කුජදා හමුව

අපේ වෑයම  විපක්‌ෂය පොදු
අරමුණකට ගෙන ඒමයි

සරත් ෆොන්සේකා

අපි දේශපාලන පෙරමුණක්‌ නොවෙයි නිර්මාණය කරන්නේ සියලුම දේශපාලන පක්‍ෂ හෝ දේශපාලකයන් පොදු අරමුණකට ගෙන ඒමයි සිද්ධ වෙන්නේ. එය විපක්‍ෂයේ එකමුතුවක්‌. ඒ මේ ආණ්‌ඩුව ගෙදර යෑවීමේ අරමුණ. අපිට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවල සැලසුම් සහ න්‍යාය පත්‍රයන්ට බාධා කිරීමේ වුවමනාවක්‌ නැහැ. මෙහිදී සිදුවන්නේ විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයන් සහ ඡන්දදායකයන් එක්‌ පොදු වේදිකාවක්‌ මතට ඇවිත් පොදු අරමුණක්‌ වෙනුවෙන් වැඩ කිරීමයි. ආණ්‌ඩුවට එරෙහිව වැඩ කිරීම මිස දේශපාලන පෙරමුණක්‌ නොවේ මේ සකස්‌ වන්නේ.

අලුත් දේශපාලන එකමුතුවක ආරම්භය මෙම 18 වැනිදා (බ්‍රහස්‌පතින්දා) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී සිදුවේ. මෙතෙක්‌ නමක්‌ තබා නැති මෙම එකමුතුවේ ප්‍රධාන භූමිකාවක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිටී. මේ නව දේශපාලන එකමුතුව කුමක්‌ද.... යන්න පිළිබඳව සරත් ෆොන්සේකා මහතා කුජදා හමුව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් පළ කළ අදහස්‌ මතු දැක්‌වේ.

වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳ ඔබේ තක්‌සේරුව කෙබඳුද?

රජය ජනතාවගේ සෑම අවශ්‍යතාවක්‌ම අහිමි කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය අහිමි කිරීම තුළින් රට අරාජිකත්වය කරා ගෙන යනවා. තර්ජන, බියවැද්දීම් පමණක්‌ නොවේ දූෂණ වංචාවන්ට ආණ්‌ඩුවේ ඉහළ සිට පහළ සෑම කෙනෙකුම ලක්‌වෙලා. රජය සංවර්ධනයක්‌ ගැන කතා කළාට අපිට නම් රටේ කිසිම සංවර්ධනයක්‌ පසුගිය අවුරුදු හය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. ආණ්‌ඩුව කලින් කිව්වේ යුද්ධය නිසා සංවර්ධනය ඇනහිට ඇති බව. ඒත් මගේ දැනුම අනුව නම් ආණ්‌ඩුව යුද්ධයට වියදම් කළේත් නැහැ. යුද්ධයට හැම දෙයක්‌ම කළේ ණයට. දැන් අපි ඒ ණය ගෙවමින් ඉන්නවා. අපේ යුද වියදම් ඒ ආකාරයටම තවමත් පවත්වාගෙන යනවා. කෙසේ වෙතත් යුද්ධය අවසානයි. ආණ්‌ඩුවට සංවර්ධන සැලැස්‌මක්‌ නැහැ. වරායවල්, ගුවන් තොටුපළවල්, ක්‍රීඩාංගණ සහ පාරවල් කාපට්‌ කරනවා කියලා ජනතාව රැවටීමක්‌ විතරයි කරන්නේ. කර්මාන්ත අංශය, කෘෂිකර්මාන්තය හෝ විදෙස්‌ සංචිත ඉහළ නංවන්න ආණ්‌ඩුවට සැලසුම් නෑ. රට අවුල්වෙලා. දහඅටවැනි ව්‍යවස්‌ථා සංශෝධනය හරහා සියලුම බලතල එක්‌ පුද්ගලයකු සතු කරගෙන. රට අරාජිකයි. අප මේ ආණ්‌ඩුව ඉවත් කළ යුතුයි. මේ ආණ්‌ඩුව අවසාන මැතිවරණයේදී මිලියන 4.5 ක්‌ ඡන්ද ගත්තා. තව මිලියන 7.5 ක්‌ ආණ්‌ඩුවට ඡන්දය පාවිච්චි කළේ නැහැ. ඒ අයට වුවමනායි ආණ්‌ඩුව ගෙදර යවන්න.

ඒ කාරණය අරමුණු කරගෙනද ඔබ මෙම 18 වැනිදා දේශපාලන පෙරමුණක්‌ හඳුන්aවා දෙන්නේ?

අපි දේශපාලන පෙරමුණක්‌ නොවෙයි නිර්මාණය කරන්නේ සියලුම දේශපාලන පක්‍ෂ හෝ දේශපාලකයන් පොදු අරමුණකට ගෙන ඒමයි සිද්ධ වෙන්නේ. එය විපක්‍ෂයේ එකමුතුවක්‌. ඒ මේ ආණ්‌ඩුව ගෙදර යෑවීමේ අරමුණ. අපිට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවල සැලසුම් සහ න්‍යාය පත්‍රයන්ට බාධා කිරීමේ වුවමනාවක්‌ නැහැ. මෙහිදී සිදුවන්නේ විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයන් සහ ඡන්දදායකයන් එක්‌ පොදු වේදිකාවක්‌ මතට ඇවිත් පොදු අරමුණක්‌ වෙනුවෙන් වැඩ කිරීමයි. ආණ්‌ඩුවට එරෙහිව වැඩ කිරීම මිස දේශපාලන පෙරමුණක්‌ නොවේ මේ සකස්‌ වන්නේ.

කවුද මේ එකමුතුවේ නායකයා?

මෙහි විශේෂ නායකයෙක්‌ නැහැ.

නායකයෙක්‌ නැත්නම් කවුද තීරණ ගන්නේ. නායක මණ්‌ඩලයක්‌ ඉන්නවද?

කිසිම දේශපාලන නායකයෙක්‌ නෑ. නමුත් නායකයෝ ඉන්නවා. එක්‌සත් ජාතික පක්‍ෂයේ කරු ජයසූරිය මහත්මයා මේ කණ්‌ඩායමේ ප්‍රධාන භූමිකාවක්‌. අපට තව නායකයෝ ඉන්නවා. දයාසිරි ජයසේකර, රංගේ බණ්‌ඩාර, අර්ජුන රණතුංග ඇතුළු අපි කැමැති නෑ එක විශේෂ නායකයෙක්‌ තෝරා පත්කර ගන්න.

එක්‌සත් ජාතික පක්‍ෂය මේ සඳහා එක්‌ නොවන්න තීරණය කර තිබෙනවා.

මම කියන්නේ මේකට පක්‍ෂ වශයෙන් නොවේ සහභාගි වන්නේ. විවිධ පක්‍ෂවල පුද්ගලයන්. අපි 18 වැනිදා එකම වේදිකාවක්‌ මතට එන්නේ එජාප නායකයා හෝ එජාපය නොමැතිව. නමුත් එජාපයේ සමහර මන්ත්‍රීවරු එකඟ වී සිටිනවා මේ එකමුතුව අවශ්‍යයි කියලා. ඔවුන් එදාට එක්‌වේවි. ඒ අය නියෝජනය කරන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය නොවේ.

ජනතා විමුක්‌ති පෙමුණත් මේ වේදිකාවට 18 වැනිදා ගොඩවේවිද?

නෑ... ජවිපෙ එකඟත්වය පළ කරලා නැහැ. ඔවුන්ට ඔවුන්ගේම න්‍යාය පත්‍රයක්‌ තියෙනවා. එනිසා ඔවුන් අනෙක්‌ අය සමඟ වැඩ කරන්න මේ මොහොතේදී යන්නේ නැහැ. නමුත් අපි පුද්ගලයන් වශයෙන් ආරාධනා කර තිබෙනවා. දඹර අමිල හිමි වගේ අයට...

තව කවුද සහභාගි වන අය?

මනෝ ගනේෂන් මහතාව අපේක්‍ෂා කරනවා.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ?

ඔවුන් සමඟ සාකච්ඡා කරන්න උත්සාහ කළා. ඒත් ඔවුන් 18 වැනිදාට නාවත් පසුව එක්‌වේවි කියා හිතෙනවා.

හේමකුමාර නානායක්‌කාර මහතා?

අපි ඔහුට කතා කර තිබෙනවා. නමුත් තවමත් තහවුරු කරලා නෑ. සිරිතුංග ජයසූරිය මහතා පැමිණෙයි කියා හිතනවා.

වික්‍රමබාහු කරුණාරත්න?

අපිට ඔහු සමඟ සම්බන්ධ වෙන්න නොහැකි වුණා. අපි දන්නේ නෑ අනාගතයේදී කුමක්‌ සිදුවේවිද කියලා.

සජිත් ප්‍රේමදාස මහතා 18 වැනිදාට ඒවිද?

ඔහු පැමිණෙන බවට එකඟත්වය පළ කරලා නැහැ. අපි බලාපොරොත්තුව සිටිනවා ඔහු එදාට ඒවි කියලා. ඔහු එකතු වෙනවා නම් අපට හොඳයි.

මාදුළුවාවේ සෝභිත හිමියන් මේ එකමුතුව සමඟ නැහැ...?

සෝභිත හිමියන්ට දේශපාලන ව්‍යාපාරයක්‌ හදන්න වුවමනාවක්‌ නැහැ. උන්වහන්සේ කරන්නේ රටේ ජනතාව සමඟ බුද්ධිමය සංවාදයක්‌. එය ආණ්‌ඩුවට එරෙහිව කරන වැඩක්‌ නොවේ. නමුත් උන්වහන්සේ අවනීතියට එරෙහිවයි වැඩ කරන්නේ. අසාධාරණය, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අර්බුද, අවනීතිය සහ දූෂණ වංචා ආදියට උන්වහන්සේ විරුද්ධයි. ඒ පිළිබඳව උන්වහන්සේ ජනතාව දැනුවත් කරමින් සිටිනවා.

ඔබේ එකමුතව රට පුරා ව්‍යාප්තද?

මූලිකවම සෑම දිස්‌ත්‍රික්‌කයකම ක්‍රියාත්මකයි.

මේ එකමුතුවට භික්‍ෂූන්වහන්සේගේ දායකත්වය කොහොමද?

අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමියන්, එක්‌සත් භික්‍ෂු පෙරමුණේ උලපනේ සුමංගල හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ අප සමඟ සිටිනවා.

මහානායක හිමිවරු ඔබට ආශිර්වාද කළාද?

ඔව් උන්වහන්සේලා සාමාන්‍යයෙන් සෘජුවම සම්බන්ධ වන්නේ නැහැනේ. නමුත් අපි උන්වහන්සේලා බැහැදුටුවා. ඒ අවස්‌ථාවේදී උන්වහන්සේලා අපට ආශිර්වාද කළා. ඒ ආශිර්වාදය නිතරම අපට ලැබෙනවා.

මේ අලුත් එකමුතුවේ දේශපාලන උපදේශකත්වය ලබා දෙන්නේ.... තීන්දු තීරණ සාදන්නේ කවුද?

දැනට නම් තීරණ ගන්නේ අපි. කරු ජයසූරිය මහතා සහ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ එක්‌ව සාකච්ඡා කර තීන්දු තීරණ ගන්නවා. අපි රටේ බුද්ධිමතුන්, විද්වතුන්, වෘත්තිකයන් සහ ව්‍යාපාර ප්‍රජාව සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මේ සෑම කෙනකුගේම අදහස්‌ මත අවසානයේදී තීරණ සකස්‌ කරනවා.

අරමුදල් කොහෙන්ද?

දේශීය දානපතීන්ගෙන්. විදෙස්‌ අරමුදල් නැහැ. අනෙක්‌ දේශපාලන පක්‍ෂවලට සහ ව්‍යාපාරවලට වගේ.

අර්ජුන රණතුංග... ටිරාන් අලස්‌ දෙදෙනා ගේ භූමිකාව මොකක්‌ද? ඔවුන් දෙදෙනා අපිට මේ කණ්‌ඩායම තුළ දකින්න ලැබෙන්නේ නැහැ.

මගේ පක්‍ෂයක්‌ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය. ඔවුන් දෙදෙනා ඒ පක්‍ෂයේ සිටිනවා. ඔවුන් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඔවුන් දෙදෙනා දේශපාලනය කරන්නේ සමහරු දේශපාලනය කරන ආකාරයට නොවේ. ටිරාන් අලස්‌ ජනතාව සමඟ දේශපාලනය කරන්නේ නැහැ. ඔහු ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරයෙක්‌. ඔහු පක්‍ෂයේ සිටිනවා. ඔහු තමයි ලේකම්වරයා. අර්ජුන රණතුංග දේශපාලනය කරන්නේත් වෙනස්‌ ආකාරයකට.

වෛරයෙන් ද්වේශයෙන් දේශපාලනය කළ හැකිද?

දේශපාලනයේ සදාකාලික සතුරොත් සහ මිතුරොත් නෑ කියලා අහලා තියෙනවා නේ. ඒත් මගේ පවුලේ අය දිගින් දිගටම වෛරී දේශපාලනයට ලක්‌වුණා. මගේ පස්‌සෙන් පන්න පන්නා පහර දෙනවා. හරියට දේශපාලනය කරනවා නම් පුද්ගලික හතුරුකම් තියෙන්න බෑ. ඒත් අද දේශපාලනය අපි දකිනවා. අද මේ අයට දේශපාලන ප්‍රතිපත්තිවල සංකල්පවල රැඳී ඉන්න බැහැ. හරියට නයයි පොළඟයි වගේ හැසිරෙන්නේ. දේශපාලනයේ හතුරෝ මිතුරෝ නෑ යන කියමන අයිති වෙන්නේ සදාචාරාත්මක දේශපාලනයටයි. ඒත් මෙයාලා සදාචාරාත්මක නැහැ. මේ දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ කළ යුතුයි. දේශපාලනයේදී ප්‍රතිවාදීන් විය යුත්තේ ප්‍රතිපත්ති මතයි. එතැනදී මේ ප්‍රතිවාදීන් අතර ගනුදෙනු තියාගන්න බෑ. එහෙම ගනුදෙනුවකට ගියොත් දෙපාර්ශ්වය අතර අවබෝධයක්‌ ගොඩනැගෙන්න පුළුවන්. එවිට විරුද්ධ පක්‍ෂයකින් විය යුතු දේ සිද්ධ වෙන්නේ නැහැ. විරුද්ධ පක්‍ෂය නිහඬ වෙනවා. අද අපි දකින්නේ එවැනි දේශපාලනයක්‌.

ඔබ ඔය කියන්නේ රනිල් වික්‍රමසිංහ ගැනද?

රනිල්වයි මාවයි කොටවන්නට තමයි ඔයාලා හදන්නේ... නේද මම කිව්වේ සමහර දේශපාලකයන් ගැනයි.

ඔබේ විශ්‍රාම වැටුප අහිමිවීම ගැන?

හිත හදාගෙන ඉන්නවා. පිනට දුන්නා කියලා හිතාගන්නවා.

ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?

දැන් හොඳයි. බන්ධනාගාරයේ සිටිද්දී ශාරීරික අභ්‍යාස රැසක්‌ම කළා. මගේ පෙනහළු නිරෝගියි. මම හිතනවා මගේ රාජකාරිය නිමාවන තෙක්‌ මා ජීවත්ව සිටීවි කියලා.

මේ සාකච්ඡාව නිමා කරන්න කලින් ඔබට තවත් යමක්‌ පවසන්න තියෙනවද?

ඔව්... මම 18 වැනි බ්‍රහස්‌පතින්දා අපේ දේශපාලන එකමුතුවේ සමාරම්භක රැලිය හවස 3.00 ට හයිඩ් පිටියේදී පැවැත්වෙනවා. ඒaකාධිපති ක්‍රියාදාමයෙන් රට මුදාගැනීමයි මේ රැලියේ තේමාව. අපි මේ දියත් කරන්නේ ජාතික මෙහෙවරක්‌. කාලීන අවශ්‍යතාවක්‌. හැම කෙනෙකුටම ආරාධනා කරනවා මේ රැලියට සහභාගි වෙන්න කියලා.

සාකච්ඡා කළේ - අජිත් අලහකෝන්
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.