහලය මතට නැග උපවාස කිරීම ගැන ඊයේ (15 දා) උදේ අපේ "දිවයින" පාඨකයන්ට දැන්වීමු. මේ දරුවන් හයදෙනා වහලයට නැංගේ නිවාසයේ පාලකයන් තමන්ට නිසි ලෙස නොසලකන බව කියමිනි. ගැහැනු දරුවන් සම්බන්ධයෙන් අදටත් මේ රටේ පවතින අර්ධ තලේබාන් සංස්‌කෘතියට අනුව කවර අසාධාරණයකදී වුව තම හඬ අවදි කිරීමට ගැහැනු ළමෝ අදි මදි කරති. යාන්තම් කටක්‌ ඇර හඬක්‌ නගා නැටුමක්‌ නටන්නේ කොළඹ සිටින, නයිට්‌ ක්‌ලබ් යන, ඉහළ සමාජයේ ගැහැනු දරුවන් පමණි. කාන්තා විමුක්‌තිය උදෙසා යෑයි කියමින් පිටරටින් එන සල්ලි කකා දහඅටවන්නමෙන් එකක්‌ වන තුරඟා වන්නම නටන, ඉංග්‍රීසි පමණක්‌ කතා කිරීමට කැමැති, එහෙත් සිංහල ඕපාදූප ඇසීමට ප්‍රිය කරන කලිසම්කාර ස්‌ත්‍රීන් ගැන මෙහිදී කතා කරනු නොලැබේ. එසේ කතා කළොත් එය ඔවුන්ගේ බිස්‌නස්‌ වැඩවලට හොඳ නැත. වහලයට නැගි ගැහැනු දරුවන් හයදෙනාට නිසි ලෙස නො සලකන්නේදැයි මෙත් සෙවණ නිවාසයේ නිලධාරියකුගෙන් "දිවයින" ප්‍රශ්න කළ අවස්‌ථාවේදී ඔහු කියා ඇත්තේ තමන් එම දරුවන්ට ඉතා හොඳින් සලකන බවය. ඔහු මොනවා නම් නොකියද්ද? ඇස්‌පනා පිට මිනීමැරූ එකා උසාවියේදී කියන්නේ තමා එබන්දක්‌ නො කළ බවය· ස්‌ත්‍රී දූෂකයා කියන්නේ තමා ජීවිතයටවත් ගැහැනියක දැක නැති බවය. හොරා කියන්aනේ තමා සොරකම් කළ බව නොව තමාට අයත් බඩු නැති වී ඇති බවය. (ඇතැම් හොර බඩු පොලිසියට ගෙන ගිය විට කොටස්‌ වශයෙන් අතුරුදන් වෙයි. රන් මාලවල පුරුක්‌ අඩු වෙයි. කරාබුවල බෝල නැති වෙයි. රන් බඩු තොගය විශාල නම් එයින් අඩක්‌ම අධිකරණයට ඉදිරිපත් නො කෙරෙයි.) එසේ නම් මෙත් සෙවණේ ලොක්‌කා කියන කතාව නොසලකා හල යුතුය.

මාපියන් හෝ භාරකරුවන් නැති අසරණ දරුවන් රජයේ නිවාසවලට සහ පෞද්ගලික අනාථ නිවාසවලට බඳවාගෙන ඔවුන්ගෙන් මෙහෙකාරකම් කර ගැනීමත් ඔවුන් සල්ලාලයන්ට සැපයීමත් ඒවාට ඔවුන් එකඟ නොවූ විට සාහසික ලෙස ඔවුන්ට වධ දීමත් ඉතා පරණ කතාවකි. එය කොතරම් පැරණිද යත් අසරණ සරණ නිවාසවල ඉතිහාසය තරමටම පැරණිය. මෙය හිරගෙදර ඇතුළත පවතින තත්ත්වයට ස්‌වල්පයක්‌ සමාන තත්ත්වයකි. ගැහැනු දරුවන් සිටින නිවාස පාලනය කරන්නේ කාන්තාවන් ය. මෙකී පාලිකාවන්ගේ හිංසා පීඩා සහ පරිභව සහ ලිංගික අපහරණයන් ඉවසා ගැනීමට බැරි තැන නිවාසවලින් පැන ගොස්‌ අයාලේ යන, මහ පාරට වැටෙන දැරියෝ ඕනෑ තරම් සිටිති. ගණිකා වෘත්තියේ යෙදී පොලිසියට හසුවන ඔවුන් අවසානයේදී නවතින්නේ හිර ගෙදරයි. හිරගෙදර කාන්තා අංශය යනු අපායකි. යකුන් වැනි පාලිකාවන් ලොකු මුගුරු තබාගෙන කාන්තා රැඳවියන්ට පහර දෙන තැනකි. එතැනදීත් ලිංගික අපහරණය යනු සාමාන්‍ය දෙයකි.

අසරණ සහ අනත් දරුවන් සඳහා නිවාසයක්‌ ඇති කිරීමට නීති තිබේ. එහෙත් ගෙයක්‌ කුලියට ගෙන, සමාජ සේවා අමාත්‍යංශයට දන්වා ළමා නිවාසයක්‌ පටන් ගැනීමට ඕනෑම හොඳ මිනිහකුට මෙන්ම ඕනෑම වළත්තයකුට ද පුළුවන. එසේම ඕනැම හොඳ මිනිහකු අරඹන ළමා නිවාසයක කාර්ය මණ්‌ඩලයකට ඇතුළත් වීමට වනචර මිනිහකුට හෝ ගැහැනියකට පුළුවන. වැරැද්ද පළමුවන දිනයේදී කරනු නොලැබේ. සතියකින් දෙකකින් හෝ මාසයකින් ද කරනු නොලැබේ. එහෙත් ස්‌ථිර වශයෙන්ම අවුරුද්දකට පසු කරනු ලැබේ. මේ වන විට අදාළ විෂබීජ වාහකයා නිවාසය තුළ තහවුරු වී හමාරය. එසේම කිසිදු ආකාරයක ලියාපදිංචියක්‌ නැතිව නිකම්ම ගෙයක්‌ කුලියට ගෙන ළමා නිවාස පවත්වන "ත්‍යාගශීලීන්" සිටින බව ආණ්‌ඩුව දත යුතුය.

ළමා නිවාසයක්‌ හරියාකාරව ඇරගත්තොත් එය පරම්පරා තුන හතරකට යා දෙන බිස්‌නස්‌ එකක්‌ බවට පත්වන්නේය. මෙය හරියාකාරව ලියාපදිංචි කරගතහොත් සියලු ආදායම් බද්දෙන් නිදහස්‌ ය. ලෝකයේ ඇති එන්. ජී. ඕ. පාරවල් අතරින් හොඳම එන්. ජී. ඕ. පාර වන්නේ ළමා නිවාස හා කාන්තා නිවාස වැඩපිළිවෙළය. මේවා නමින් ඉතා "හොඳ සල්ලි" එකතු කළ හැකිය. පිටරටින් කන්ටේනර් පිටින් එන ඇඳුම්, පාවහන් සහ වෙනත් ආධාර වැඩි කලබලයක්‌ නැතිවම කොළඹ මල්වත්ත පාර අයිනට බා විකිණිය හැකිය. මේ මොන කුපාඩිකම කළත් නිවාසයේ සිටින අසරණ දරුවන්ට හිංසා පීඩා නොකළ යුතුය. තමන් බඩ වඩා ගන්නේත් තම පවුල්වල සාමාජිකයන්ගේ බඩවල් පුරවන්නේත් ළමයින් බලාගැනීම වෙනුවෙන් ලැබෙන වැටුප්වලින් සහ වෙනත් වාසිවලින් බව නිවාස පාලකයන් පිළිගත යුතුය.

මෙත් සෙවණේ දරුවන්ගේ විරෝධතා ව්‍යාපාරයේදී මොන වැරදි කළත් අප ගන්නේ ඒ දරුවන්ගේ පැත්තය. ඒ උන් දරුවන් නිසාය. එ බැවින් අප රජයෙන් ඉල්ලන්නේ මෙත් සෙවණේ පරිපාලනය භාර අලුගෝසුවන්ගේ හිස්‌ ගසා දමන ලෙසය. (මෙය සංකේතාත්මක ඉල්ලීමකි. එයින් කියෑවෙන්නේ දැඩි දඬුවම් දිය යුතු බවය.)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.